බලය ගන්න ලේසි ක්‍රමය ආගම ව්‍යවස්ථාව මුලට දා ගැනීමයි – පා.ම වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ දිනවල රටේ බහුතර දේශපාලන අවධානය යොමුව තිබෙන්නේ ජනාධිපතිවරණයක් සම්බන්ධවයි.

2015 වසරේ මේ රජය බලයට පත් වන විට දීපු ප්‍රධාන පොරොන්දුවක් තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුණෙත් ඒ අනුවයි. රනිල් වික්‍රමසිංහ මහතාට ආසන 42ක් සහිතව අගමැතිවරයා ලෙස පත් වන්නට හැකි වුණෙත් ඒ අනුවයි. එහෙත් මේ කිසි අයෙක් විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙනන්ට නැහැ.

එම නිසා එක්සත් ජාතික පක්ෂයට සදාචාරත්මක අයිතියක් නැහැ යළිත් ජනාධිපතිවරණයක් සම්බන්ධව කතා කරන්න. ඒ ජනාධිපතිවරණය අනුව තමයි අනෙක් අයත් ජනාධිපති අපේක්ෂකයා කවුද යනුවෙන් සොයමින් මීළඟ ජනාධිපතිවරණයට සුදානම් වන්නේ. ජනාධිපතිවරයා අද වුවත් ප්‍රමාද නැහැ. ඒ ජනමතයට ගරු කර තීන්දුවක් ලබා දෙන්න. මේ වසරේ හෝ ඒ සම්බන්ධව කටයුතු කළ හැකියි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම වළක්වාලමින් නිකුත් කළ අධිකරණ වාරණයේ තීන්දුව ඉදිරි සතියේ ලබා දෙන්නට පුළුවන්. මෙයත් තවත් අර්බුදයක් වෙයිද?

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කළත් ඔහු එසේ පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනා ගත හැකි මන්ත්‍රීවරයායි. මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නට සිදු වුණේ ඔහුට බහුතරයක් පෙන්නුම් කළ නොහැකි වූ නිසයි. ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් ලබා දෙන්නට පුළුවන් බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ විශ්වාසය දිනාගත හැකියි සලකන ඕනෑම අයකුට අගමැතිධුරය ලබා දෙන ලෙස. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදු කරනු ලබන අර්ථ දැක්වීමයි.

ජනාධිපතිවරණය, බහුතරය මේ දේශපාලන කතා අස්සේ රටේ ආර්ථිකයට වන හානිය ගැන කිසිම තැකීමක් බොහෝ අයට නැහැ.

ඕක තමයි අපේ රටේ දේශපාලනයටත් ජනතාවටත් වෙලා තියෙන්නෙ. රටේ ජනතාවටත් යමක් මතක් වෙන්නෙ උපරිමයට ගියාට පසුවයි. බඩු මිල ඉහළ යන විට, රෝහලේ බෙහෙත් පෙත්ත නැති විට, බස් එකක දුම්රියක යන්න බැරි වන විට තමයි ඒ සේරම මතක් වෙන්නෙ. පවතින ආණ්ඩුවට බැන බැන ඉන්න එක ඇරෙන්න ජනතාවත් කරන දෙයක් නැහැ. ජනතාව මේ ප්‍රශ්නයේ මුල කොතැනද කියන එකට විසඳුමක් හොයා ගන්නෙ නැහැ. ජනතාවත් එකම පීල්ලෙ ගිහින්. දැන් වෙලා තියෙන්නෙ බදු ආදායම රටේ ණය ගෙවන්නවත් ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත් වීමයි.

මේ ප්‍රශ්නයට මුල රටේ ප්‍රධාන පක්ෂ දෙකම අවුරුදු 70ක් තිස්සේ එහෙමත් නැති නම් විවෘත ආර්ථිකයෙන් පසුව අවුරුදු 40ක් විතර හරි ගෙන ආ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති. ඒ බව දැන දැනත් ජනතාව ඔළුගෙඩි එහාට මෙහාට මාරු කරනවා විතරයි. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තියක් සතු පිරිසක් බලයට පත් කිරීමේ වගකීම ජනතාවත් සතු වෙනවා.

ඔබ පවසන්නේ ජනතාව වසර 70ක් තිස්සේම ආණ්ඩුවලට රැවටී ඇති බවක්ද?

බලයට පත් වෙන ඕනෑම ආණ්ඩුවකට පුළුවන් වෙලා තියෙනවා ජනතාවට සීනි බෝල දීලා ව්‍යවස්ථාව, ආගම වගේ දේ මුල් කරගෙන ජනතාව රවටන්න. මේ නිසා නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවලට පුළුවන් වන්නේ ජනතාවගේ බදු වැඩි කිරීම පමණයි.

බදු වැඩි කර ජනතාව අපහසුතාවට පත් කරන බව ඔබ කිව්වත් පසුගිය 10 වැනිදා යළිත් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩු කළා.

මිල සූත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වනවා නම් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩු වන විට ඉන්ධන මිල අඩු වීමටත් වැඩි වන විට වැඩි වන ක්‍රමවේදයක් සැකසිය යුතු වනවා. නමුත් මේ වන විට මෙරට ඉන්ධන මිලට රජය අධික ලෙස බදු අය කරනවා. ඉන්ධන මිලෙන් 40%ක් පමණ රජයේ බදු ලෙසයි අය කරන්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාව මෙන්ම රජයට අධික ලෙස බදු උපයා ගත හැකි නිසා මේ ලෙසින් තෙල් මිල ඉහළ දමනවා. ආණ්ඩුවේ බදු ප්‍රතිශතය අඩු කරනවා නම් ඛනිජ තෙල් මිල පහළ දමන්න පුළුවන්. බස් ගාස්තුවත් පහළ දමන්න පුළුවන්. ප්‍රවාහන වියදම් අඩු වන විට අත්‍යවශ්‍ය ආහාර මිලත් අඩු වේවි.

මේ දිනවල ආණ්ඩුව ෆෙඩරල් දෙන්න යනවා කියමින් දේශපාලඥයන් ආණ්ඩුවට පහර දෙනවා. ඔබ පක්ෂය මේ කතාව අනුමත කරනවාද?

අපේ රටේ බලය ලබාගන්න තියෙන ඇඟ නොරිදෙන පහසුව ක්‍රමය තමයි රට බෙදනවා, බුද්ධාගමට තියෙන තැන නැති කරනවා කියන භීතිය ගේන එක. දැන් මහින්ද රාජපක්ෂ න‍ඩේ කරමින් ඉන්නේ ඒ වැඩේ තමයි. රටක ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ආකාරය ඉතා පැහැදිලියි. පාසල් පෙළ පොතේ පවා ඒ බව කෙටියෙන් දැක්වෙනවා. ව්‍යවස්ථාවක් හුදු පක්ෂ නායකයකුගේ මනසේ පහළ වන සිතිවිල්ලක් නෙමෙයි. එය මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ‍ගේ හෝ මහින්ද රාජපක්ෂගේ හෝ අනුර කුමාරගේ හෝ සිතේ මැවෙන සිතිවිලි ගොන්නක් නෙමෙයි.

සමස්ත පාර්ලිමේන්තුවම නියෝජනය වන ආකාරයට ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවා තිබෙනවා. ඒ ඔස්සේ අනුකාරක සභා 6ක් පිහිටුවා තිබෙනවා. එම අනුකමිටුවල සභාපතිධුරයන් දරන්නේ විවිධ පක්ෂවල දේශපාලන නියෝජිතයන්. උදාහරණයක් ලෙසින් දක්වනවා නම් මූල්‍ය අනු කමිටුවේ සභාපතිවරයා වන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. එමෙන්ම මේ කටයුතු කරන්න සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් අයත් වන 21 දෙනකුගෙන් සමන්විත මෙහෙයුම් මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ මෙහෙයුම් මණ්ඩලය විසින් විධායක ජනාධිපති ධුරය, බලය බෙදීම, මැතිවරණ ක්‍රමය වැනි ප්‍රමුඛ කරුණු පිළිබඳ තීන්දු ලබා දෙන්නට ඔවුන්ට බලය පවරා දී තිබෙනවා. මේ ව්‍යවස්ථාදායක සභාවට ආධාර පිණිස මහජන අදහස් මණ්ඩලයක් සහ විශේෂඥ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඔවුන්ද තම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මේ වාර්තා පදනම් කරගෙන මෙහෙයුම් මණ්ඩලය හදන වාර්තාවක් ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළාට පසුව එහි වාද විවාද සංශෝධන ආදියෙන් පසුව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත විය යුතුයි. එසේ සම්මත වුවහොත් එතැනින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය යුතුයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත විය යුතුයි. එතැනින් නොනැවතී එය පළාත් සභා නවයේම අනුමැතිය හිමි විය යුතුයි. එසේ වුවත් එය ව්‍යවස්ථාවක් බවට පත් වන්නේ නැහැ. එය ජනමත විචාරණයකදී ජනතාව විසින් කළ යුතු වෙනවා. අවසානයේදී ජනාධිපතිවරයා විසින්ද එය අනුමත කළ යුතු වනවා. මේ දිනවල විවිධ බිල්ලන් මවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සියල්ල දන්නවා. එවැනි දේ දැන දැනත් ආගම, ව්‍යවස්ථාව මුලට දාගෙන ජනතාව රවටනවා නම් ඒ තරම් අධම දේශපාලකයො පිරිසකත් තවත් නැති බව මෙහිදී කිව යුතු වනවා.

සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *