අන්තවාදයට උඩගෙඩි දෙන අවස්ථාවාදියෝ – වසන්ත ප්‍රිය රාමනායක

මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් පසුගියදා ඇතිවූ ගින්න මේ වනවිට මුළු රටේම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික්‍රමාන්විත සටන නිසාය.මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරා ගැනීමට බිම සිට එකමුතුව දිවිහිමියෙන් කැපවී කටයුතු කළ මහනුවර නගරයේ මුස්ලිම් හා සිංහල ජාතික ජනතාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. එතැන ආගමක්, ජාතියක්, උතුරක් හෝ දකුණක් නොතිබුණි. මුස්ලිම් ව්‍යාපාරිකයන් ක්ෂණිකවම තම වෙළෙඳසල්වල රෙදි කච්චි දිගහැර ගිනිගෙන දැවෙන උඩුමහලින් පියා බිමට දමන දරුවන් බේරාගැනීමට සූදානම් වීම ජාතිවාදයට හා ජාතිකත්වයට එහා ගිය අනුවේදනීය සිදුවීමකි.එතකොට ජාතිවාදය තිබෙන්නේ කාගේ ළඟ ද? මනුෂ්‍යත්වය අගයන ජනතාව ළඟ නම් නොවේ. ජනතාව නොමඟ යවන අන්තවාදී දේශපාලනඥයන් තුළය.

මේ පිළිබඳව මුහුණුපොතේ සටහනක් තබන සජිත් ප්‍රියංකර නමැති තරුණයා එය ඇගැයුමට ලක් කරන්නේ මෙලෙසිනි.

“ගින්නෙන් අපේ ගේ හොඳටම
පිච්චෙද්දී…
වීසිකළා අප රත්තරන්
අප්පච්චී…
පහළ ඉඳන් අප සුරැකිව
අල්ලද්දී…
සිංහල දෙමළ හෙව්වෙම නෑ
අප්පච්චී…”

මෙම කවිය පසුගියදා රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහනේ ප්‍රචාරය කළේ එම වැඩසටහන මෙහෙයවන මහේෂ් නිශ්ශංක ය.

එම මුහුණුපොතේ තරුණයාත්, මහනුවර නගරයේ මුස්ලිම් හා සිංහල ජනතාවත්, රූපවාහිනියේ මහේෂ් නිශ්ශංක කලාකරුවාත් රටට ලබා දුන්නේ මහඟු ආදර්ශයකි. බොහෝ දේශපාලනඥයන් ලබා නොදෙන ආදර්ශයකි. එසේම ජාතිවාදය අවුස්සමින් බලය තහවුරු කරගැනීමට පොරකන දේශපාලකයන්ට කනේ පහරකි.

මේ මනුස්සකමේ කතාව මහනුවරින් මතුවන්නේ රට බෙදනවා, රට කෑලිවලට කඩනවා, ෆෙඩරල් පාලනයක් ලබාදෙන්න සූදානම් වන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන කතා මේ දිනවල දේශපාලන වේදිකාවෙන් ඇසෙන විටය. මේ කතා කොතරම් ජාතිවාදී ද වහා ගිනිගන්නාසුලු ද යන්න ඒවා තලු මර මර පවසන දේශපාලනඥයන්ටවත්, ඒවාට සීමාව ඉක්මවා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන මාධ්‍යවලටවත් වැදගත් වන පාටක් නොපෙනේ.

ඇත්තෙන්ම රට කඩන, රටට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය වෙමින් පවතී ද? බැලූ බැල්මටවත්, තර්කානුකූලවත්, පෙනෙනතෙක් මානයකවත් එවැන්නක් දක්නට නොලැබේ. සිදුවී තිබෙන්නේ බෙදුම්වාදය හා ෆෙඩරල් ගැන කතා පතුරුවන විපක්ෂයේ අය ද ඇතුළුව පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම යෝජනා සම්මතයකින් පිහිටුවාගත් ව්‍යවස්ථාදායක මණ්ඩලයකට විද්වත් කමිටු වාර්තා කීපයක් ඉදිරිපත් වීමය. එම විද්වත් කමිටුවලට හා අදාළ ලියවිලි සම්පාදනය කළ ක්‍රියාදාමයට ආණ්ඩුවේ විපක්ෂයේ මෙන්ම ද්‍රවිඩ සන්ධානයේ ද නියෝජිතයන් සහභාගී වී සිටි බව අද සමහරු අමතක කරති.

එතකොට මේක ව්‍යවස්ථා කෙටුම්පතක් නොවෙයි ද? නැත. කෙටුම්පතක් සාදාගැනීම සඳහා කවුරුත් එකතු වී සාදාගත් යම් යෝජනා සමූහයකි. එහෙත් ඒ යෝජනා සමූහය තුළ රටේ ඒකීයභාවය සුරැකීමට, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීමට මෙන්ම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය බලය බෙදුමක් ගැන සටහන් කිරීමට හෝ යෝජනා ඉදිරිපත් නොකිරීමට වග බලාගෙන තිබේ.

මෙහෙම කියන එක ආණ්ඩුවට කඩේ යෑමක් ද? එසේ නම් අදාළ යෝජනා සම්පාදනය කළ කමිටුවලට සම්බන්ධ වූ විපක්ෂයේ සාමාජිකයන්ද ඒ කඩේ යෑමට දායක වී තිබේ. එතකොට ‘ඒකීය’ යන්න සමඟින් ‘ඔරුමිත්තනාඩු’ යන වචනය යෙදුණේ කොහොම ද? එය ද්‍රවිඩ සන්ධානයේ වචනයකි. එයට ඊට සහභාගී වූ මුස්ලිම් හා සිංහල පක්ෂවල නියෝජිතයන් විරෝධය පෑ බව ද එහි සටහන් වේ. එහෙත් ඔවුනට එවැන්නක් යෝජනා කිරීමට මේ විවෘත සංවාදය තුළ අයිතියක් තිබේ. ඔය කියන ඕනෑම නඩුවක් අවසන් කෙටුම්පත සැකසීමේදී වෙනස් කරගැනීමේ පරම පවිත්‍ර අයිතිය ව්‍යවස්ථා සභාවක් ලෙසින් කටයුතු කරන පාර්ලිමේන්තුවට ඇත.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වීමේ වැදගත්කම මේ කිසිවක් නොවේ. ලංකා ඉතිහාසයේ වසර 70කට පසු මෙවන් පුළුල් ව්‍යවස්ථා සභාවක් නිර්මාණය වී නොතිබීමයි. එදා සෝල්බරි ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය වුවමනාවට සකස් විය. 1972 හා 1978 ව්‍යවස්ථා එවකට බලයේ සිටි සමගි පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල අවශ්‍යතාවලට අනුව සැකසිණ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වයස අවුරුදු 40 කි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අද කවුරුත් පිළිගනිති. රට කඩනවාය කියන අය ද පිළිගනිති. පසුගිය අවස්ථා දෙකේදීම (1972 හා 1978) උතුරේ ද්‍රවිඩ පක්ෂ හා දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය එම ව්‍යවස්ථා ක්‍රියාදාමයට දායක කරගනු ලැබුවේ නැත. එසේම 1968 පසු උතුරේ ද්‍රවිඩ පක්ෂ රටේ පාලනයට සම්බන්ධ වී හෝ සම්බන්ධ කරගෙන හෝ නොමැත. උතුරේ ජනතාවට දකුණේ අයට නොමැති දේශපාලන ප්‍රශ්නය ඔවුන් රාජ්‍ය පාලනයෙන් පිටමංකර තැබීම බව පෙනේ. 13 වැනි සංශෝධනයෙන් සිදුවන්නේ ඒ අය ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ කර ගැනීමය. එය ද තවමත් හරිහැටි ක්‍රියාත්මක නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ මේ අඩුපාඩු සියල්ල වසර 70කට පසුව හෝ සම්පූර්ණ කර ගැනීම සඳහාය.

“අපට මහ මැතිවරණයක් ලබාදෙන්න. එවිට අපට පුළුවන් රටේ පවතින මූලික ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත්කර ගන්න”

එදා සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් ඩී.එස්. සේනානායකයන් මහා මැතිවරණයක් ඉල්ලා සිටියේ එලෙසිනි. එම ඉල්ලීම පිළිගත් සෝල්බරි කොමිසම මහා මැතිවරණයක් ලබාදුන්නේය. එය 1947 පාර්ලිමේන්තු මැතිවරණයයි. එදා ඩී.එස්. සඳහන් කළ රටේ පැවැතුණ ගැටලුවලට විසඳුම්වත්, ‘ශ්‍රී ලාංකීය ජාතිය’ ගොඩනගා ගැනීමවත් නිදහසින් පසු වසර 71 ගියත් අපට තවමත් නොහැකි වී ඇත.

ඒ වරද කාගේ ද? පසුගියදා නුවර නගරයේ ගිනිගත් ගොඩනැගිල්ලෙන් බිමට වීසි කරන දරුවන් බේරාගත් අය වැනි දේශප්‍රේමී ශ්‍රී ලාංකීය ජනතාවගේ නම් නොවේ. මේ රටේ ජාතිවාදය අවුස්සා හැමදාම බලය ලබාගත් දේශපාලනඥයෝ මීට වගකිව යුත්තෝ වෙති. මේ මොහොතේ නැවතත් පාරමින් සිටින්නේ ඒ හිඟන්නාගේම තුවාලය බව පෙනේ.

තවමත් කෙටුම්පතක්වත් නොමැති ඊනියා යෝජනාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා එදා මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමයේ එතුමා පත් කළ තිස්ස විතාරණ කමිටුව ඉදිරිපත් කළ යෝජනාවට වඩා අඩු බලතල සහිත වූවකි. එසේම ඒ යුගයේ ඉන්දියාවට පොරොන්දු වූ 13 සංශෝධන අදහසට මෙන්ම, වසර 2000 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කැබිනට් මණ්ඩලය අනුමත කර ‘එක්සත් රාජ්‍යය’ කෙටුම්පතටත් වඩා (වත්මන් යෝජනා) අඩු මට්ටමේ යෝජනා සමූහයකි. එදා කටේ පිට්ටු හිර කරගෙන සිටි අය මෙදා රට කැඩීමක් ගැන හෝ ෆෙඩරල් දීමක් ගැන කතා කරන්නේ කොතැනින් දැයි කියන්න දන්නේ නැත. ශ්‍රී ලංකාව වැනි කැරැලි දෙකකට මුහුණ දී අමාරුවෙන් ගොඩනැඟෙන රටක, රට ගිනිගන්නා ස්වරූපයෙන් බොරු ජාතිවාදයක් ඇවිස්සීම තරම් ද්‍රෝහී ක්‍රියාවක් තවත් තිබිය නොහැක.

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යය. ජනාධිපති මෛත්‍රී ඒ පිළිබඳව එදා රට දැනුවත් කළේ මෙලෙසිනි.

“ජාතීන් අතර සමගියත් සංහිඳියාවත් ඇති කිරීම සඳහා මූලික විසඳුමක් විධියට අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුතු මේ වනවිට කරගෙන යනවා. මේ පිළිබඳව ඇතැම් අය අසත්‍ය ප්‍රචාරය කරනවා අපි රට කඩන්න හදනවා කියා. අපි රට බෙදන්න හදනවා කියා. විදේශ බලවේගවලට යටත් වෙලා කියනවා. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.” (2017 පෙබරවාරි 1, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන)

වත්මන් රජයට දැන් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඊට එක් හේතුවක් වන්නේ මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් වීමයි. කිසිම ආණ්ඩුවක් මෙවන් යුගයක මතභේදාත්මක කාරණාවලට අතගසා දේශපාලන වශයෙන් සියදිවි හානිකර ගන්න යන්නේ නැත.

එසේ නම් මේ මොහොතේ ආණ්ඩුව කර තිබෙන්නේ වසර 70කට පසු සියලු පක්ෂ එකට එකතු වූ ව්‍යවස්ථා සභාවක සාකච්ඡාවට බඳුන් වූ පුළුල් යෝජනාවලියක් අදාළ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. එමගින් ආණ්ඩුව විපක්ෂයේ සමහර අයගේ කුලප්පු වීම් නිසා දේශපාලන වාසියක් ද අත්කර ගනිමින් සිටී.

විපක්ෂය මේ යෝජනා මගින් ෆෙඩරල් බිල්ලකු මවාපාමින් රට කැඩෙනවාය කියාගෙන යන ඝෝෂාවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී බරපතළ අවාසියක් අත්පත් කරගනිමින් සිටී. මේ වසර අවසන් වනවිට නව ජනාධිපතිවරයකු පත්වීමට නියමිතය. මේ නිසා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තව මාස කීපයකින්ම රටේ දේශපාලන පෙළගැස්ම සැකසේ. මෙහිදී දකුණ නියෝජනය කරන ප්‍රධාන අපේක්ෂකයකු කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 2කින් පමණ පැරදී හම්බන්තොට වැනි කුඩා දිස්ත්‍රික්කයකින් ලක්ෂයකට වඩා වැඩි ඡන්දයකින් ජයගත්තත් ඵලක් නැත. ඊට හේතුව අවසන් ප්‍රතිඵලයේ දී මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන නිසාය. එම මැතිවරණය සිංහල බෞද්ධ පාක්ෂික ඡන්දවලින් පමණක් ජයගැනීමට යමෙක් කල්පනා කරන්නේ නම් එයම බරපතළ වරද්දා ගැනීමකි. එවැනි පාඩම් නැවත නැවතත් දේශපාලන මොන්ටිසෝරියේ සිටම ඉගෙන ගැනීම අවශ්‍ය නොවේ.

ගරුතර ස්වාමීන්වහන්සේලා ද නොමඟ යමින් මේ නටන ෆෙඩරල් නාඩගමේ විපාක විඳීමට සිදුවන්නේ තම කණ්ඩායමේ අපේක්ෂකයාට බව මේ අය කල්පනා කරන බවක් නොපෙනේ. ඒ අතින් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ දේශපාලන උපක්‍රමයට දැනටමත් හසුවී හමාරය. ආණ්ඩුව සුළු ජාතීන්ට නොකියා කියන්නේ කුමක් ද?

“ඔන්න බලාපල්ලා අපි නුඹලාගේ සාධාරණ ප්‍රශ්නය විසඳීමට නැවත උත්සාහ කරනකොට මේ දකුණේ ජාතිවාදීන් හැසිරෙන හැටි. මේ නිසා ඉදිරි ජනාධිපතිවරණයේ දී නුඹලා තෝරාගත යුත්තේ උන්ගේ අපේක්ෂකයා ද අපේ අපේක්ෂකයා ද යන්න දැන්වත් තේරුම් ගනිල්ලා” වගේ කතාවක්ය.

ඇත්ත වශයෙන්ම එය අමුතුවෙන් කියාදිය යුතු නැත. මේ වනවිටත් රටේ සුළු ජාතික බහුතරය ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එකට සිටිය හැකි කුඩයක් සොයා ගනිමින් සිටිති. මෙහෙම ගියොත් ඉදිරි ජනාධිපතිවරණය ද ජයගැනීමේ ඉඩකඩ ඇත්තේ එම කුඩය යටට ගිය කෙනකුට දැයි කියන්න දන්නේ නැත. මේ නිසා කෙටුම්පතක් නොවූ නව ව්‍යවස්ථා යෝජනාවලියකින් රටේ සුළු ජාතික ඡන්ද කොටුකර ගැනීමට ගෙන යන යූ.ඇන්.පී.යේ දේශපාලන උපක්‍රමයට තමන් ළඟ සිටින අන්තවාදීන් නිසා ඒකාබද්ධ විපක්ෂය හසුවෙමින් සිටී.

මෙය න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව වටහාගෙන සිටින නායකයා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව පෙනේ. සුළු ජාතික ඡන්දවලින් යම් ප්‍රතිශතයක්වත් නොගෙන ඉදිරි ජනාධිපතිවරණය ජයගත නොහැකි බව ඔහු වටහාගෙන සිටින බව සිය ප්‍රකාශ හා ක්‍රියාකාරකම්වලින්ම පිළිබිඹු කර ඇත. අවශ්‍ය වන්නේ ඊට පොදු එකඟතාවකි.

එසේම තමා දැන් සිටින කණ්ඩායමේ ෆෙඩරල් හා බෙදුම්වාදී ඝෝෂාව හමුවේ ජනාධිපතිවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීදැයි කියන්න දන්නේ නැත. එය එතුමා දිනාගෙන සිටින සුළු ජාතික ඡන්ද පදනමට ද අවාසිදායක බලපෑමක් විය හැකිය.

දැනටමත් තමා ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් යැයි පවසන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වුව ද මේ ඊයේ පෙරේදා සිට එකට සිටිය යුතු ‘ශ්‍රී ලාංකීය ජාතියක්’ ගැන (‘එළිය’ සම්මන්ත්‍රණයකදී) කතා කිරීමට පටන් ගෙන තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. සිය පැරැණි ස්ථාවරයේ යම් වෙනසකට යොමුවීමකි. සුළු ජාතීන් මේ අය සිය උත්සවවලට කැඳවාගෙන ගොස් පිළිගැනීමක් ලබාදීම, සංග්‍රහ කිරීම හා සෙල්ෆි ගැනීම වෙනම වැඩපිළිවෙළකි. එහෙත් ඡන්දයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ඒ හා සමානව සිදුවන බවක් නම් නොපෙනේ. අවසානයේ සෙල්ෆි ගත් අයගේවත් ඡන්ද නැත. මේ යථාර්ථය අන්තවාදීන් ඇසුරු කරන දේශපාලන නායකයන් පිළිගත යුතුය.

මේ දිනවල නටන ජාතිවාදී නාඩගම් නිසා සමස්තයක් වශයෙන් මේ රටේ සුළු ජාතික නැඹුරුව හෙට දවසේ විපක්ෂයට අවාසිදායක අයුරින් හැසිරීමට ඉඩ තිබෙන බව පෙනේ. මෙය කාටවත් කඩේ යෑමක් නොවන බවට වටහා ගැනීමට අදාළ අයට ප්‍රඥාවක් තිබීම සියල්ලටම ප්‍රථමයෙන් වැදගත්ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *