|

සමජාතීය මිරිඟුව – නිශාන්ත කමලදාස

එක අත්තේ වහන්නේ එක් වර්ගයක කුරුල්ලන් ය. අප කැමති අප වගේ අය සමග කාණ්ඩ ගැසීමට ය. එක් ව සිටීම ට ය. එය පහසු ය. අප හරි වැරදි යැයි දකින දේ උන් ද හරි වැරදි යැයි දකින නිසා ලොකු කෝන්තර ඇති වෙන්නට ඉඩක් එවන් තැනක නැත. තේ බොන්නට ගියත් අප හොයන්නේ දන්න අඳුනන අය ය. පදිංචි වෙන්නට ගියත් එහෙම ය.

සිංහල බොහෝ දෙනකු කියන කතාවක් නම් එක් මුස්ලිම් මිනිහෙක් පදිංචියට ආවොත් ඉන් පසු මුළු පළාතම මුස්ලිම් ග්‍රහණයට අසුවන බව ය. එසේ කියන සමහරු කියන්නේ ඒ ප්‍රජාව එය කුමන්ත්‍රණකාරීව සිදු කරන බව ය. දෙමළ ජනතාවට ද ඊට සමාන චෝදනා තිබේ. ඒ චෝදනාවට අනුව වැල්ලවත්ත උන් විසින් ග්‍රහණයට ගෙන ඇත්තේ ය. ඒ වෙන එකක් නිසා නොව, ඔවුන්ගේ කුමන්ත්‍රණයක් නිසා නොව, එක අත්තේ වහන්නේ එක කුරුල්ලන් නිසා ය. සිංහල කොලනි ඕස්ට්‍රේලියාවේ තිබෙන්නේ ද ඒ අනුව ය. ඒ කුමන්ත්‍රණය කර එක පැත්තකට එකතු වුණා නොවේ. එක ජාතියේ කුරුල්ලන් වැහීමට එක අත්තක් සොයා ගැනීමේ ස්වභාවික සංසිද්ධියේ ප්‍රතිඵලයකි.

සමජාතීය මිනිසුන් සොයන අපට වෙනත් ජාතිකයන් සමග මුහුවන්නට සිදු වුණාම නිසඟ ප්‍රශ්නයක් ඇති වේ. ඒ මේ ජාතිකයන්ගේ හැසිරිම අපට දිරවාගත නොහැකි වීම ය. විවිධත්වය ඔරොත්තු නොදීම ය. එයට උත්තර හොයන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් යන මතයේ පිළිසරණ යටතේ ය. වෙනත් ජාතිකයන් හිටියාට කමක් නැත. ඒ ප්‍රධාන ජාතිය වූ අප සමග මුසුවෙලා ය. ඔවුන් ද කළ යුත්තේ අප කරන වැඩ ය. නොකළ යුත්තේ අප නොකරන වැඩ ය. උදාහරණයක් ලෙස අප හරක් නොමරන්නේ නම් ඔවුන් ද හරක් නො මැරිය යුතු ය. අප හරක් මස් නො කන්නේ නම් ඔවුන් ද හරක් මස් නොකෑ යුතු ය. උන් ඇඳුම් ඇඳිය යුත්තේ අප අඳින ලෙස ය. උන් කෑම ගතයුත්තේ අප ගන්නා විදිහට ය. ඒ නිසා හලාල් අරහං ය.

විෂම ජාතිත්වය තොලොංචි කිරීම

උන් සිටිය යුත්තේ මතු වී නොව සැඟවීගෙන ය. අපට තර්ජනයක් නොවන ලෙස ය. වෙනත් අනන්‍යතාවක් හදාගෙන නොවේ. මතුපිටින්වත් අප මෙන් පෙනෙන විදිහට ය.

පදිංචි වෙනවා නම් වෙනම කලාප හදාගෙන නොවේ. එසේ ඉන්නවා නම් අප අතර පැතිරී යන අයුරිනි. උන් එකට සිටීම ම අපට තර්ජනයකි.

දකුණේ ඇතැම් අය වාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ බලහාත්කාරයෙන් මුහු කිරීමේ විසඳුම ය. ඒ කියන්නේ සිංහල අය උතුරේත්, දෙමළ අය දකුණේත් පදිංචි කරවිම හරහා රටපුරා සමජාතිත්වය ඇති කිරීමට ය.

සංචාරකයන්ට ද සමාන තහංචි දැමීමට අපි ඉක්මන් වී ඇත්තෙමු. ඒ සංචාරක ව්‍යාපාරය ද පරදුවට තබමිනි. ඒ වෙරළේ පවා බිකිණි ඇඳීමට වැට බැඳීමට තැත් කිරීම හරහා ය. සංචාරක කර්මාන්තයේ බලපෑම හමුවේ එසේ සඳහන් බිල්බෝඩ් ඉවත් කර ගනු ලැබූව ද එයින් අදහස් කළේ උන් මෙහි එනවා නම් අප වගේ සිටිය යුතු බව ය. එසේ නොකිරීම අපට තර්ජනයක්ව ඇති බව ය. ඒ ගැන අප නොසතුටින් ඉන්නා බව ය.

නවකවදය තුළ උත්සාහ කරන්නේ ද විෂම ජාතිත්වය නැති කිරීම ය. සැවොම එක කෝවක් තුළ දමා නිම කිරීම ය. ජේෂ්ඨ උත්තමයන් විසින් නියම කරන ඇඳුම් පැළඳුම් මිස අන් ඒවා තහනම් කරන්නේ ද මේ සමජාතිත්වය ඇති කිරීමට ය.

පාසලක යුනිෆෝම් පැනවීමෙන් ද කෙස්වල සිට සපත්තු දක්වා සියල්ල සමජාතීය කිරීමෙන් සිදු කරන්නේ ද මේ කාර්යය ම ය. මේ සමජාතිත්වය උග්‍රව පැවති රටක් වූයේ චීනය ය. ඒ රට කළේ පාසලින් නොනැවතී රටපුරා සැමට යුනිෆෝම් ඇන්දවීම ය. මාඕගේ සිට සැවොම ඇන්දේ එකම ඇඳුමකි. එය පිරිමි ගැහැනු වශයෙන් වත් වෙනස් වූයේ නැත. දැන් ඒ පැරණි අස්සයා චීනය විකුණා දමා ඉවර ය. එහෙත් තවමත් මේ සමජාතිත්වයට ඇති ඇල්ම අපේ රටෙන් නම් ඉවත්ව ගොස් නැත.

පාසල යුනිෆෝම් ඇන්දීමෙන් ප්‍රදර්ශනය කළ සමජාතිත්වය අධ්‍යාපනය තුළ ප්‍රකාශයට පත් වුණේ සැමට එක විභාගයක් ලෙස ය. ශිෂ්‍යත්වය පොදු විභාගයකි. අපොස සාපෙ යනු පොදු විභාගයකි. විවිධ දක්ෂතා තිබෙන දරුවන් මෙසේ පොදු විභාගයකින් මැනීමෙන් කරන්නේ අපරාධයක් බව අධ්‍යාපන විශේෂඥයන්ටවත් ඊනියා විද්වතුන්ටවත් දැනෙන්නේ නැත.

දැන් පහව ඇතත්, වමත්කාරයන්ට එරෙහිව සමාජයක් ම යුද ප්‍රකාශ කළේ ද මේ සමජාතිත්වයට එරෙහිව ජනගහණයෙන් කුඩා ප්‍රතිශතයක් දකුණ ප්‍රතික්ෂේප කරමින් කැරලි ගැසූ නිසා ය. මේ සමජාතිත්වය තුළ සමලිංගිකයන්ට හෝ සංක්‍රාන්ති ලිංගිකයන්ට ඉඩක් නැත. උන් මේ සමජාතිත්වය ඇති කිරීමට බාධාවන් නිසා ය. වෛද්‍ය විද්‍යාවේ මැදිහත් වීම් නිසා වමත්කරුවන්ට එරෙහි සමාජ ප්‍රහාරයන් අවසන් වී තිබෙන මුත් වෙනස් ලිංගික නැඹුරුතාවන් සම්බන්ධයෙන් තවමත් අප ඉන්නේ අතීතයේ ය. ඒ පිළිබඳව ද එය අතිශයින් ස්වභාවික බවට වෛද්‍ය මතයක් තිබුණ ද තවමත් ඒ සම්බන්ධයෙන් සමාජය දක්වන විරෝධතා අවසන් වී නැත.

රුචි අරුචිකම්

ඇතැම් අය ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙන්නට යන්නේ ද මේ සමජාතිය යොදා ගනිමිනි. මෑතක දී රූපවාහිනි වැඩසටහනකට සහභාගී වූ එක් විද්වතකු කියා සිටියේ ලංකාවේ හාල් අතිරික්තයක් තිබිය දී තිරිඟු පිටි ගෙන්වීම රජය විසින් කරනු ලබන අනුවණකමක් බව ය. ඔහු නොකියා කීවේ ලංකාවේ හැම කෙනකුම වේල් තුනට ම බත් කෑ යුතු බව ය. ඒ කතාවට අනුව එක් එක්කෙනාට වෙන වෙනම රුචි අරුචිකම් තිබිය නොහැකි ය. තිබිය යුත්තේ එකම රුචි අරුචිකම් ය. වෙනත් රුචි අරුචිකම් තිබේ නම් වී ගොවියා රැක ගැනීමට ඒවා ඉවත දැමිය යුතු ය.

ඇතැමුන් සමාජ ප්‍රශ්නවලට උත්තර දෙන්නට යන්නේ ද මේ සමජාතිය යොදා ගනිමිනි. ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම් කරන සමහර විද්වතුන්ගේ අදහස වන්නේ අපරාධ රැල්ල මැඩ පැවැත්වීම උදෙසා සැම දෙනාටම දහම් පාසල් යෑම අනිවාර්යය කළ යුතු බව ය. ඒ දහම් පාසල් හා අපරාධ අතර සම්බන්ධයක් ඇති ද යන වගවත් නොවිමසා ය.

ඇතැම් අය මේ සමජාතිත්වය අන්තයට ම ගෙන යන්නට ද සූදානම් ය. ඔවුන්ට අනුව මේ රට සිංහල බෞද්ධ රටකි. ඒ නිසා සෙසු අය ද ජිවත් විය යුත්තේ ඒ සිංහල බෞද්ධ රාමුව තුළ ය. ඊනියා සිංහල බෞද්ධයන් ඉඩ දෙන සීමාව තුළ ය. එසේ සිටින්නට අකමැති අය රට හැර යා යුතු ය.

මේ නම් සිඟිති ආතල් මිසක ගැඹුරක් ඇති ප්‍රකාශයන් නොවේ.

සමාන යැයි කියන අය සමාන ද?

මේ තත්වය දිගින් දිගට පවත්වා ගෙන යෑමට අපට නොහැකි ය. අප ඉන්නේ ශ්‍රීඝ්‍රයෙන් ගෝලීයකරණයට ලක් වෙන ලෝකයක ය. අපට දැන් ගනුදෙනු කිරීමට සිදු ව ඇත්තේ අප රටට පැමිණ තාවකාලිකව පදිංචිව සිටින චීන ජාතිකයන් ද ඉන්දියානුවන් ද බංග්ලාදේශ ජාතිකයන් ද සමග ය. මැදපෙරදිග සහ කොරියාවේ රැකියා කරන ලාංකිකයන්ට ද ඕස්ට්‍රේලියාවට කැනඩාවට අමෙරිකාවට සංක්‍රමණය කර ඇති ශ්‍රී ලාංකිකයන්ට සිදු ව තිබෙන්නේ ද තමන්ගේ නොවන මිනිසුන් සමග හරි හරියට ගැටෙමින් ජීවත් වීමට ය.

එපමණ ද? නැත. සිංහලයන් කියන අය සමජාතියය ද? ඔවුන් කුල වශයෙන් බෙදී නැද්ද? ආගම් වශයෙන් බෙදී නැද්ද? උඩරට පහතරට වශයෙන් බෙදී නැද්ද? බෙන්තර ගඟෙන් එහා දකුණෙ සිංහල මිනිසා රජරට බැද්දේ සිංහල මිනිසාට සමාන ද? ගම්බද සිංහල මිනිසා නගරයේ උපත ලද සිංහල මිනිසාට සම ද?

එසේ බෙදී ඇත්තේ සිංහල පමණක් ද? උතුරේ දෙමළ මිනිසා නැගෙනහිර දෙමළ මිනිසා හා සම ද? වෙල්ලාල කුලයේ දෙමළ මිනිසකු අඩු කුලයේ දෙමළ මිනිසකුට සම ද?

මුස්ලිම් ජාතිකයන් සියල්ලෝ එක සම ද? කොළඹ හැදී වැඩුණු මුස්ලිම් ජාතිකයකු නැගෙනහිර මුස්ලිම් ජාතිකයකුට සමාන කළ හැකි ද? මොට්ටැකිලි පලඳින හා නොපලඳින මුස්ලිම් කාන්තාවන් ලෙස අඩු වශයෙන් දෙවර්ගයක්වත් දකින්නට අපට පුළුවන.

වෙනසට ගරු කිරීම

බෞද්ධයින් කියා සමජාතීය පිරිසක් වෙද්ද? ඕල්කට් බෞද්ධයොත් ධර්මපාල බෞද්ධයොත් යනුවෙන් දෙකොට්ඨාසයක්වත් ඇති බව අපි දනිමු. සංඝයා වහන්සේලා ලෙස හැඳින්වෙන සමජාතීයය පිරිසක් අපේ රටේ වෙද්ද? අබසරණ නිකායේ ස්වාමීන්වහන්සේලා හා ඊට අයත් නොවන ස්වාමීන්වහන්සේලා වශයෙන් අඩු වශයෙන් දෙපිරිසක් අපි දකින්නෙමු. බාහිරින් නම් උර වසා සිවුර අඳින ස්වාමීන් වහන්සේලාත් එසේ නොකරන ස්වාමීන්වහන්සේලාත් ලෙස දෙකොට්ඨාසයක්වත් අපි දකිමු. නිකාය භේදය ගත්තොත් දුවන්න වෙන්නේ කරදිය වළල්ලෙන් එහාට ය. ඒ එහි ආරම්භය විදේශ සම්භවයකට සම්බන්ධ නිසා නොවේ. මේ නිකාය අතර පවතින භේදයන් ඒ තරමට ප්‍රබල නිසා ය.

වයස්ගත පුද්ගලයකු තරුණයකුට සම කළ හැකි ද? උගත් පුද්ගලයකු නූගත් පුද්ගලයකුට සම කළ හැකි ද? ගැහැනියක පිරිමියකුට සම කළ හැකි ද?

බුදුන් වහන්සේ කියූ ලෙස එක තණ පතක් තව තණ පතකට සම කළ නොහැකි ය. එහෙව් ලෝකෙක අපි මේ හොයන සමජාතිත්වය ම මිරිඟුවක් නොවන්නේ ද?

අපි වෙනස් ය. සමාන යැයි කියන මිනිසුන් අහසට පොළොව මෙන් වෙනස් ය. විෂම යැයි කියන මිනිසුන් අදහස් අතින් ඇතැම් විට සම ය. එහෙව් වටපිටාවක මේ හොයන සමජාතිත්වය කුමක් ද?

අවශ්‍ය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කිරීම ය. ඒවා සමග ගනුදෙනු කිරීම ය. ඒ වෙනස්කම් නිසා ම අප එකිනෙකා සතුව ඇති ශක්තීන් සැම දෙනාගේ අභිවෘද්ධීය සඳහා යොදා ගැනීම ය. දුර්වලකම් ඒ මගින් තුනී කර ගැනීම ය.

බොහෝ දෙනා වෙනස්කම් දෙස බලන්නේ කවුද මුදුනා යන්න නිශ්චය කිරීමට ය. එය අතිශය මෝඩ ප්‍රවේශයකි. වඩා ශක්තිමත් රූස්ස ගහක් ද කුඩා වැලක් දැයි කෙනකුට කිව හැකි ද? කුඩා වැලක් තනි අතකින් ආයුධයකින් පවා තොරව කඩා දැමිය හැකි ය. එහෙත් රූස්ස ගසක් සම්බන්ධයෙන් අපට එවැන්නක් කළ නොහැකි ය. එතෙකුදු මහා සුළඟකින් වැලට හානියක් නොවන මුදු රූස්ස ගස ඉගිලී වැටෙන්නට පුළුවන. එහෙව් තැනක වඩා ශක්තිමත් කවුදැයි සෙවීමේ තේරුමක් නැත.

විෂමතා සොයමින් වඩා ලොකු කුමක් දැයි සෙවීම වෙනුවට හැම දෙයකම ඊට ආවේණික ශක්තියක් ද ආවේණික දුර්වලකමක් ද තිබෙන බව දැන ඒවා සමග ගනුදෙනු කිරීම වඩා නුවණක්කාර ය.

සුන්දරත්වය ඇත්තේ විවිධත්වය තුළ ය. කෝවිලේ පෙරහැර ද පල්ලියේ මංගල්ලය ද පන්සලේ පහන් කූඩුව ද නැරඹීමට අපට එක රටක් තුළ හැකියාව ලැබී ඇත්තේ ඒ නිසා ය. එක් එක් ජනවර්ගයකට අයත් විවිධ ආහාර පරිභෝජනයට අවස්ථාවක් අප ලබන්නේ ඒ නිසා ය.

ශක්තිය ඇත්තේ විවිධත්වය තුළ ය. මුස්ලිම් මිනිසුන් වෙළෙඳාමේ දක්ෂ වෙද්දී සිංහල මිනිසුන් නව නිපැයුම් සඳහා දක්ෂ නම් එතැන ඇත්තේ එක්ව වැඩ කර දෙජාතිය ම දිනවිය හැකි සංකලනයකි. අප සමජාතිත්වය ඇති කරනු වෙනුවට කළ යුත්තේ මේ වෙනස පිළිගෙන ඊට ගරු කර අප සැමගේ අභිවෘද්ධීය පිණිස ඒ වෙනස් කම් එක් වී යොදා ගැනීම ය.

මා කැමති මගේ ආයතනය තුළ සිංහල අය පමණටම දෙමළ මුස්ලිම් අය පමණක් නොව අමතරව විදේශිකයන් ද සිටිනවාට ය. සිංහල අලුත් අවුරුදු දිනයක වැඩක් කරගන්නට ඕනෑ වුණොත් මගේ දෙමළ, මුස්ලිම් හා විදේශික සගයන් මගේ සහායට එනවා ඇත. තෛපොංගල් දිනයේ දී දමිළ සගයන් අහිමි වුව ද සිංහල හා මුස්ලිම් සගයන් උදව්වට සිටිනවා ඇත.

මා කැමති බෞද්ධයින් තරමට ම හින්දු ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමිකයන් ද සිටිනවාට ය. ඒ අතරට නිරාගමිකයන් ද එක් කර ගැනීමට පුළුවන් නම් වඩාත් හොඳ ය. හැදී ගෙන එන කපුටු බෝ ගහක් කපන්නට බෞද්ධයකු අදිමදි කරද්දී වෙනත් ආගමිකයකු හෝ නිරාගමිකයකුට ඒ වැඩේ පැවරිය හැකි ය. මේ ජාතික ආගමික විවිධත්වය සම්බන්ධයෙන් මතුපිට පෙනෙන සිල්ලර කාරණා ය. ඊට වැඩි දායකත්වයක් ඔවුන්ගේ වෙනස් දිවි පෙවෙත් හා වෙනස් දැනුම හරහා ආයතනයට ලබා ගත හැකි ය. විශේෂයෙන් අපේ බහුවාර්ගික බහු ආගමික රටේ වෙසෙන විවිධ ජාතීන්ට හා ආගම්වලට අයිති පාරිභෝගකයන් හා සේවාලාභීන් හඳුනා ගැනීම සඳහා සහ ඒ එක් එක් ජන කොටසේ සංවේදීතා හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි ය.

ස්වදේශිකයන් රට හඳුනන නමුත් පිටරැටියෙක් සිතන්නේ කෙසේ දැයි දන්නේ නැත. විදේශිකයා මේ රටේ නැති අප නුදුටු අපට නුහුරු දේ අපට හඳුන්වා දෙනු ඇත. ඒ නිසා අප සතු විසඳුම් වඩා පුළුල් පරාසයක විහිදෙනු ඇත. අපේ රටේ මිනිසුන් සැනසුම නිවන හොයන නිසා ඔවුන් සතු ජවයේ සීමාකම් තිබිය හැකි ය. එහෙත් ගතිකත්වය වෙනස සොයන විදේශිකයකු ඊට වඩා වෙනස් හැසිරීමක් පෙන්නුම් කරනු ඇත.

විවිධත්වයේ වාසි

මා කැමති රජයේ පාසල්වල අධ්‍යාපනය ලැබූ අය තරමටම ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලැබූ අය ද හැකි නම් මගේ ව්‍යාපාරයකට එකතු කර ගැනීමට ය. පටු ජාතිකත්වයේ සීමාවන්ගෙන් ඔබ්බෙහි තිබෙන දේ බැලීමට ඔවුන් අපට උදව් වනු ඇත. ඒ දේශීය උරුමයේ වැදගත් තැන් රජයේ පාසල්වලට ගිය අයගේ සැලකිල්ලට ලක් වෙද්දී ය.

ස්වභාව ධර්මය පවා විවිධත්වයට පක්ෂපාත බව සැලකිල්ලෙන් බැලුවොත් පෙනී යන්නේ ය. දක්ෂම දරුවන් උපදින්නේ හැකිතාක් විෂම මාපියන් යුගලයකට ය. උදාහරණයක් ලෙස සම කළු අප්‍රිකානු ජාතිකයෙක් සම සුදු යුරෝපීය ජාතිකයකු හා එක්වීමෙන් ලැබෙන දරුවෙකු පවුලට සමීප තවකෙකු හා සම්භෝගයෙන් ලැබෙන දරුවෙකුට වඩා ශාරීරිකව ද මානසිකව ද ශක්තිමත් කෙනෙකු බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. බරක් ඔබාමා එයට ඇති එක් ජීවමාන උදාහරණයකි. ඔහු අප්‍රිකානු ජාතික කළු පියෙකුට දාව ඇමරිකානු ජාතික සුදු කාන්තාවකගෙන් උපත ලැබූවෙකි. එවැනි අහඹු උදාහරණවලින් පමණක් නොව නිසි සමීක්ෂණයෙන් ලද සංඛ්‍යා ලේඛන ඇසුරෙන් ද මේ බව සනාථ වී ඇත.

තවදුරටත් සමජාතිත්වය සොයන අයට මග හැරෙන්නේ විවිධත්වයේ ඇති මේ අපූරු ශක්තිය ය. ලංකාවට රටක් හැටියට ඉදිරියට යා හැක්කේ පරණ කල් ඉකුත්ව ගිය බර පොදි විසි කර දැමීමෙනි. සමජාතිත්වය විසි කළ යුතු තවත් එවන් එක් බර පොදියකි.

 

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *