එජාප ජනපති අගමැති අපෙක්ෂකයන් එකවර ප්‍රකාශට පත් කරනවා – ඇමැති නවීන් දිසානායක

සාමූහික එකඟතාවෙන් තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හා අගමැති අපේක්ෂකයා එකවර ප්‍රකාශට පත් කරන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කෙරෙන එම ඓතිහාසික තීන්දුව තම පක්ෂය මගින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීය.

දහ නව වන ව්‍යවස්ථා සංශෝධන මගින් අගමැතිවරයා බලවත් කරමින් නීති පද්ධතිය හා පාර්ලිමේන්තුව ශක්තිමත් කර තිබෙන අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බලතල බෙදී තිබෙන බවද පැවසීය.

මේ අනුව ජනාධිපති හා අගමැති එකමුතුව සහයෝගයෙන් වැඩ කළ යුතු අතර, ශ්‍රී ලංකාවේ නීතිය අනුව එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පැවසූ දිසිනායක මහතා මේ වසර මැතිවරණ වසරක් ලෙස පෙන්වා දුන්නේය. කුමන තත්ත්වයක් යටතේ වුවත් දේශපාලඥයා තමාට පැවරී ඇති වගකීම් ඉටුකළ යුතු බවත් 19 සංශෝධනය අනුව ජනාධිපති අගමැති එකමුතුව වැඩ කළ යුතු අතර ඒ සඳහා දෙදෙනාගේ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කෙළේය.

එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂ සමඟ ද සාකච්ඡා කර ජයග්‍රහණය කළ හැකි අපේක්ෂයන් එකමුතුව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නවීන් දිසානායක මහතා කීය.

ඉදිරියේ දී එජාපය තරුණ නායකයන් ඉදිරිපත් කරන බවත් එය 2025 දී අනිවාර්යයෙන්ම කරන අතර, 2020දී ද එය සිදු වීමට ඉඩ ඇති බවත් පෙන්වා දුන්නේ ය. ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂයෙන් පාක්ෂිකයන්ගේ කැමැත්ත අනුව අපේක්ෂකයා තෝරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතු බවත් ඒ සඳහා සාකච්ඡා කර ඉදිරියේ දී සම්මුතියකට ඒමට කටයුතු කරන බවත් කීය.

පොහොට්ටු පක්ෂයේ කවුරු ජනාධිපති අපේක්ෂකයා වුවද අගමැති අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද, මේ වන විට ජනාධිපති අපේක්ෂයා වීමට රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතර පොරයක් හටගෙන ඇති බවද පැවසීය.

බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (17) පැවැති රබර් සංවර්ධන නවක නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් නවීන් දිසානායක මහතා එම අදහස් පළ කෙළේය.

චන්ද්‍රිකා පෙරේරා

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *