|

අධ්‍යාපන කුමන්ත්‍රණය – නිශාන්ත කමලදාස

පෞද්ගලික පාසලක දැරියක් අපොස උසස් පෙළ කලා අංශයෙන් උසස්ම ප්‍රතිඵල හිමි කරගෙන තිබීම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තැති ගැන්මට හේතු වී තිබේ. ඔහු කියන්නේ උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පළමු ස්ථානය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යාවකට ලබාදීම කුමන්ත්‍රණයක් අනුව සිදුව ඇති බව ය. මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමි වී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කර ඇත. පුංචි බොරැල්ල වජිරාරාරමයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,“අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය ඇති වූ දවසේ සිට පසුගිය උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉතාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්‍රණයක කූටප්‍රාප්තිය අපොස උසස්පෙළ ප්‍රතිඵල සමග ලැබී තිබෙනවා. ඒ ප්‍රතිඵලය රජයේ පාසල්වල පරිහානිය පෙන්නුම් කරන බවත් රජයේ පාසල් අභිබවා යන්නට පෞද්ගලික පාසල්වලට ඉඩකඩ සලසමින් රජය හිතාමතාම කුමන්ත්‍රණයක යෙදෙන හැටි ඉන් ප්‍රකටවනවා“ යනුවෙන් කියා ඇතැයි ද වාර්තා විය.

පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාගේ තැති ගැන්ම තනි පුද්ගලයකුගේ මනස් විකාරයක් ලෙස බැහැර කළ නොහැකි ය. එය අප රටේ සෑහෙන පිරිසකට ඇති වී තිබෙන තැති ගැන්මකි. ඡන්ද පදනමක් ඇති දේශපාලනඥයකු ඒ තැතිගැන්මට පියාපත් දුන්නා පමණි. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ විකාරයක් ලෙස සලකා එය ඉවත නොදමා අප එය විමසිය යුත්තේ ඒ නිසා ය.

සහේතුක බිය

රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන් ද මීට සමාන තැති ගැන්මකින් ක්‍රියාකරනු මහපාරේ දෛනික දර්ශනයක් වන තරමට ම අපි පසුගිය සමයේ දුටුවෙමු. ඒ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටව යන තම සගයින් තමන්ට උරුම ස්ථානයන් උදුරා ගනු ඇතැයි යන බිය නිසාය.

ඔවුන් බිය වන්නේ පොදු විභාගයක දී තමන් තරමට දස්කම් දක්වා නැති (මෙය වඩාත් අදාළ විශ්වවිද්‍යාලවලට ය) තම සගයින් ගැන ය. එය එසේ වන්නේ ඇයි? අප සාමාන්‍යයෙන් බිය වන්නේ අපට වඩා දක්ෂ අය ගැන ය. එසේ තිබිය දී මේ බිය අහේතුක නොවන්නේ ද?

නැත. ඒ බිය සහේතුක ය. එකක් එසේ පිටවන අයට ඉංග්‍රීසි බස හසුරුවන්නට පුළුවන. අනිත් අතට ඔවුන් සල්ලි කාරයින්ගේ දරුවන් ය. බලපුළුවන්කාරයින්ගේ දරුවන් ය. ගම්බද පාසලක එහෙමත් නැතිනම් කොළඹ වුව තිබෙන නගරයක පාසලක ඉගෙන ගන්නා දරුවන්ට වඩා රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා බොහෝ ළමයින්ට වඩා ඔවුන් සමාජශීලි ය. අඩු වශයෙන් ඔවුන් ඒ තරමට කුළෑටි නැත. බිය නැත.

ඇත්තටම ඉගැන්වීමට වඩා මේ පාසල් අතර විශාලම වෙනස ඇත්තේ මේ සංස්කෘතියේ ය.

සාමාන්‍ය ජනතාවට ඒ ජනතාවගේ දරුවන්ට මෙය ඔරොත්තු නොදෙන තත්වයක් විය හැකි ය. ඒ නිසා බන්දුල ගුණවර්ධන මහතාගේ කතාව තේරුමක් නැති වුව ද එම ලේබලය අලවා ඉවතට දැමිය නොහැකි ය.

අප තේරුමක් නැති කතාවක් යැයි කියන්නේ මේ දස්කම දක්වා ඇත්තේ එක් අංශයක එක් සිසුවකු බැවින් එයින් මෙවැනි සාමාන්‍යකරණයක් කිරීම බන්දුල ගුණවර්ධන වැනි උගතකුට තරම් නොවන නිසා ය. එසේ තිබිය දී ද අපි ඔහුගේ කතාවට වැදගත්කමක් දෙන්නේ ඔහු එයින් තමන්ගේ ඡන්ද පදනමේ සිතැඟි හා භීතිකා ගැනත් ඔවුන්ගේ සැක සංකා ගැනත් ඒවාගේ පදනම කුමක් වුව ද පෙනී සිටින බව පෙනෙන නිසා ය.

මීට සමාන බියක් රාජ්‍ය බැංකු සේවකයන්ට පෞද්ගලික බැංකු ආගමනයට ඉඩ දුන් වකවානුවේ දැනුණු බව අපට මතක ය. ඔවුන් නිකම් සිටියේ නැත. අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව සටන් කරන ලෙස ම ඔවුහු ඊට එරෙහි ව සටන් වැදුනහ. එහෙත් පෞද්ගලික බැංකුවල ආගමනය සිදු විය. සම්පත් බැංකුව එහි සමාරම්භකයා ය. එය දොරට වැඩියේ රාජ්‍ය බැංකුවලට නොතිබුණු තාක්ෂණය ද දෝතට ගෙන ය. මුදල් ඕනෑම වෙලාවක බැංකුව ඇතුළට නොගොස් ගත හැකි ඩෙබිට් කාඩ් පත හා ඊට පහසුකම සැපයූ ඒ. ටී. ඇම් මැෂින් සමග ය.

එතැන් පටන් සිදු වුණේ බැංකු ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස් වීම් ය. වැඩි දියුණු වීම ය. රාජ්‍ය බැංකු ද තරගයට අවතීරණ වූයේ ය. මෙතෙක් එපා වාහෙට හොදි බෙදූ රාජ්‍ය බැංකු ඒකාධිකාරය ද ජනතාවට වඩා සමීප සේවාවක් සැපයීමට උත්සුක විය.

අදටත් නව්‍යකරණයේ මුල් පියවර තබන්නේ පෞද්ගලික අංශයේ බැංකු ය.

ප්‍රධාන දෙය තරගය ය. තරගයේ ජය ඝෝෂා නිදා සිටින අය ඇහැරවන සුළු ය. තමන්ටත් ජය පතා වෙහෙසෙන්නට තරගයට එතෙක් අවතීර්ණය නොවූ අයට ද ඉන් උත්තේජනයක් සැපයෙන්නේ ය.

අදටත් තරගයේ වඩාත් ඉදිරියෙන් සිටිය හැක්කේ රජයට ය. ඒ කිසිදු පෞද්ගලික ආයෝජකයකුට නැති ආර්ථික ශක්තියක් ඊට තිබෙන නිසා ය. ඒත් දෘඪ බව නිසා රාජ්‍ය ආයතන නව්‍යකරණය වන්නේ නැත. ඒ නිසා ම නව්‍යකරණයේ ධජය ගෙන යනු ඇත්තේ වඩා නම්‍යශීලී පෞද්ගලික අංශය විසින් ය. එහෙත් ඉක්මනින් එම නව්‍යකරණයන් කොපි කිරීමේ හැකියාව රජයට තවමත් තිබේ. ඒ නිසා රාජ්‍ය අංශයේ ආයතන තරගයට බිය විය යුතු නැත. ඇත්තට ම ඔවුන් තරගය සාධනීය සාධකයක් ලෙස බාර ගත යුතු ය.

පෞද්ගලික පාසල්වලට දැරිය නොහැකි ආයෝජනයක් කිරීමට රජයට හැකියාව තිබේ. රටේ බොහෝ දේ නියාමනය කිරීමේ හැකියාව ද ඊට තිබේ. ඒ සියල්ල තිබිය දී පෞද්ගලික පාසල් නම් කුරුමිට්ටාට රජයේ පාසල් නම් යෝධයා බිය වීම ම අරුමයකි.

මුණිදාස කුමාරතුංග ලියූ හීන් සැරය පොත කිය වූ අය කුඩා දෙයක ශක්තිය ගැන දනිති. අලියා මෙල්ල වූයේ කටුස්සා ඉදිරියේ ය. ඇතැම් විට රජයේ පාසල් නෙමැති අලියා පෞද්ගලික පාසල් නමැති කටුස්සාට බිය වුණා විය හැකි ය. එහෙත් ඒ කතාන්දරය ඉක්මවන ප්‍රායෝගික යථාර්ථයක් අප හමුවේ ඇත. එය නම් අලියාට රිංගිය නොහැකි කුඩා ගුල්වලින් රිංගා කටුස්සකු සොයා ගන්නා පාර ඔස්සේ එය වඩාත් එලිපෙහෙලි කර ගනිමින් දිනක අලියාට ද ගමන් කළ හැකි වීම ය.

රජයේ පාසලකට කළ නොහැකි අත්හදා බැලීමක් පෞද්ගලික පාසලකට කළ හැකි ය. එය සාර්ථක වන්නේ නම් රජයේ පාසල්වලට ද එය යොදා ගත හැකි ය. ඒ අර්ථයෙන් ද මේ තරගයට අමතර වටිනාකමක් තිබේ.

පුරුදු පාර හා අලුත් පාර

එහෙත් රටේ කරුමයට බොහෝ දෙනා කැමති පුරුදු පාරේ යන්නට ය. වෙන පාරවල් විවෘත වීම ම ඔවුනට අභියෝගයක් වන්නේ ය. තමන් දන්නා ශිල්පයෙන් පමණක් මේ අලුත් පාර ජය ගත හැකි ද යන්න ගැන ඔවුන්ට ඇත්තේ ප්‍රශ්නයකි. අමතර වෙහෙසක් දැරීමට කොහොමත් බර සාර අයට අමාරු ය. ඔවුන්ට හෙළවෙන්නට අමාරු නිසා ය. කටුස්සා පෙන්නූ අලුත් පාරේ ඒ විදිහට යන්නට අලියාට අමාරු ය. ඌට සිදුවන්නේ පාර තමන්ට යා හැකි මට්ටමට එළිපෙහෙලි කර ගැනීමට ය. දැනටමත් එළිපෙහෙලි කර ඇති පාරක් තිබිය දී නව පාරවල් එළිපෙහෙලි කර ගැනීමට වෙහෙසිය යුත්තේ ඇයි? යන ප්‍රශ්න පැන නගින්නේ ඒ නිසා ය.

පෞද්ගලික පාසල් සමඟ තරග කිරීමට ඉංග්‍රීසියට හුරු විය යුතු ය. නව තාක්ෂණයට හුරු විය යුතු ය. සිසු දරුවන්ට දැනුම පොවනු වෙනුවට ඔවුන් තුළ දැනුම සොයා යන කුතුහලයක් ඇති කළ යුතු ය. කීකරුව හීලෑ කරගෙන ගාල් කරගෙන සිටිනු වෙනුවට ඔවුන්ට නිදහස දීමට හිත හදා ගත යුතු ය. ප්‍රශ්න කිරීමට අවසර දිය යුතු ය. ක්‍රියාකාරිත්වයට රුකුල් දිය යුතු ය. බලය පැවරිය යුතු ය. නිදහස හා ඉඩ හසර දිය යුතු ය. ඒ සියල්ල අලුත් වැඩ ය.

පන්තියකට ගොස් දන්නා හැටියට පාඩමක් කියා දී අහගන ඉන්නා අයට අහගන්නටත් අනිත් අයට රහසින් රිසි දේ කරන්නටත් ඉඩ සැලසූ රජයේ ගුරුවරයකුට මේ වෙනස දරා ගැනීම අමාරු ය.

ඒ නිසා සිදු විය හැක්කේ සිසුන් හා මාපියන් ද ඉස්සර කරගෙන පෞද්ගලික පාසල්වලට එරෙහි විප්ලවය ගුරුවරන් විසින් ආරම්භ කිරීමට ය. බන්දුල ගුණවර්ධන යනු ළඟ එන ඒ පෙරහැරේ කස කාරයකු විතර ය.

අප කොහොමටත් තරගයට කැමති නැත. එය අපේ ලේවලම ලියැවී ඇති දෙයක් වන්නට ද පුළුවන. ගුණදාස කපුගේ සිය අපූරු හඬින් ගයන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන ගීය තුළ තියෙන්නේ තරගයට ඇති අපේ අකමැත්ත ය.

අප රජයෙන් අපේක්ෂා කරන්නේ මේ “අනවශ්‍ය“ තරගයෙන් අපව ගලවා ගැනීමය. අපට නිදහස දීමය. ඒ සඳහා මැදිහත් වීම ය. ඒ වෙනුවට රජය කරන්නේ නෑසු කන් ඇතිව නොපෙනෙන ඇස් ඇතිව ඉඳීම ය. ඔන්න අවසාන ප්‍රතිඵලය! කලාවේ දක්ෂම ශිෂ්‍යයා බිහිව ඇත්තේ පෞද්ගලික පාසලකිනි. දැන් තරගය තමන්ට දැනෙන එකක් නැතැයි සිතා නිදා සිටි අය ඇස් ඇර බලන වෙලාව ය. බන්දුල ගුණවර්ධන නම් දේශපාලනඥයා මෙසේ ජනතාවගේ හද ගැහෙන රාවය අඳුනාගෙන කරන මේ මැදිහත් වීම දෙස අප බැලිය යුත්තේ ඉහත කරුණු සිත් හි දරාගෙන ය.

තහංචි

මේ අනියමින් කියන්නේ තරගයෙන් දිනාගෙන එන අයගේ තටු දැම්මම කපා දමන ලෙස ය. ඉතිරි පදක්කම් ටිකත් උන් විසින් උදුරා ගැනීමට පෙර ක්‍රියාත්මක වන ලෙස ය. එසේ කිරීමට උනන්දුවක් ආණ්ඩුව තුළ නොතිබීම පිටුපස‍ නිදහස් අධ්‍යාපනය ඝාතන කිරීමේ කුමන්ත්‍රණයක, හෝඩුවාවක් ඇතැයි නොකියා කීම ය. ඒ තුළින් දේශපාලන වාසියක් ගැනීම ය. විපතට පත් අය වෙනුවෙන් පීඩාවට පත් වූ අය වෙනුවෙන් පෙනී සිටීම තුළ වාසියක් ගැනීම ය. උන්ගේ ඡන්දයට ඉව ඇල්ලීම ය.

රජයේ පාසල්වලට තම දරුවන් යැවීමට සිදු ව ඇති මාපියන් පෞද්ගලික පාසල්වල සිසුන් සමග තරගයේ දී තම දරුවන්ට විය හැකි අසාධාරණය ගැන සංවේදී වීම වැරදි නැත. එහෙත් කළ යුත්තේ පෞද්ගලික පාසල් රජයේ පාසල් තත්වයට පිරිහෙළීමට උද්ඝෝෂණය කිරිම නොවේ. ඒවා වසා දමන ලෙස උද්ඝෝෂණය කිරීම හෝ ඒවායේ පැවැත්මට ඉඩ දීම ගැන රජයට ඇගිල්ල දිගු කිරීම හෝ නොවේ. පුද්ගලික පාසල්වල සාධනීය ගුණ රජයේ පාසල් තුළ ද ඇති කිරීම ය.

ජපානය කළේ අමෙරිකාවට බැණ වදිමින් වෛරයෙන් පසු වීම නොව. ඔවුන්ගෙන් උගෙන ඔවුන්ට ද වඩා ඉහළින් අමෙරිකාව කළ කටයුතු කිරීමට කැප වීම ය. අමෙරිකාවට බැණ වදිමින් කාලය කා දමමින් සිටි චීනය ද අවසානයේ තෝරා ගත්තේ ඒ මග ය.

පෞද්ගලික මාධ්‍ය ආගමනය මාධ්‍ය ලෝකයේ පෙරළියක් ඇති කළේ ය. නව හඳුන්වාදීම් රැසක් ඒ අතර තිබුණේ ය. රාජ්‍ය මාධ්‍යවලට ද සිදු වුණේ ඒ එළිපෙහෙළි කර මග යන්නට ය. එහෙත් කොපි කිරීමේ දී අප පරිස්සම් විය යුතු බව මාධ්‍ය සම්බන්ධයෙන් සිදු වූ දේ දෙස නැවත හැරී බලන විට පෙනෙන්නේ ය. රාජ්‍ය මාධ්‍යයකට සමාජ වගකීමක් තිබේ. කොපි කරනවා යැයි කියා ඒ වගකීමෙන් නිදහස් වීමට ඊට නොහැකි ය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඔය එසේ ම වනවා ඇත. පෞද්ගලික පාසල්වල කටයුතු එකට එකක් කොපිකර ලෝකය ජය ගන්නට අපට නොහැකිය. ඒ පාසල් පද්ධතිය තුළ ඇති සාධනීය දේ මෙන්ම එම පද්ධතිය බිහිකිරිමේ දී සිදුව ඇති අඩුපාඩු ද විමසිය යුතු ය. ඒවා මග හැර මේ කොපි කිරීම කළ හැක්කේ කෙසේ දැයි නිර්මාණාත්මක ව සිතිය යුතු ය. දුප්පත් දරුවන් ද ඇතුළු සැමට අධ්‍යාපනය සැලසීමේ සමාජ වගකීම රජයේ පාසල්වලට අමතරව දැරීමට සිදු ඇති බව දැන ඒ වෙනස්කම් කළ යුතු ය.

කළ යුත්තේ කුමක් ද?

පුරෝගාමියකු මග හෙළි කළ විට ඒ මග යෑම සෙසු අයට පහසු ය. තමන්ට කලින් ගමනාන්තය කරා යෑමට කටයුතු කළේ යැයි දොස් පවරනු වෙනුවට අප කළ යුත්තේ මග පාදා දීම ගැන කෘතඥ වෙමින් ඒ මග යෑම ය. අප කලින් සඳහන් කළ පරිදි නිසි පරිස්සම ඇති ව නව මග ගමන් කිරීම ය. ;එහෙත් ලංකාවේ ඇතැම් කුහක මිනිසුන් කරන්නේ කලින් ගිය අය දෙස ඉරිසියාවෙන් බැලීම ය. වෛර කිරීම ය.

එළි පෙහෙලි කළ මගක යන කෙනකුට මග එළි කළ පුරෝගාමියාට මෙන් අතරමං වීම් සිදුවන්නේ නැත. එහෙත් මට කලින් එයා ගියා කියමින් දෙස් දෙවොල් තියන්නට ඉතිරි කාලය වැය කරන කෙනකුට ඒ මාර්ගයෙන් වැඩක් නැත. ඔහු කරනු ඇත්තේ පුළුවන් නම් තවත් කෙනකුට යන්න බැරි වන සේ අලුත් මග වසා දැමීම ය.

රජයේ පාසල් කියා තිබුණ ද ඒ පාසල් සියල්ල එක වගේ නැත. සමහරක් රාජකීය ය. ඇතැම් ඒවා ජනාධිපති පාසල් ය. තවත් ඒවා ජාතික ය. එහෙම වෙනසක් සහ ඒවාට ඇතුළත් වීමට අයුක්ති සහගත තරගයක් පවත්වා ගෙන යන ගමන් ඒ තරගය තුළ බලපුළුවන්කාරයන්ට ජය ගන්නට ක්‍රම සහ විධි සකස් කර තිබෙන ගමන් පෞද්ගලික පාසල් වහන්නට කියන්නට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අයුක්ති සහගත රාජ්‍ය පාසල් පද්ධතිය වෙනස් කිරීමට ආණ්ඩුවට බලපෑම් නොකරන කෙනකුට ද ඒ අයිතිය නැත.

ඒ නිසා ම පෞද්ගලික පාසල්වලට ඇඟිල්ල දිගු කරන කවරකුට වුව ද ඒ පාසල් ඇති කිරීමට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් නොකර ඒවාට විරුද්ධ විය නොහැකි ය.

තාක්ෂණය දියුණුවන වේගය අනුව තවදුරටත් අධ්‍යාපන ඒකාධිකාරයක් පවත්වාගෙන යෑමට ආණ්ඩුවට නොව පෞද්ගලික පාසල් පද්ධතියට ද නොහැකි වනු ඇත. ඩේටාවලට වියදම් කළ හැකි නම්, ඉංග්‍රීසි දැනුම තිබේ නම්, වෙනත් වියදමකින් තොරව ඉගෙන ගැනීමේ ඉඩ, අන්තර්ජාලය විසින් සපුරා ඇති පරිසරයක අද අප ජීවත් වන නිසා ම මේ සියල්ල දෙස වෙනත් ආකාරයකින් බලන්නට අපට නුදුරේ හැකි වනු ඇත. එතෙක් අධ්‍යාපනය, මේ තියෙන අවුල් ජාලයෙන්, බේරා ගැනීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතු ය. දැලි පිහිය අසුවුණු වඳුරා මෙන් අනුන් කප්පාදු කිරීමට දස අතේ වනමින් තිබෙන පිහිය වෙනුවට තමන්ගේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට වෙනත් නිර්මාණාත්මක උපකරණ කට්ටලයක පිහිට පැතිය යුතු ය.

පෞද්ගලික පාසල, නිදහස් අධ්‍යාපනය වළලන්නට ආ භූතයකු නොව, අප වැටී සිටින නින්දෙන් නැගිටුවන්නට පැමිණි තරගකරුවකු ලෙස සැලකිය යුතු ය. ඒ පද්ධතිය සමග හැගීම් වලින් ප්‍රලය නොවූ බුද්ධිමය ගනුදෙනුවකට යෑමට අප හිත හදා ගත යුතු ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *