එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉතාමත්ම සුදුසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි

ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ජනාධිපතිවරයක දී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එ.ජා.ප.ය ප්‍රමුඛ පෙරමුණකින් ඉදිරිපත්වන අපේක්ෂකයා කවුරුන් විය හැකියි කියලද ඔබ හිතන්නෙ?

එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. එක්සත්  ජාතික පක්ෂය මේ වනතුරු තීරණයක් අරගෙන නැහැ ජනාධිපති අපේක්ෂකයා කවුද කියල. මම එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව ක්‍රියාකරන එක්සත් ජනතා පෙරමුණේ කෙනෙක් වශයෙන් මම මේක බලවත් වැරැද්දක් විදිහට දකිනව. තමන්ගේ නායකයා කෙරේ විශ්වාසයක් සාමාජිකත්වයේ තියෙන්න ඕ‍නැ. දැන්ට ඉන්න ඇමතිවරුවත් මන්ත්‍රිවරුවත් අනෙක් ඉහළ පෙළේ තනතුරුදරන පිරිස්වත් කවුරුවත් තමාගේ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව කියල තවම කියන්නේ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් කියල කියන කොටසකුත් ඉන්නව. ඇමතිවරු පවා එසේ ප්‍රකාශ කරල තියනව.

සජිත් මහත්තයා මහත්තයා හොඳ තරුණ නායකයෙක්. මම දකිනවා සජිත්ට තව කල්තියනව කියල. එතුමා ඉතාම ලාබාල තරුණයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට ආව. එතුමා තාවමත් අත්දැකීම් ලබමින් ඉන්නව. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැවැන්ත දැනුම සම්භාරයකින් පිරිච්ච කෙනෙක්. මේ රට දියුණු කරන්නට දැක්මක් ඇති නායකයෙක් ඉන්නව නම් ඒ පරිනත බුද්ධිය තියෙන්නෙ එතුමට. එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉතාමත්ම සුදුසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

එතකොට ගැටුමක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනව නේද රනිල් හිතවාදීන් සහ සජිත් හිතවාදීන් අතර.

එහෙම ගැටුමක් තමයි නිර්මාණය කරන්න ඕන වෙලා තියෙන්නෙ විපක්ෂයට. එහෙමත් නැත්නම් දේශපාලන විරුද්ධවාදීන්ට. ඒ නිසා තමයි රනිල් මහත්තයාගෙ නමට වඩා සජිත් මහත්තයගෙ නම ඉස්සරහට ගේන්න බලන්නෙ. ඇතැම් මාධ්‍යයත් මේ කොන්ත්‍රාත්තුව කරනව.

සජිත් මහත්තයා කියන්නෙ බුද්ධිමත් තරුණයෙක්. එයා ගමන්ගේ නායකයා සමග ගමන් කරල එයාගෙ පසුබිම සකස් කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ පුරප්පාඩුවෙන් ඊළඟ ජනාධිපතිවරයා හෝ මේ රටේ නායකයා වෙන්නට එතුමට අවස්ථාව තියනව. එතුමත් මේ වෙලාවේ තමන්ගේ නායකයා ඉදිරියට ගේන්න එතුමත් සමග උ‍රෙන් උර ගැටිලා කටයුතු කරන්න ඕනැ කියලයි මගෙ අදහස.

බිම් මට්ටමේ ගම් මට්ටමේ ජනතාව සජිත් ජනාධිපතිවරයා කරවන්න පෙරට ඇවිල්ලා තියෙන බව පේනවා නේද?

මෙහෙමයි, මමත් ගම් මට්ටමේ හා බිම් මට්ටමේ ඉන්න කෙනෙක්. ගමේ සෑම පොදු කටයුත්තකම මම නියැලෙන කෙනෙක්. මම නිතර ජනතාවත් එක්ක අදහස් හුවමාරු කරගන්නව. ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා ‍ගැන දක්වන ආකල්පය තමයි, ‘එතුමා බුද්ධිමත් දක්ෂයෙක් බව ඇත්ත. නමුත් එතුමා ජනතාවට සමීප මදියි’ කියන මතය තියෙනව. එතුමා ජනතාව අතපතගාන්න යන්නෙ නැහැ. එතුමා මූණ ඉඹින්න යන්නෙ නැහැ. ළමයි වඩාගන්නෙ නෑ. ඒවා කෙරුවෙ නැතුවට රටේ ජනතාව කෙරෙහි එතුමාගෙ බොහොම ලෙංගතුකමක් තියෙනව. එතුමා හදන්නෙ මේ රටම වැටිල තියෙන අගාදයෙන් ගොඩ අරගෙන පොදු ජනතාවගේ ජීවිත ඉතා උසස් මට්ටමක තියන්න තමයි එතුමාගේ පරමාර්ථය. එක නිසා එතුමට කවුරුවත් හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ මම හිතන විදිහට.

රනිල් වික්‍රමසිංහට විපක්ෂය නගන චෝදනා තමයි රනිල් බරහිර රටවල ගැත්තෙක්. එයාලට ඕන විදිහටයි රට පාලනය කරන්න හදන්නෙ. රට දෙකට කඩන්නයි හදන්නෙ වගේ චෝදනා.

එහෙම මතයක් මේ රටේ යනවා ඒ අන්තවාදීන් හා ආගම්වාදීන් වගේ වර්ගවාදී දේශපාලඥයන් තමයි එහෙම චෝදනා කරන්නෙ. ඔවුන් මතයක් පතුරවනවා රනිල් වික්‍රමසිංහ කියන්නෙ ටයි කෝට් අඳින විදේශිකයින් සමඟ බොහොම කුළුපගුව කටයුතු කරන කෙනෙක් කියල.  ඇත්ත වශයෙන්ම ඒක නෙමයි එතන තියන සත්‍යතාවය. එතුමා උගතෙක්, ජාත්‍යන්තර අන්දැකීම් ලබපු කෙනෙක්. මුළු ලෝකෙම පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න බුද්ධිමත්ම ප්‍රජාතන්ත්‍රවාදීම නායකයා එතුමා කියල. එතුමා හොඳ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ඉතින් විදේශ රටවල නායකයො මෙතුමා සමග සම්බන්ධකම් පවත්වනව. රට දියුණු කරන්න මෙතුමට ආධාර කරනව. ඒක ගැති කමක් නෙමෙයි. අපි සතුටු වෙන්න ඕනෙ අපේ රටේ නායකුටත් ජාත්‍යන්තරයේ ඉඩක් තියනව කියල.

ජනාධිපතිවරණයට තියෙන්නෙ උපරිම තව වසරක කාලයක්. මහ මැතිවරණයට නම් වසර එකහමාරක පමණ කාලයක් තියනව. එතෙක් මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමත් රට පාළනය කරන්න වෙනව. එතෙක් දුර මේ දෙපාර්ශවයට සහජීවනයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයිද?

සංහිඳියාවකින් රට ඉස්සරහට ගෙනියන්න බෑ කියල මම දකින්ව. මෙතන කාරණා දෙකක් තියනව. එකක් තමයි බුද්ධිමත්ව හිතන නායකයෙකුයි, බොහොම පටුවට හිතන නායකයෙකුයි අපේ රටේ පාළන තන්ත්‍රයට පත්වෙල තියෙනව. දෙන්න එකට ටිකක් දුර ඇවිල්ලා දැන් විරසක වෙලා තියෙනව. දැන් මේ විරසකේ දිනෙන් දින වැඩිවෙලා තියෙනව.

ජනාධිපතිතුමාගෙන් පැත්තෙන් බලනවනම් එයාගෙ බුද්ධි මහිමය අනුව එයා කටයුතු කරන්නෙ, එයා යම් වැරැදි මතකය ඉන්නව නම් එයා ඒ වැරදිමතය හරියි කියල හිතාගෙන ඉන්නව, කටයුතු කරනව. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා සියලු දේට කට පියාගෙන හිටියට එයා දකින්වා මෙයා කරන්නෙ වැරැද්දක්. ඒත් මෙයා එක්ක ගැටෙනවට වඩා හොඳයි මම රටට වැඩ කරගෙන යනවා කියල. එහෙම හිතල තමයි ඒයා වැඩ කරගෙන යන්නෙ. එහෙම කරගෙන යද්දි යම් යම් තීන්දු තීරණ අගමැතිතුමාට ගන්න සිද්ධ වෙනව. එවැනි අවස්ථාවලදී අපේ රටේ ව්‍යවස්ථාව අනුව ඇතැම් බලතල ජනාධිපතිවරයාට තිබෙන නිසා ජනාධිපතිවරයා එයාට තිබෙන බලතල උපයෝගි කරල එතුමා හදනවා අගමැතිවරයාගේ අදහස් යටපත් කරවන්න. ඒ නිසා ගැටුමක් නිර්මාණය වෙනව.

මම මාධ්‍යවලින් දැක්කා හදිසි මැතිවරණයකට සූදානම් වෙන්න කියල ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංවිධායක වරුන්ට කියනව. ඒක රටක රාජ්‍ය නායකයෙක් කළ යුතු දෙයක් නෙමෙයි. එහෙම ජනාධිපතිවරයෙක් උපදෙස් දෙනවද කාලයට ඉස්සරවෙලා මැතිවරණයක් ගන්න කියල බලපෑම් කරන්න කියල.

අපිට මැතිවරණයකට වඩා අවශ්‍ය මේ රට දියුණු කරන්න. මේ රට දියුණු කරන්න පවතින ආණ්ඩුවට තව අවුරුදු එකහමාරක කාලය තියෙනව. ඒ කාලය තුළ වැඩ කරගෙන යන්න එයා ඉඩ දෙන්න ඕනැ. එහෙම නෙමේ එයා කියන්නෙ මැතිවරණයක් ගන්න කියල කියනව. පළාත්සභා මැතිවරණය ඉස්සරවෙලා ගන්න කියනවා. පළාත්සභාවල මැතිවරණය පවත්වන්න කාලය එළඹිලා තියෙනව. කොහොමද ඒක පවත්වන්නෙ කියල යෝජනාවක් පාර්ලිමේන්තුවෙ පවතිනව. අලුත් සීමානිර්ණ පනත අනුව ද පැරණි ක්‍රමයට ද පවත්වන්නෙ කියල. ඒ නිසා ඒ මැතිවරණය පවත්වන්න ප්‍රමාද වෙනව නීතිමය තත්ත්වයන් උඩ.

නමුත් හොඳ දෙයක් තියෙනව, මෙතුමට උවමනාවෙලා තියෙනව නම් මැතිවරණයටකට යන්න, ඒකට දැන් අවස්ථාව තියනව. 2019 ජනවාරි 8 වෙනිදායින් ජනාධිපති ධුරයට අවුරුදු හතරක් සම්පූර්ණ වෙනව. තව මාස දහයකින් ජනාධිපතිවරණයක් කැඳවන්න ඕනෙ ඒක තමයි ඇතිවෙලා තියෙන නීතිමය තත්ත්වය. ඒත් ඊට පෙර ජනාධිපතිවරයට පුළුවන්කම තියනව ඉල්ලා අස්වෙලා මැතිවරණයකට යන්න. එතුමට උවමනානම් මැතිවරණයක් පවත්වන්න එතුමට දැන් අවස්ථාව තියෙනව ජනාධිපතිවරණයක් කැඳවන්න. එතකොට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව එතුමා කොතනද ඉන්නෙ කියන එක තීරණය වෙයි.

මනෝජ් රූපසිංහ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *