මිග් වංචාව ; උදයංගගේ මෙන්ම පවුලේ අයගේ ගිණුම්වලත් කෝටි ගණන් මුදල් !

මිග් යානා වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ පමණක් නොව ඔහුගේ බිරිඳගේ, ඇගේ සොහොයුරාගේ සහ ඇගේ මවගේ නම් වලින් ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් කිහිපයකට විදේශ රටවල සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (16) අධිකරණයට දැනුම් දුන්නේය.

 

එම මුදල් අතරින් රුපියල් ලක්ෂ 720කට අධික මුදලක් උදයංග වීරතුංග දැනට පදිංචිව සිටින ඩුබායි රාජ්‍ය වෙත සම්ප්‍රේෂණය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කෙරෙන බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ එම නඩුව ඊයේ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

උදයංග වීරතුංගගේ නමින් ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අරඹා ඇති ගිණුමකට විශාල පරිමාණයෙන් මුදල් බැරවී ඇතත් එම බැංකු ශාඛාවේ කළමනාකරු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එකී කළමනාකරු පුත්තලම ප්‍රදේශයේ ශාඛාවකට මාරු වී ගිය පසු උදයංගගේ ගිණුමත් එම ශාඛාවට මාරු කර ඇති බවත් රජයේ අධිනීතීඥවරයා විසින් වැඩිදුරටත් අධිකරණය දැනුම් දෙන ලදී.

එසේම, උදයංග වීරතුංගගේ බිරිඳගේ මව සහ බිරිඳගේ සොහොයුරා ද මේවන විට ඩුබායි රාජ්‍යයට සහ නෝර්වේ රාජ්‍යයට ගොස් සිටින බැවින් විමර්ශන කටයුතු වලට බාධා පැමිණ ඇති බව ද රජයේ නීතීඥවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

කුප්‍රකට මිග් යානා ගනුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.833කට ආසන්න මුදලක් අවභාවිතා කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති උදයංග වීරතුංග රාජපක්ෂ පවුලේ ඥාතියෙකි. ඔහු අධිකරණය මඟ හරිමින් රටින් පළාගොස් දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *