|

ජනාධිපති බිල්ලට දෙන තව ගේමක් ගැන එජාපයට වාර්තාවක් – අය වැය මැද හදිසි ජනාධිපතිවරණයක් !

පසුගිය සෙනසුරාදා දකුණු පළාතේ සංචාරයකට ගිය අගමැතිවරයා එහිදී ආගමික කටයුතුවලට මුල්තැන දීමට ක්‍රියා කලේය. මුලින්ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගොස් පුදපූජා පැවැත්වූ ඔහු අනතුරුව ගියේ කතරගම පුදබිමටය. එහිදී කිරිවෙහෙර වැඳපුදාගත් අගමැතිවරයා අනතුරුව කතරගම මහ දේවාලයේදී පුදපූජා පැවත්වීය. එපමණක්ද නොව වැඩහිටිකන්ද වන්දනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ඉහත කී සියලු පුදබිම්වලදී රැස්ව සිටි ජනතාව සමගද සතුටු සාමීචියේ යෙදීමද අගමැති රනිල් අමතක කලේ නැත.

බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු යෑමට පෙර වැදගත් රාජකාරි කිහිපයක් ඉටුකිරීම සඳහා අරලියගහ මැදුරට පැමිණි අගමැති රනිල් එහි පැමිණ සිටි මැති ඇමතිවරු රාජ්‍ය නිළධාරීන් හා සමීප මාධ්‍යවේදීන් දෙදෙනෙකු සමඟද කතාබහ කළේය.

“ඊයේ කරන්දෙනිය ඉස්කෝලෙදි ඔබතුමා කළ කතාව වටිනවා. පාර්ලිමේන්තුවටත් වඩා අද පාසැල් සිසුන් අතරේත් හොඳ විනයක් තිබෙනවාය ඒ වගේම පාර්ලිමේන්තු විනයත් මුලින් අඩුගානෙ පාසැල් දරු දැරියන්ගේ විනය මට්ටමටවත් ගෙන ඒම අත්‍යවශ්‍යයි කියපු එක ඉතා වැදගත් විග්‍රහයක්” වජිර අබේවර්ධන මෙන්ම ගයන්ත කරුණාතිලක කීවේද එවැනි අදහසකි.

“ජනතාවට උපරිම සහන දෙන අපේ අයවැය “බ්ලාස්ට්” කරලා අයවැය මැදදී ජනාධිපතිවරණයක් කැඳවන්නත් සමහරු ජනාධිපතිට බල කරනව කියල ආරංචියි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“පස්ස දොරෙන් අගමැතිකමයි ආණ්ඩුවයි කොල්ලකාලා නඩු ටික යට ගහගන්න උත්සාහ කරලා බැරි වූ නිසා දැන් ජනාධිපතිවරණයක් කැඳවල ජනාධිපතිතුමා බිල්ලට දීල හරි අවසාන තුරුම්පුව ගහන්නයි මේ හොර නඩය උත්සාහ කරනව කියල කියන්නෙ” රංජිත් අලුවිහාරේ පළකළේ එවැනි අදහසකි.

“තමාව උගුලට දාවි කියල ජනාධිපතිතුමාට සැකයක් තියනව කියලත් ආරංචියි. එක එක්කෙනා කියන පදේට ජනපතිවරණ තියලා මහින්දට වගේ මෙතුමාටත් කලින්ම ගෙදර යන්න සිදුවීම ගැන අපට කණගාටුයි. කොහොම කරත් ජනපති මෛත්‍රී අපි පත්කරපු ජනාධිපති නිසා අපට එතුමා ගැන විශාල හැඟීමක් තියනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

“යූඇන්පී කාරයො ගැන වැඩියෙන්ම බලපු ඇමතිවරු කීපදෙනා අතර කිරිඇල්ල ඇමතිතුමා ඉන්නවා කියන එක රටේ මතයයි. ඒත් ආණ්ඩුව බේරගන්න උපරිම සටනක් දීපු නිසා විෂයන් ගැසට් කිරීමේදී ඔබතුමාටයි වැඩිම අසාධාරණය වෙලා තියෙන්නේ. ඒක නිවැරැදි වෙන්නෙ නැද්ද” චමින්ද විජේසිරි විමසුවේ අගමැති දෙස බලාය.

“කිරිඇල්ලට අසාධාරණයක් වෙන්න ඉඩතියන්නෙ නෑ කියල මම වගේම ජනාධිපතිතුමාත් ප්‍රසිද්දියේ පොරොන්දු වුණා. ඒ නිසා ඉක්මනින්ම කිරිඇල්ල ඇමතිතුමාට සාධාරණයක් ඉටුවේවි” අගමැතිවරයා සිය මතය එලිකළේය.

“පළාත්සභා වල හිටපු පරිණත ආණ්ඩුකාරවරු ඉවත්කරලා ඒ වෙනුවට රනිල් අගමැතිතුමාටයි එජාපෙටයි දැඩි ලෙස විරුද්ධ දේශපාලන අත්දැකීම් නැති පිරිසක් ආණ්ඩුකාරවරු ලෙස පත්කිරීම පුදුමයක්. විශේෂයෙන් නැගෙනහිර පළාත විදෙස් ආයේජන හරහා දියුණු කිරීමේ රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරවරයාගේ හා අනෙක් පළාත්වල සංවර්ධනයත් ඇණහිටින්න පුළුවන්” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“මැතිවරණ ව්‍යාපාරයක් සඳහා රාජ්‍ය නිළධාරීන් හා ආරක්ෂක අංශ අල්ලගෙන මරාගෙන මැරෙන ගේම් එකක් දෙන්න නව ආණ්ඩුකාරවරු පත්කළා කියලත් කියනවා” නවීන් දිසානායක කළ විග්‍රහය අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

“නව පත්වීම් ලබපු අය ආණ්ඩුකාරවරුන්ට වඩා ඒ ඒ පළාත්වල ශ්‍රීලනිපයේ ප්‍රධාන සංවිධායකවරු කියලත් සමහරු කියනවා” නවීන් දිසානායක වැඩිදුරටත් කීවේය.

“ප්‍රේමදාස මහතා පටන්ගත්ත චන්ද්‍රිකා ඉස්සරහට තල්ලුකරපු මහින්ද දැඩිලෙස උනන්දු වූ හා මේ රජය ඉදිකළ මාතර බෙලිඅත්ත නව දුම්රිය පාරේ ගියපු පළමු දුම්රියට මහින්දගෙ බැනර් ගහලා හෙන්චයියො ටිකක් ඇවිත් මහ කලබලයක් කළා. එහෙමනම් අනිත් හැම කෝච්චි පාරක්ම ඉදිකරපු මහරැජිනගෙ හෝ බ්‍රිතාන්‍යය අගමැතිගෙ පින්තූර ගහන්න වෙනවා. කෝච්චියෙ ගහපු මහින්දගෙ පෝස්ටරේ ලසන්ත හා තාජුඩීන්ගෙ මිනීපෙට්ටිවල ගැහුවෙ නැත්තෙ ඇයි කියලයි සමාජ ජාලාවල ප්‍රශ්න කරන්නෙ” රංජන් රාමනායක සුපුරුදු ලෙස දැවැන්ත බෝම්බයක් පත්තු කලේය.

“ජනතා මුදලින් හා අධික ණය වලින් හදන දේවල් වලට නම ගහගන්න සමහරුන්ට තියන දැඩි ආසාව ඔබතුමාට නැත්තෙ ඇයි?” අජිත් පී පෙරේරා අගමැති රනිල්ගෙන් ප්‍රශ්න කලේ දැඩි සිනහවක්ද සමගිනි.

“ජනතා මුදලින් හදන දේවල් වලට තියා අතේ මුදලින් හදන දේකට පවා නම නොගහන එක මගේ නෙවෙයි ඒක එජාප සම්ප්‍රදායයි. ජේ ආර් මේක කළේම නෑ. ප්‍රේමදාස උපන්දින උත්සවයක්නම් තිබ්බා. හැබැයි ඒකෙන් වැඩිම වාසිය වුණේ ඒ ඒ පළාත්වල මිනිස්සුන්ටයි” අගමැතිවරයා අතීතය විස්තර කළේය.

“ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලමයා ලංකාවෙන්ම පළවෙනියා වීමට විරුද්ධව බන්දුල ගුණවර්ධන මුළු රටම විරුද්ධ වෙද්දි තාම තනියම නානවා. අධ්‍යාපන ඇමති අකිලයි  වත්මන් විභාග කොමසාරිසුයි රටට ඇත්ත පැහැදිලි කළා. බන්දුල අධ්‍යාපන ඇමති කාලෙ පවා තිබුණු ක්‍රමයයි අදත් ක්‍රියාත්මක වෙන්නෙ. එහෙම එකේ අසරණ දරුවෙක් අල්ලගෙන බන්දුල ගුණවර්ධන කරන මේ අශිෂ්ඨ වැඩේට රටම විරුද්ධයි” දය ගමගේ කීවේය.

“බොහෝ ජනමාධ්‍ය සමබර නොවී රට නොමග යවනවා. තමන්ගෙ අඩුපාඩු හදාගන්නෙ නෑ. ඒ අයට ජනතා දේපලක් වූ සංඛ්‍යාත පාවිච්චි කරලා ජනතාව නොමග යවන්න අයිතියකුත් නෑ. ඒ නිසා “කළු මාධ්‍ය” කියලා බනිනවා, රජයේ දැන්වීම් දෙන්නෙ නෑ කියලා ආඩපාලි විතරක් කියල හරියන්නෙ නෑ” චමින්ද විජේසිරි කී දෙය සියළුදෙනා අනුමත කළහ.

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට අදාල ලග්ගල ඉදිවූ නව නගරය විවෘත කිරීම පසුගියදා ජනපති අතින් ඉටු වූ අතර එම උත්සවයට ශ්‍රීලනිප මෙන්ම එජාප මැති ඇමතිවරුන්ද රැසක් එක්විය. සජිත් ප්‍රේමදාස බලෙන්ම වාගේ ජනාධිපතිවරයා සිය වාහනයට නංවාගත් බවටද ආරංචි පැතිර ගියේය. ඒ උත්සවයට අගමැති ඇතුලු එජාපෙ සියලු දෙනාටම ආරාධනා ලැබී තිබූ අතර අගමැතිවරයා උපදෙස් දී තිබුණේ හැකි සෑම කෙනෙක්ම එම උත්සවයට එක්වීම වැදගත් බවය. මන්ද එම ව්‍යාපෘතිය මේ ආණ්ඩුව නිමකළ දැවැන්තම සංවර්ධන යෝජනාක්‍රමයක් බැවිනි.

“දන් මේ ව්‍යවස්ථා මර උගුලක් කියලා ජනමාධ්‍යයි හාමුදුරුවරුයි පොහොට්ටු හා ශ්‍රීලංකා කාරයොයි උදේ හවස මොරදෙනවා. නිමක් නෑ, රට නොමග යවන මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුවේ පැහැදිලි කිරීමත් ඉතා මදි” නවීන් දිසානායක යලිත් කීවේ අගමැතිටය.

“සිකුරාදට නව ව්‍යවස්ථාවේ විශේෂඥ වාර්තාව හා අනෙක් වාර්තා ඔක්කොම පාර්ලිමේන්තුවට දානවා. ව්‍යවස්ථා සභාව ඒවා අධ්‍යනය කරලා ඉදිරියට යන්න කිව්වොත් යනවා. නැත්නම් මේක නවතීවි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හ ජනමත විමසුමකින් සම්මත නොවී නව ව්‍යවස්ථාවක් ගේන්න බැරි බව මේ කෑගහන අය දන්නවා වුණත් ඔවුන් පටු දේශපාලන වාසි වෙනුවෙන් රට ගිනිතියන්න හදනවා. කළු මාධ්‍ය ඊට උඩගෙඩි දෙනවා. මේක අපරාධයක්” අගමැතිවරයා කළ පැහැදිලි කිරීමට කාගේත් එකඟත්වය පළවිය.

“බරපතල දූෂණ වංචා හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට අදාල ජනාධිපති කොමිසමේ වාර්තාව පිලිගන්නෙ නෑ කියල මහින්ද ඊයෙ පාර්ලිමේන්තුවේදී කිව්ව. ඒක ජනාධිපති අළුත් යාළුවාට කියන්න කියලා ඇමති මංගල ඒකට හොද උත්තරයක් දුන්නා” දයා ගමගේ කීවේ එවැන්නකි.

“ITN එකේ මුදල් ප්‍රශ්න ගැන උදගෝෂණය කරපු සේවකයො පුදුම මිනිස්සු. 2015 ජනපතිවරණයේදී රු. ලක්ෂ 1100ක් මහින්දගේ දන්වීම් වලට පොලු තියපු එක ගැන වචනයක් කතාකලේ නෑ. අනික ඒ ජනපතිවරණයේදිම ජනපති මෛත්‍රීගෙ දැන්වීම් වලට අසාධාරණ ලෙස දෙගුණයක් සල්ලි අය කරලත් තියනවා” රංජිත් අලුවිහාරේ එලිකළේය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *