අධිකරණයට බුදුසරණ යි – මහින්ද රත්නායක

අමාත්‍යා මණ්ඩලය විශාලවීම පිළිබඳව, ආණ්ඩුවට විපක්ෂ පමණක් නොව පක්ෂ අයගෙන් ද විචේචන එල්ල වී ඇත. මෙයට අමතරව විද්‍යාත්මක පදනමකින් විෂයන් බෙදා නැති බවට ද චෝදනාවක්  තිබේ. අමාත්‍යාංශවලට අයත් විෂයන් මෙන්ම එකිනෙකට සම්බන්ධයක් නැති අමාත්‍යාංශ එක් ඇමතිවරයෙකු පැවරීම ගත හැක. අධිකරණ අමාත්‍යාංශය හා බුද්ධ සාසන අමාත්‍යාංශය එක් අමාත්‍යාවරයෙකුට පැවරෙන්නේ කුමන තර්කයකට ද යන්න පැහැදිළි නොවීම උදාහරණයකි. සාමාන්‍ය දැනීම අනුව  නම් මේ අමාත්‍යාංශ දෙක අතර ඇති සම්බන්ධය නොපැහැදිළි බව සත්‍යකි. එහෙත්  මහින්ද රාජපක්ෂ තියරියට අනුව  මේ අමාත්‍යාංශ දෙක අතර ඇති සම්බන්ධය මෙසේ පැහැදිළි කළ හැක.

අධිකරණ අමාත්‍යාංශය යටතේ තිබුණු නීතිපති දෙපාර්තමේන්තුව රාජපක්ෂ ජනාධිපතිවරයා තමා  යටතට පවරා ගත්තේ ය. එහි අරමුණ වූයේ පරීක්ෂණ අනුව තම හිතවතුනට පැවරීමට ඉඩ ඇති නඩු නොපවරා සිටීම ය. නීතිපති දෙපාර්තමේන්තුව නව ආණ්ඩුව යටතේ නැවතත් අධිකරණ අමාත්‍යාංශයට පවරා ඇත. ආන්දෝලනයට ලක්ව ඇති පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණ වලට අයහපත් ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නම ද සම්බන්ධ වී තිබේ. පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ වලට අදාළව නඩු පැවරීමට තරම් දෙයක් නොවන බව නීතිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය.

අද නිතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ නැතත්, විජේදාසත් රාජපක්ෂ කෙනෙකු වන හෙයින් නීතිපති  වැඩ කරන්නේ රාජපක්ෂ තියරියට ද යන සැකය දැන් මතුවී තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වන තිලක් මාරපන පාවෙන අවිගබඩාව අයත් ඇවන්ට් ගාඞ් මෙරි ටයිම් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීති උපදේශකවීම තුළ මේ සැකයට සාධාරණ පදනමක් ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මාරපන රනිල්ගේ ගජ මිතුරෙකු බව ද ප‍්‍රකට ය. ඒ අනුව යහපාලනය යටතේ අධිකරණයට බුදු සරණයි කියනවා හැරෙන්නට මහජනතාවට කිවහැකි වෙන යමක් නැත.

අධිකරණ අමාත්‍යාංශය හා බුද්ධ සාසන අමාත්‍යාංශය අපේ කාලයේ ප‍්‍රාඥයා හෙවත් විජේදාස රාජපක්ෂට භාරදීම ඒ අනුව  තර්කානුකූල ය. යුධ අපරාධ  විමසා බැලීමට දේශීය යාන්ත‍්‍රණයකට  යහපත් ප‍්‍රතිචාර ලැබෙන්නේ නව ආණුඩුව යටතේ සාධාරණ පරික්ෂණයක් සිදුවේ ය යන විශ්වාසය ඇතිව ය. දෙමළ ඩයස් පෝරාව මෙන්ම උතුරේ අන්තවාදි හූ ද යුධ අපරාධ  විභාග කිරීමට ජාත්‍යාන්තර පරික්ෂණයක් ඉල්ලා සිටිති. ශ‍්‍රි ලංකාවේ අධිකරණය තවදුරටත් ක‍්‍රියාත්මක වෙන්නේ රාජපක්ෂ ගේ තියරියට අනුව නම් මේ අන්තවාදීන්ගේ  ඉල්ලිමට සාධාරණ පදනමක් සැපයේ.

අධිකරණයෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බව දකුණේ සිංහළ ජනතාව ද පවසන තත්ත්වයක් තුළ යුධ අපරාධ විමසීමට පත්කරන දේශිය යාන්ත‍්‍රණයෙන් තමන්ට සාධාරණයක් ඉටුවන්නේ කෙසේ ද යන්න ඔවුන් විමසනවා නොඅනුමාන ය.  එම නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සකර දාම් කෙලිය පිළිබඳව ජනාධිපති සහ අගමැති නොඇසූ කන්වලා සිටීම කිසිසේම යහපත් වන්නේ නැත.

මොහොතකට එම කාරණය අමතක කළත්, ප‍්‍රමුඛ සටන් පාඨය යහපාලනය කරගෙන බලයට පැමිණි නායකයින් හැටියට මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම  ඉතා නරක ය නායකයින් කෙරෙහි විශ්වාසය කඩවීම යනු මහින්ද රාජපක්ෂට අත්වූ ඉරණමට අත වැනීමක් වේ. එවැනි දෙයක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ක්ෂණිකව සිදුවීමට ඉඩක් නැත. එහෙත් කරුණු කාරණා සිදුවෙමින් පවතින්නේ මේ ආකාරයට නම්   එය ඉක්මන් වීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.  නීතිපති දෙපාර්තමේන්තුවේ මේ සිරවීම පිළිබඳව ජනතාව නිහඬව සිටිනු ඇතැයි කිසිසේම බලාපොරොත්තු නොවිය යුතු ය. පුරවැසි බලය අදාල පුද්ගලයින් ගේ නම් ගම් ඇතුළුව දැන් රට දැනුවත් කර ඇත. 22දා ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට ද නියමිත ය. එයින් පසුව මේ සිද්ධිය කුමන දිසාවකට යොමුවන්නේ දැයි කිව නොහැක. එහෙත් ගෝඨාභය වැනි  බලවේගයන්ගේ නායකයින් මේ සිදුවීම සමග සම්බන්ධ හෙයින් ජාතිවාදින්ට මේ සිද්ධිය දඩමීමා කරගැනීමට නොහැකි වන බව පමණක් පැවසිය හැක. මේ අතර සම්මුතිවාදි ආණ්ඩුව අද වන විට ආර්ථික අමාරුකම් වලට ද මුහුණ දී සිටින බව පෙනේ. රාජපක්ෂගේ පාලන කාලයේ සිට කෘතීමව පවත්වාගෙන ගිය විනිමය අනුපාතිකය පසුගිය සතියේ පාවෙන්නට ඉඩහැරිමෙන් ඒ බව පැහැදිළි ය. මේ අනුව රුපියල අව ප‍්‍රමාණය වී ඇති අතර ආනයන භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යමින් ඇත. මෙය සමාජයේ පහළ ජන කොටස්වලට ඉදිරි කාලයේ දි තදින් ම බලපෑමට නියමිත ය. මෙය කිනම් ආකාරයකට ආණ්ඩුව විසින් කළමණාකරණය කෙරේ ද යන්න පැවසීමට තවමත් කල් වැඩි ය.

අඩුම තරමේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජයේ පහළ කොටස් පරිභෝජනය කරණ අත්‍යවශ්‍යම භාණ්ඩ කිහිපයේ මිල හෝ සාධාරණ මට්ටමක තබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වූවහොත් සම්මුතිවාදී ආණ්ඩුවේ ශරීර සෞඛයට එතරම් යහපත් නොවනු ඇත. සීනි මිලෙ හි ආනයනික බද්ද මේ සතියේ ඉහළ දැමූ නමුත්, සීනි පාලන මිලක් යටතේ පවත්වාගෙන යන බව ඒ සමග ම ප‍්‍රකාශ කළේ ය. මෙයින් පෙනී යන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පාලන මිලක් යටතේ බෙදා හැරීමට ආණ්ඩුව පියවර ගන්නට සූදානම් බව ද? කෙසේ නමුත් ඉදිරියේ දි පැමිණිමට නියමිත ආර්ථික අමාරුකම් වලට මේ ආණ්ඩුවට දොස් නැගීම වැරදි ය.  ණයට මුදල් ගෙන ජොලි කිරීමේ මහින්ද රාජපක්ෂ ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය ඒ අමාරුකම් වලට හේතු වී තිබේ.

කෙසේ නමුත් අපගේ ජාතික ආදායම, ණය වාරික හා පොළි ගෙවා ඉතුරුවක් නොවන තැනටම දැන් අප පැමිණ ඇත. අවශ්‍ය නම් බෙල්ලටම හිරවෙනතුරු එය තව ටිකක් ඉදිරියට ගෙන යන්නට පුළුවන. ඒ මාර්ගයෙන් රට ගලවා ගැණිම අවශ්‍ය ය. එය එසේ වුවත් බරපතල කප්පාදු හරහා ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීමට කටයුතු කිරීම යහපත් යැයි කිව නොහැක.  ජනතා නැගිටීම් ඇතිවීමට එය හේතුවක් වන අතර පරාජය වූ  ජාතිවාදි  බලවේගයන්ට හිස එසවීමට එය මහත් රුකුලක් වනු ඇත. සන්ධාන රජයේ ආර්ථික උපදේශකයින් මේ පිළිබඳව කොතෙක් දුරට සංවේ දී ද යන්න අපිට පැවසිය නොහැක. කෙසේ නමුත් මේ වන විට ජනාධිපති සහ අගමැති එක්ව මේ දෙපැත්ත හිරවෙන හබයෙන් ගැලවීමට උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ.

ඒ අනුව සම්මුතිවාදී ආණඩුව ඒකමිතියක සිට ඉදිරියට යන්නට උත්සාහ දරණ බව මතුපිටට පෙනුනත් නායකයින් දෙදෙනා අතර නොපෑහෙන වෙනස්කම් ද පෙනෙන්නට ඇත. අගමැතිවරයා රට මුහුණ දෙන ප‍්‍රශ්න වලට අළුත් ආකාරයට  මුහුණ දීමට උත්සාහ දරණ අතර ජනාධිපතිවරයාට ඇත්තේ පැරණි පරිකල්පනයක් බව පෙනේ. ජනාධිපතිවරයා සම්ප‍්‍රදායික ලෙෂ පන්සල් ගානේ ආගමික වැඩ සහ හමුදා සැමරුම් වෙනුවෙන් කාලය ගතකරන අතර අගමැතිවරයා ඒවා ගැන වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනේ. නවක මංත‍්‍රින් සඳහා පැවති වැඩ මුළුවේ දී ඔවුන් ඇමතූ අගමැතිවරයා, මගුල් සහ මළ ගෙවල් වලට යන්නට ඇත්නම් පාර්ලිමේන්තුව නොව ඒ මංත‍්‍රීවරුන්ට සුදුසු තැන පලාත් සභාව බව ප‍්‍රකාශ කළේ ය. මෙයින් පෙනී යන්නේ දේශපාලනය  සම්බන්ධයෙන් සිරිසේන ජනාධිපතිවරයාට වඩා අගමැතිවරයාගේ ආකල්පය නවීන බව ය. සියල්ල මෙයින් මැනිය නොහැකි නමුත් එය සුළු උදාහරණයක් ලෙෂ ගතහැක. රටේ තීරණාත්මක ප‍්‍රශ්න වල දී මේ දෙදෙනාගේ තීරණ වල බරපතල වෙනස් කම් මතුවිය හැකි අතර රටේ ජනතාව එයට කුමණ ප‍්‍රතිචාරයක් දක්වයි ද යන්න පැවසීමට තවමත් කල් වැඩි ය.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *