කළුපටි විරෝධතාව – රෝහණ සංදීප රණසිංහ

ජනමාධ්‍ය කියන්නේ රටක සිව්වැනි ආණ්ඩුව කියලා මතයක් තියෙනවා. ඉන් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය  හැරුනුකොට සමාජයක යහපැවැත්ම වෙනුවෙන් ජනමාධ්‍යටත් පැහැදිලි වගකීමක් පවතින  බවයි. නමුත් අපේ රටේ ජනමාධ්‍ය සිව්වැනි ආණ්ඩුව වශයෙන් ක්‍රියාත්මක වනවාද යන්න ප්‍රශ්නයක්. මෙරට ජනමාධ්‍ය බොහොමයක් පිළිබද සලකා බැලුවහොත් ඒවා සිව්වැනි ආණ්ඩුව කෙසේ වෙතත් ආණ්ඩුව හෝ විරුද්ධ පක්ෂය වශයෙන් ක්‍රියාකරන බවයි පෙනෙන්නේ. මෙයින් අප අදහස් කරන්නේ ජනමාධ්‍ය ස්වාධින නැති බවයි. මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විකල්ප ධාරාවේ පුවත්පත් යම් ස්වාධීනත්වයකින් කටයුතු කරන නමුත් විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් ඇත්ත වන්නේ ඔවුන් එක්කෝ පවතින ආණ්ඩුව සමග ශේප් න්‍යායෙන් කටයුතු කරන බවයි. එසේ නැති නම් විරුද්ධ පක්ෂයේ මතය උලුප්පා දක්වමින් ආණ්ඩු විරෝධිව කටයුතු කරන බවයි.

ලේක්හවුසිය යනු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පිළිගැනීමක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම එය මහභාරකාරයා යටතේ කොටස් වලින්  51% කුත් පෞද්ගලික කොටස් හිමියන්ට කොටස් වලින් 49% කුත් හිමි අර්ධ රාජ්‍ය ආයතනයක්. ලේක්හවුස් පවරාගැනීමේ පණත හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් ලේක්හවුසියට රාජ්‍ය ග්‍රහණයෙන් මිදෙන්නට පුළුවන් බවකුත් තියෙනවා. එක් ජනමාධ්‍ය සංවිධානයක් මිට කලකට පෙර ලේක්හවුස් පණත ක්‍රියාවේ යොදවන්නැයි කියා අධිකරණයට ගිය බවයි කියන්නේ. නමුත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බව සදහන් එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව වශයෙන් සදහන් කර තිබුනේ ලේක්හවුස් ආයතනය පවරා ගැනීමෙන් බොහෝ කලකට පසුව අදාල ඉල්ලීම අධිකරණය හමුවේ ගොනුකිරිම හේතුවෙන්. ඒ කියන්නේ අදාළ පාර්ශවය නඩුව ගොනුකලේ පමාවෙලා. කලින් සිටි කවරෙකු හෝ එම ඉල්ලීම අධිකරණයෙන් කලේ නම් සාර්ථක වන්නට තිබුනේ යැයි ඒ අනුව සිතන්නට පුළුවන්. කෙසේ වෙතත් අදාල පෙත්සම විභාගයට ගැනුනේ මෙරට කුප්‍රකට අග්‍ර විනිශ්චයකාරවරයෙක් වූ සරත් නන්ද සිල්වා මහතා යටතේ බවත් පෙත්සම ගොනු කෙරුනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ බවත් සිතා බලන අයෙකුට පහසුවනු පිණිස සදහන් කල යුතුව තිබෙනවා.

ඒ කරුණ එතනින් අමතක කර එතෙක් පෞද්ගලික අයිතිය යටතේ පැවති ලේක්හවුස් ආයතනය ආණ්ඩුවට පවරා ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවට සිදුවුයේ ඇයි යන ප්‍රශ්නය සාකච්ඡා කිරීම වැදගත් ඇත්ත වශයෙන් ඊට බලපෑ ප්‍රධාන හේතුව එකල ලේක්හවුස් ආයතනය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක වන ආකාරයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා වාමාංශික පක්ෂවලට විරුද්ධවාදී ස්ථාවරයක පිහිටා කටයුතු කිරීමයි. තවත් ආකාරයකින් කියන්නේ නම් එකල ලේක්හවුස් ආයතනය කිසිවෙකුට පක්ෂපාති නොවී සමබරවූ මාධ්‍යකරනයේ යෙදුනේ නම් එම ආයතනය රජයට පවරාගැනීමට සිරිමා ආණ්ඩුවට සිදුවන්නේ නැ.

ඉහත කරුණු කිහිපය සදහන් කරන්නට සිතුනේ පසුගිය සතියේ දිනක කළුපටි වලින් මුහුණු ආවරණය කරගත් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ජනමාධ්‍ය ආයතන ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නියැලීම සහ ජනමාධ්‍ය ආයතන එම විරෝධතාවයට ප්‍රතිචාර දැක්වූ ආකාරය නිසයි.

සිරස මාධ්‍ය ජාලය විසින් එකී කළුපටි විරෝධතාවය හදුන්වාදෙන්නට යෙදුනේ මාධ්‍ය නිදහසට බාධා කිරීමක් වශයෙනුයි. ජනමාධ්‍ය වරණය කරන්නට හෝ මාධ්‍ය මර්ධනය කරන්නට ජනතාවට පුලුවන්ද. මාධ්‍ය මර්ධනය යනු ආණ්ඩුව විසින් කරන දෙයක් නෙවෙයිද ?

කළුපටි විරෝධතාවයට පසුදා මවුබිම පුවත්පතේ මුල් පිටුවේ පළකර තිබු ඡායාරූපයකින් ප්‍රකාශ වුනේ කළුපටි විරෝධතාවයට එරෙහිව එම කතෘ මණ්ඩලය විරෝධතාවේ යෙදෙන ආකාරයයි.

“මාධ්‍ය නිදහසට බුරන එන්.ජි.ඕ කුක්කෝ”

“විදර්ශනගේ එන්ජිඕ දර්ශණ අපට එපා”

“බැදුම්කර සල්ලිවලට මාධ්‍යට ගොරවන්න එපා”

“රනිල්ට කඩේ යන වෙස්මුණු කාරයින්ට අපි බය නැ”

“පාරේ පාහරන එන්.ජි.ඕ සමනලියෝ”

ආදී සටන් පාඨ එහිදී ප්‍රදර්ශනය කර තිබුණා. පසුදින මව්බිම පුවත්පතේ ප්‍රධාන ශිර්ෂ පාඨය වුයේ “මව්බිම වටලන්න ආ රනිල්ගේ එන්.ජි.ඕ නඩය හු හඬ මැද්දේ පලා යති” යන්නයි. “රනිල් පාර්ලිමේන්තුවේදී මාධ්‍යට බුරයි.රනිල්ගේ කුක්කෝ මාධ්‍ය ආයතන ඉදිරිපිටට ඇවිත් බුරති” යන්න එදින ශිර්ෂ පාඨයක්.

කළුපටි විරෝධතාවයට සම්බන්ධවුයේ සීමිත පිරිසක්. ඒ අනුව වටලන්නට ඒම වැනි ප්‍රකාශ අතිශයෝක්තියක් වුවත් පාඨකයා ඒ බව දන්නේ නැහැ. ඒ අනුව කළුපටි විරෝධයේදීත් ජනමාධ්‍ය සමබර වාර්තාකරණයක නොයෙදුණු බව පැහැදිලියි. ජනමාධ්‍ය නිවැරදි නම් කළයුතුව තිබුනේ විරෝධතාකරුවන්ට විරෝධය පෑම නොවේ.ඔවුන්ගේ විරෝධය සමබරව වාර්තා කිරීමයි. නමුත් විරෝධයට විරෝධය පෑ ජනමාධ්‍ය එදත් කලේ විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට තමන්ගේ පාර්ශවයේ අදහස පමණක් ජනගත කිරීමයි.

දිනපතා ලංකාදීප පුවත්පත යම් පමණක මධ්‍යස්ත භාවයකින් යුතුව විරෝධතාව වාර්තාකර තිබුණා වුවත් ඔවුන් ඒ සදහා යොදාගත “යැයි කියාගත් සංගම් 14ක පිරිසක්”වැනි යෙදුම් වලින් පෙනුනේ  එම විරෝධතාවය සම්බන්ධයෙන් ඔවුන්ට  තිබුනේ විරෝධතා ආකල්පයක් බවයි.

2019 ජනවාරි 11 දිනපතා ලංකාදීප පුවත්පත වාර්තාකර තිබුණු ආකාරයට කළුපටි විරෝධතාකරුවන් රැගෙන ආ බැනරයේ  සඳහන්ව ඇත්තේ “ජනතාවගේ දෑස් ඇරවන  පත්තර අද කෝ” “රට අහුලන පච තෙපලන  පඩංගු විතරයි” “මාධ්‍ය හිතවතුනි මෙම සටන මාධ්‍ය  මුදලාලිකරණයට  එරෙහිවයි”. “පැත්ත ගියත් ඇත්ත කියනවා ලු එක පැත්ත්ක් අරං ඇත්ත ගිලිනවලු” ! “පොදු අයිතියික් වූ   ගුවන් සංඛ්‍යාත මාධ්‍ය ව්‍යාපාරිකයන්ගේ  බූදලයක්ද? ආදී වශයෙනුයි.

ඉහත සටන්පාඨ වල වරදක් තිබෙනවා ද  බොහෝමයක් ජනමාධ්‍ය කරන්නේ ජනතාවගේ ඇස් ඇරවීම වෙනුවට මිථ්‍යා අන්ධකාරයෙන් ජනතාවගේ ඇස් මුලා කිරීමයි. ජනමාධ්‍ය රාජ්‍ය වුවත් පෞද්ගලික වුවත් ජනතාව  අමතක කර තමන්ගේ පෞද්ගලික  අභිමතාර්ථ වෙනුවෙන් මාධ්‍ය හසුරුවන්නට  කාටවත් අයිතියක් නෑ

2019  1.13 ඉරිදා ලංකාදීප පුවත්පත් කතුවැකියෙන් සාකච්ඡා කර තිබුණේ කලුපටි  විරෝධතාව ගැනයි. එහිදී එම පුවත්පත කියන්නට උත්සාහ කර තිබුනේ පෞද්ගලික ධනය මත යැපෙන පෞද්ගලික මාධ්‍ය වලට තම අභිමතය අනුව කටයුතු කරන්නට අයිතියක් තිබේ වැනි අදහසක්. ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබුණේ ඔවුන් යැපෙන්නේ රජයේ මිල මුදල් මත නොව දැන්වීම් ආදායම මත බවයි

ඕනෑම මාධ්‍යයක දැන්වීම් අතර ආණ්ඩුවේ දැන්වීම් තියෙනවා නේද”? ආණ්ඩුවේ දැන්වීම් යනු රජයේ ජනතාවගේ මුදල් නොවේ ද? අනෙක ජනතාව නොමඟ යවා මිථ්‍යාවක් වපුරා අලවිය නංවාගෙන  දැන්වීම් පුරවා ගැනීම මාධ්‍ය සදාචාරයට එකඟ ද? එසේ නම් පෞද්ගලිකව තමන් පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන් ද යන වග ප්‍රසිද්ධියේ කිව යුතුයි.

නමුත්  ජනමාධ්‍ය කරන්නේ බොරු  ස්වාධීනත්වයක් පෙන්වමින් කවුරුන් වෙනුවෙන් හෝ රහසේ සේවය කිරීමයි. වාලම්පුරි වෙළදාමට අනුබල දෙමින් ජනතාව නොමඟ යැවූ ජනමාධ්‍ය අපේ රටේ මාධ්‍ය  ගැන අවබෝධයක් ලබන්නට ඇති හොඳම නිදසුනක්.  හරිනම් ජනමාධ්‍ය ඒ වෙනුවෙන් පාඨකයාගෙන් සමාව ගත යුතුයි.

ගුවන් සංඛ්‍යාත පිළිබඳ කළු පටි විරෝධතා විරෝධතාකරුවන් මතු කර තිබුනේ වැදගත් ප්‍රශ්නයක්. සංඛ්‍යාත යනු පොදු දේපලක් බව අපේ ජනතාව දන්නේ නැහැ. වෙන්දේසියකින් උපරිම මිල ගෙවා ලබාගත යුතු ගුවන් සංඛ්‍යාත අපේ රටේ දී හුවමාරු වන්නේ දේශපාලනය සහ වෙනත් බලපෑම් අනුව අත යට ක්‍රමයකටයි. ඒ අනුව සැම  විද්‍යුත් මාධ්‍යයක් ම කරන්නේ ජනතාවගේ ගුවන් සංඛ්‍යාත හොර පාරෙන් තමා සන්තක කර ගෙන අනිසි ලාභ  ඉපයීමයි.

කළු පටි විරෝධතාවය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ  දේශපාලන පක්ෂ සාමාජිකයින්  එනම් මහින්ද රාජපක්ෂ , සජිත් ප්‍රේමදාස, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, ආදී සියල්ලන් කතා කර තිබුනේ එය මාධ්‍ය වලට එරෙහි විරෝධතාවක් ගැන අදහස ඇතිවයි .එහෙත් ඇත්ත වශයෙන්ම  මාධ්‍යට  නිවැරදි වීමට කල බලපෑමක් මිස  මර්දනයක් නම් නොවේන බව මාගේ පෞද්ගලික මතයයි.

බේරේ ගෙදර,  මගුල් ගෙදර,  සල්ලි ගෙදර ආදී පච පත්තර වර්ජනය කරමු යනුවෙන් මීට පෙර නැගුනේ ජනමාධ්‍ය පක්ෂපාතීත්වයට විරුද්ධ එම මතවාදයයි. මෙවරත්  අලූත් ආකාරයකින් එය මතු වීමෙන් පෙනෙන්නේ ජනමාධ්‍ය විසින් සමාජයට මඟ කියනවා වෙනුවට ජනමාධ්‍යයට පාර කියන්නට ජනතාවට සිදුව ඇති බවයි. එය අතරමග නැවතී යුතු නැති සටනක්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *