ජනවාරි 8 ට වයස 4 යි – සම්පත් අමරසිංහ

2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මෛත්‍රී – රනිල් පාර්ශවය විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු මුලික ලියවිල්ල ලෙස සැලකිය හැකි පත්‍රිකාව නම්කොට තිබුනේ ‘’ වෙනසකට එක්වෙමු  දින 100 කින් අලුත් රටක් ‘’ වශයෙනි . දින 100 ක් තුල රටේ එතෙක්  පැවති දේශපාලන සමාජ තත්ත්වය උඩු යටිකුරු කර ජනතාවාදී පාලනයක් බිහිකිරීමට පොරොන්දු පත්‍රයේදී ජනතාව තුල බලාපොරොත්තු ඇතිකර තිබුණි . එහිදී ජනතාව වෙත යහපාලන ප්‍රතිඥා  හෙවත් දේශපාලන කරුණු සම්බන්ධ පොරොන්දු මාලාවක් සහ සුබසාධනය සම්බන්ධයෙන් වන බඩු මිල ඉන්ධන මිල විශ්‍රාම වැටුප් ආදී කරුණු සම්බන්ධයෙන්ද පොරොන්දු ඉදිරිපත් කර තිබුණු නමුත් බුද්ධිමත් ජනතාවගේ වැඩි සැලකිල්ල යොමු වුයේ රාජපක්ෂ රෙජීමයේ ඒකාධිපති වියරුව පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇතිකර ගැනීම කෙරෙහි බව සදහන් කල යුතුය .

යහපාලන බලාපොරොත්තු ඇතත් වඩාත් ඉහලින් කැපිපෙනෙන කටයුත්ත වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 19 වැනි සංශෝධනයයි . මරණ මංචකය දක්වා විධායක ජනාධිපතිවරයාට බලයේ රැදී සිටිය හැකි පරිදි 1978 ව්‍යවස්ථාවට මහින්ද රාජපක්ෂ සමයේ ගෙනෙන ලද 18 වැනි සංශෝධනය එමගින් අහෝසි වී ගියා පමණක් නොව විධායක ජනාධිපතිවරයාට දැරියහැකි ධුර කාලය යළිත් දෙවතාවකට සිමා කරනු ලැබිණි .  19 වැනි සංශෝධනය හරහා සිදු වූ අතිෂය වැදගත්ම කරණයක වන්නේ ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලය සිමා කිරීමයි .පසුගිය ඔක්තෝම්බර් 26 දායින් ඇරබි ශ්‍රිලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදුන් විනාශකාරී වටපිටාව සන්සිදුනේ විශේෂයෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝදනය හේතුවෙනි .එසේවුව 2015 ජනවාරි 8 ජයග්‍රහණයට උරදුන් ජනතාව බලාපොරොත්තු වූයේ ව්‍යවස්ථාව 19 වැනි වතාවට සංශෝදනය කරගැනීම නොවේ .අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබද ජනතාවගේ බලාපොරොත්තුව වසර 4ක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබේ . ජනවාරි 8 වෙනසින් බලයට පත්වූ ජනාධිපතිවරයාට දැනට ඉතිරිව ඇත්තේ වසරක ධුර කාලයක් වන අතර එකී  වෙනසක් සමග බලයට පත්වූ ආණ්ඩුවට ඇත්තේ ඊට මදක් වැඩි කාලයකි . ඒ ඉතිරි කාලය තුල අලුත් ව්‍යවස්ථාවක් පිළිබද ජනතා සිහිනය සපල වන්නේද යන්න සැකයකි . ජනවාරි 8 වෙනස ඔස්සේ රටට සිදුවූ ප්‍රධානපෙලේ සේවයක් නම් අධිකරණ කොමිසම ,රාජ්‍යසේව කොම්සම , මැතිවරණ කොමිසම ,අල්ලස් හා දුෂණ කොමිසම ,මානව හිමිකම් කොමිසම ආදී කොමිසන් සභා නැවත සක්‍රිය වීමයි . මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉහත කොමිෂන් සභා ස්වභාවික මරණයකට පත්කොට විධායකයේ නැටවෙන රුකඩ බවට ඒවා පත්කොට තිබුණි .

නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව ,පොලිස්පතිවරයා අත්තනෝමතිකව කටයුතු කිරීමට උත්සහ ගත් අවස්ථාවන්හිදී ඊට බාධා කරමින් මැදිහත් වීම ආදී වශයෙන් පොලිස් කොමිසමේ වැදගත්කම විශේෂයෙන්ම පැහැදිලි විය . පොලිස් කොමිසම බලපවත්වන්නට පෙර පොලිසියේ ස්ථානාධිපති පත්වුයේ ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ අවශ්‍යතාව අනුවය . පොලිසියේ උසස්වීම් ස්ථානමාරු ආදියට  බලපෑවේද දේශපාලනයයි . ඒඅනුව ජනතාවට සාධාරණ සේවයක් පොලිසියෙන් ලබාගත හැකි තත්වයක් එවක පැවතියේ නැතිවුව දැන් පොලිසියට නිර්භයව නිතිය ක්‍රියාවේ යෙදවීමට හැකිය . මැතිවරණ කොමිසමෙහි ස්වාධීනතාවයේ වැදගත්කම 2015 මහමැතිවරණයේදී මෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදීද ප්‍රකාශමාන විය .

මානවහිමිකම් කොමිෂන් සභාවද පසුගිය වසර තුනක කාලය තුල අන්තර් ජාතික මට්ටමින් පවා ඇගයීමට ලක්වූ නමුත් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සම්බන්ධව ඒ තරමට  සතුටුවිය නොහැකිය .හේතුව ජනාධිපතිවරයාගේ අභද්‍ර වචනයක් හේතුවෙන් එතෙක් එහි කටයුතු විනිවිද භාවයෙන් කරමින් සිටි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන තැනට කටයුතු සිදුවීමයි .

ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය වීමටද ජනවාරි 8 ජයග්‍රහණය ඔස්සේ ජනතාවට ලැබුණු තවත් ප්‍රතිලාභයකි .  යහපාලනය යටතේ සම්මත කෙරුණු අණපණත් අතුරින් වඩාත්ම වැදගත්ම පණත ලෙස තොරතුරු දැනගැනීමේ පනත වශයෙන් හැදින්වීමේ වරදක නැත . ජනමාධ්‍ය වේදීන්ද වෙනත් තනත්තන්ද තොරතුරු පණත මගින් මහත් සේවාවක් ලබාගනිති . තොරතුරු පනතෙහි වැදගත්කම පෙන්නුම් කෙරෙන ආසන්නතම සාධකය වශයෙන් හැදින්විය හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් පිළිබද තොරතුරු ලබාදෙන ලෙස කෙරුණු නියෝගය වේ . ජාතික විගණන පණත හැදින්විය හැක්කේ පමාවී නමුත් ක්‍රියාවට නැගුණු තවත් එක් වැදගත් කටයුත්තක් වශයෙනි. විගණන කොමිසම ශක්තිමත් කිරීම පිළිබද ගැටළු පවතින් බවද ඒ අතරම සදහන් කලයුතුය . එහි ක්‍රියාකාරිත්වයට බලපාන බාධක ඉවත් කරන්නට සිය නිල කාලය  අවසන් වන්නට පෙර  කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි. මනාප ක්‍රමය පදනම් කරගත් වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යනු දින 100 වැඩසටහන යටතේ සිදුකරන්නට නියමිතව තිබුණු ප්‍රමුඛතම කාර්යයකි . දුෂිතයින් පාර්ලිමේන්තුව, පළාත්සභා ,ප්‍රාදේශීය සභා යන පරිපාලන ඒකක වලට ඇතුළුවීමට හේතුවන ප්‍රධාන සාධකය වශයෙන් මනාප ක්‍රමය පෙන්වාදෙනු ලැබිය . එක් අපේක්ෂකයෙකුට මහමැතිවරණයකදී සහ පළාත්සභා මැතිවරණ වලදී දිස්ත්‍රික්කයක් පුරා තරග කරන්නට සිදුවීම නිසා විශාල වියදමක් ප්‍රචාරක කටයුතු ආදියට වැයකිරීමට සිදුවීම මනාප ක්‍රමයේ දුර්වලතාවයක් වශයෙන් පෙන්වා දෙනු ලැබිණි.ඊලග කරණය වශයෙන් පෙන්වාදෙනු ලැබුවේ දිස්ත්‍රික් නියෝජිකත්වය හේතුවෙන් ආසනයට වගකියන මන්ත්‍රීවරයෙකු නොමැතිවීමයි . කෙසේවුව මනාප ක්‍රමය ඉවත් කිරීමේ මුල් පියවර වශයෙන් අසන මට්ටම සහ මනාප ක්‍රමයේ සංකලනයක් වශයෙන් පැවැත්වූ පසුගිය පළාත්පාලන මැතිවරණයේ මහජන නියෝජිතයන් පත්කරගැනීම කෙලවර වුයේ අවුල් ජාලයකිනි. එතෙක් සිට පළාත්පාලන නියෝජිතයන්ගේ සංඛ්‍යාව එකී මැතිවරණ ක්‍රමය හේතුවෙන් විශාල ලෙස ඉහල නැගුනා පමණක් නොව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හේතුවෙන් ඇතැම් නියෝජිතයින් පත්කර ගැනීමද මේවනතුරු කල නොහැකි තත්වයක් උදාවී තිබේ .

පළාත්සභා රැසක ධුර කාලය අවසන්ව ඇතත් අදාල මැතිවරණ පැවැත්විය නොහැකිව ඇත්තේ මැතිවරණ ක්‍රම සංශෝධනයට අදාල සිමා නිර්ණය ආදී ගැටළු නිසා බව කියති . කෙසේවෙතත් අවසාන වශයෙන් පිළිගත යුතුව ඇත්තේ වසර හතරක් ගෙවීයන මොහොතේත් , පොරොන්දු වූ පරිදි නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරන්නට ජනවාරි 8 ජයග්‍රාහකයාට නොහැකි වී ඇති බවයි . දැන් දැන් කෙරෙන කතාබස් අනුව පැහැදිලි වන්නේ එළබෙන පළාත් සභා මැතිවරණයද පැරණි මනාප ක්‍රමය අනුව පැවැත්වෙන බවයි . පළාත්සභා මැතිවරණය යළිත් මනාප ක්‍රමයට පැවැත්වීම යනු විනිවිද පෙනෙනසුලු මැතිවරණ ක්‍රමයක් පිළිබද ජනවාරි8 ජයග්‍රහණය ඔස්සේ ජනතාව තැබූ බලාපොරොත්තු සුන් වීමකි . ඊලග මහ මැතිවරණයකට පෙර මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුවීම ජනතා අපේක්ෂාවයි . එය ඉටුකිරීමට පවතින පාර්ලිමේන්තුවට ශක්තිය අවශ්‍යතාවය බුද්ධිය සහ කැපවීම තිබේද යනු ගැටලුවකි .

‘’ පසුගිය කාලයේ සිදුවී ඇති මහාපරිමාණ දුෂණ සොයාබැලීම සදහා විශේෂ විනිශ්චය සභා පත්කිරීමයි .’’ යනුවෙන් දින 100 වැඩසටහනේ සදහන්ව තිබුනේ 2015 ජනවාරි 05 බ්‍රහස්පතින්දා දිනයට කිරීමට නියමිත කටයුත්තක් වශයෙනි. එසේවුව යහපාලන ආණ්ඩුව යටතේ ඉටු නොකෙරුණු ප්‍රධාන කටයුත්තක්  වශයෙන් සදහන් කල යුතුව ඇත්තේ පසුගිය ආණ්ඩුව යටතේ වංචා දුෂණයන්හි කියැවුණු තැනැත්තන්ට දඩුවම් පැමිණවීමයි . අපරාද දුෂණ සම්බන්දව නැවු විභාග කිරීම සදහා විශේෂ අධිකරණ පිහිටුවීම කෙරුනේ බොහෝ පමාවිමකින් යුතුවය . අපරාද කාරයන් නිදැල්ලේ පසුවීම ජනතා අපේක්ෂා සහ බලාපොරොත්තු සුන් වීමකි . තජුදින් ඝාතනය, ලසන්ත ඝාතනය ,එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ආදීනඩු විබාග අදටත් තීරණයකින් තොරව ඇදී ඇදී පවතී. බරපතල අපරාද දුෂණ විමර්ශනය සදහා පත්කළ ජනාධිපති කොමිසම විසින් පසුගිය ආණ්ඩුවේ දුෂණ 34 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්කර ජනාධිපතිවරයාට බාරදුන් වාර්තාව හමස් පෙට්ටියට සින්නවී තිබේ . එපමණක් නොව ඔක්තෝම්බර් 26 අර්බුදයෙන් පසු පත්කළ නීතිවිරෝධී ආණ්ඩුවේ අමාත්‍ය ධුර එකී වාර්තාවේ නම් සදහන් කල අයට ලබාදෙන ආකාරය දෙස ජනතාව බලා සිටියේ පිළිකුලෙන් යුතුවය .

2015 ජනවාරි 8 මැතිවරණය පවත්වනු ලැබුවේ ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සහාය එකී මැතිවරණයේ අපේක්ෂා වැඩියෙන් කඩාකප්පල් කල තැනැත්තා වශයෙන් ඉන් වසර හතරකට පසුව නම් කරන්නට සිදුව ඇත්තේ එම මැතිවරණයෙන් බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය .  ඒ සදහා ඇති ආසන්නතම සිද්ධිය ,19 වැනි සංශෝධනය අමු අමුවේ උල්ලංගනය කරමින් ආණ්ඩුව විසුරුවා හරිම සහ නිතිවිරෝධිව සහ ව්‍යවස්ථාවට පටහැනිව වෙනත් ආණ්ඩුවක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමයි .

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමට උපකාර කල තැනැත්තෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ තබා ආරක්ෂා කිරීම ,අහෝසි කරන්නට පොරොන්දු වූ විධායක බලතල ඒවා නීති විරෝධිව අභ්‍යාස කරන්නට උත්සහ කිරීම, අල්ලස් කොමිසම අඩපණ කරන්නට මැදිහත් වීම , ව්‍යවස්ථාවෙන් නියමිත ධුරකාලය දිගු කරගැනීමට අධිකරණයේ අදහස් පැතීම ,රටේ ජනාධිපතිවරයා වශයෙන් විනිවිද පෙනෙන ආකාරයෙන් බලය ක්‍රියාවේ යෙදවීම වෙනුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේත් මේවනවිට පරාජිත රාජපක්ෂ රෙජිමයේත් යහපත වෙනුවෙන් බලය ක්‍රියාවේ යොදවමින් සිටීම අඩිය ජනාධිපතිවරයාට එරෙහි චෝදනා වශයෙන් ඉදිරිපත්වී තිබේ . ඊට අමතරව වත්මන් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ තරමට නොවුවද සහෝදර සංග්‍රහය දුදරුවනට සැලකීම අඩිය හරහාද යහපාලන අපේක්ෂා බිද දමමින් සිටින බව ප්‍රසිද්ද රහසකි .

වත්මන් ජනාධිපතිවරයාගේ බලයට පත්වීමට වසර හතර සපිරෙන දිනට එනම් 2019 ජනවාරි 07 දින අභියාචනාධිකරණය  විසින් පෙත්සමක් නිෂ්ප්‍රභා කරනු ලැබුණි . පෙත්සම් කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුනේ ජනාධිපතිවරයාගේ මානසික තත්වය පිළිබද වෛද්‍ය වාර්තාවක් ලබාදෙන ලෙසය . පෙත්සම රු 100,000 ක නඩු ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභා කරනු ලැබුවද 2015 ජනවාරි 8 මැතිවරණයෙන් ජනතාව පත්කරන්නට යෙදුනු ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින ආකාරය පිළිබදව ජනතාව සිතන්නේ කුමක්ද යන්න ගැන දල අදහසක් එකී පෙත්සම අනුව ලබාගත හැකිය . දැන් ඇත්තවශයෙන්ම රට පසුවන්නේ 2015 ජනවාරි 8 අපේක්ෂා සම්පුර්ණ කරගැනීමට හැකියාව ලැබෙන මැතිවරණයක අපේක්ෂා පෙරදැරිවය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *