|

ශ්‍රීලනිප බලයගන්න චන්ද්‍රිකා ගේමක ! ලේක් හවුස් සභාපති ඩබල් ගෙමක !!

බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් අරලිය ගහ මැදුරට පැමිණියේ මද අසනීප තත්වයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව සහ මද උණ ගතිය ඊට හේතු විය. සෙසු සියලු  හමුවීම් අවලංගු කළ ඔහු සමීප මාධ්‍යෙව්දීන් දෙදෙනෙකු පමණක් මුණ ගැසිණ.එහෙත් සුපුරුදු ලෙස අගමැතිවරයා හමු වීමට එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කළේ  නැත.

“ මගේ ඇමතිකමට තිබුණු ආයතන ඔක්කොම අයින් කරල බංකොලොත් හතරක් තමයි දාලා තියෙන්නේ මම මේ ගැන ඔබතුමා ඉදිරියේදීම ජනාධිපතිතුමාට කිව්වේ ඒ නිසයි . ඒක නිවැරදි කරන්න එතුමාත් , ඔබතුමාත් ඉදිරිපත් වීම හැමදාම එජාපය දිනන මහනුවර ඇතුළු කන්ද උඩරට ජනතාවට කරන ගෞරවයක්. ඔබතුමාගෙන් පලිගන්න ගැසට් එක එහෙම සකස් කළේ  නෑ කියල ජනාධිපතිතුමා කියපු එකත් අපේ හිත් වල තිබුණු කහට ඉවත් කළා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.

“කැබිනට් ඇමතිවරු පත් කළාට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිකමුත් පත් කරලයි ගැසට් එකට අදාළ  ආයතන ලැයිස්තු ගත කරන්න අපි හිටියේ. ඒත් ජනාධිපතිතුමා රට ගිය නිසා තමයි පොඩි අවුලක් වූණේ. ඒත් ඒවා නිවැරදි කරගන්න පුළුවන්. ” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“ කිරිඇල්ල ඇමතිතුමාට තිබුණු බැංකු හා වැවිලි සමාගම් මංගල හා නවීන් ඇමත්තුමාලටයි මෙවර දාල තියෙන්නේ.  මංගල ඇමතිතුමාට හුගක් වැඩ වැඩියි. අයවැය හදන්නම අවුරුද්දෙන් දින හැත්තෑවක්ම යන නිසා මෙපමණ ආයතන රැසක් බලන්න අමාරුයි කියල ඒ අමාත්‍යංශයේ ඉහලම නිලධාරීයෙක් අගමැතිතුමාට කිව්වා. අනිත් නිලධාරීන්ගේ ස්ථාවරයත් ඒකමලු. අනික ජනමාධ්‍ය අමාත්‍යංශයේ වගකීමුත් මංගල ඇමතිතුමාටයි. මේවා වෙනත් අමාත්‍යංශ වලට බෙදිය යුතුයි කියන එකයි කාගේත් අදහස වෙන්නේ. ”අගමැතිවරයාගේ ඉහල නිලධාරියෙක් ප්‍රකාශ කළේ  එවැන්නකි.

“ රටේ ඉහලම තනතුරු වලට පත් කිරීමේදී ජනාධිපතිතුමා කමිටුවක් දාලා කරන්න හදන්නේ මොකක්ද එතුමාට ඕන අයට විතරක් අනුමැතිය දෙන්නද හදන්නේ. ” මන්ත්‍රී චමින්ද විජේසිරි ඇසුවේද අගමැතිගෙනි.

“ නෑ. ඒ කමිටුව හොදයි. ජනාධිපතිතුමායි මගේයි දෙන්නා බැගිනුයි මුදල් අමාත්‍යංශයෙන් එක්කෙනෙකුයි ඒ කමිටුවේ ඉන්නවා. ඒ අය හරියට තීන්දු ගනීවි” අගමැතිවරයා කීවේ සුබවාදීවය.

“ ඇලෝසියස්ලට ඇප දෙන්න අධිකරණය තීන්දු කිරීම සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා.පොහොට්ටු නඩයේ සීයයට අනූවක් අද එලියේ ඉන්නෙත් ඔය විදියටම ඇප ලබාගෙනයි. කෝටි හැටක සිල් රෙදි වංචාවට වැරදිකරුවන් වූ දෙන්නටත් අධිකරණය දින 03 කදී ඇප ලබා දීල තියෙනවා. ” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“ දැන් මාස 03 ක විතර ඉදල නීතිය හා සාමය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේයි. බැදුම්කරයට අදාලව නඩු දැමීමක් හෝ අර්ජුන් මහේන්ද්‍රන් කොටු කර ගැනීමක් තාම සිදු වෙලා නෑ. අගමැතිතුමා මේවා බ්ලොක් කරගෙන හිටියනම් දැන් ජනාධිපතිතුමාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ. ”රංජිත් අළුවිහාරේ කළ විග්‍රහය සියලු  දෙනා අනුමත කළා .

“ මහේන්ද්‍රන්ගේ සම්බන්ධයක් නැති ඒත් ඇලෝසියස්ට විරුද්ධ කරුණු රැසක් තිබිල තියෙනවා කියල ආරංචියි. මහේන්ද්‍රන්ගේ සාක්ෂි වලිනුත් අවශ්‍යනම් කොනක් අල්ලන්න තිබුණාලු. අනික සියලු  ගණුදෙනු කළේ  ඇලෝසියස්ල මිසක් මහේන්ද්‍රන් නෙවෙයි කියලත් පේනවා. මහේන්ද්‍රන් කරල තියෙන්නෙත් “ ෂැඩෝ රෝල්” එකක්  වගෙයි පේන්නේ. ” එජාප නීති නිලධාරියෙකු කීවේ එවැන්නකි.

“ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරුවෙක් ලංකාවෙම පළවෙනියා වීම හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට විතරක් ප්‍රශ්නයක් වෙලා.ග්‍රේරු හා බන්දුලලා එකට ටියුෂන් හා ජාත්‍යන්තර පාසැල් පටන් අරන් බන්දුල බංකොලොත් වුණාම දැන් ඉරිසියාවෙන් එයා පහර දෙන්න පටන් අරන්. ඒක කුහක වැඩක්. හරිනම් බන්දුල ඒ දරුවගෙන් සමාව ගන්න ඕන.ආණ්ඩුවෙන් හදපු ප්‍රශ්න පත්‍ර වලටයි ඒ දරුවා ඇතුළු සියලු  ලමයි මුහුණ දුන්නේ. ” අධ්‍යාපන ඇමති අකිල කීවේය.

“ මේ බැරෑරුම් ප්‍රශ්නෙට ග්‍රේරුයි හරිනම් මුලින්ම උත්තර දෙන්න ඕන. අකිල ඊට පස්සේ කතා කළා නම් තමයි වඩා හොද. ” අගමැතිවරයාගේ මතය එය විය.

“ ලේක් හවුස් සභාපති ඩබල් ගේම් කියල කතාවක් පැතිරෙනවා.  මේ පාර ආපු ගමන්ම අගමැති හෝ ජනමාධ්‍ය ඇමතිත් නොදැන ප්‍රධානම සිංහල පත්තරේ කර්තෘ ඉවත් කිරීම හා සභාපතිගේ තවත් ක්‍රියාකාරකම් ගැන ගැටළු තියෙනවා. අගමැතිතුමා මේවට මැදිහත් වෙන්න ඕනෑ කියල චම්පික හා රාජිත ඇමතිවරු ඔබතුමාට කිව්වා කියන්නේ ඇත්තද ” චමින්ද විජේසිරි හා හේෂාන් විතානගේ ඇසුවේ එකම කතාවකි. එය අනුමත කළ  අගමැතිවරයා නළල රැලි ගැන්වූයේ “ බලමු….බලමු ” කියාය.

“ ශ්‍රීලනිප ඇතුලේ මාර ආරවුල්ලු. චන්ද්‍රිකා පක්ෂයේ බලය අල්ලල මූලස්ථානෙටත් ඇතුළු වේවි කියල බය වෙලා ජනාධිපතිතුමා මූලස්ථානෙටත් සීල් තියලලු රට ගියේ. අම්මා හදපු මූලස්ථානෙට චන්ද්‍රිකාට එන්න එපා කියල ජනාධිපතිතුමා කියලලු. එතුමා බලයට ගේන්නත් මුල් වුණේ ඇයයි. අනික විපක්ෂ නායක කම නිමල් සිරිපාලට දෙන්නයි ශ්‍රීලනිපය තීන්දු කරල තිබුනේ. ඊලග දවසේ උදේ ඒක වෙනස් කරල මහින්ද පත් කරන්න කියල තියෙන්නේත් ජනාධිපතිතුමා කියල ආරංචියි. ” එජාප නීති උපදේශකයෙක් කී විට එය එහි සිටි සියලු  දෙනාම මවිතය පල කළා .

“ පෙබරවාරි මුල නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේනවා කියල ඒකෙන්  රට කෑලි නමයකට කැඩෙනවා කියල පොහොට්ටු කල්ලියයි කඩේ යන ජනමාධ්‍යයි රට නොමග යවන මේ මහා බොරුවට ආණ්ඩුවව උත්තර දෙන්නේ නැද්ද ” නවීන් දිසානායක විමසුවේ අගමැතිගෙනි.

“ ව්‍යාජ ආණ්ඩුවයි ව්‍යාජ අගමැතියි බිමටම වැටුණු නිසා දැන් බොරු කියලා බුදු පිළිමත් කඩලා රට ගිනිතියන්න හදනවා. අපි නව ව්‍යස්ථාවකට අදාලව විශේෂඥයන්ගේ වාර්තාවක් කැදවල තියෙනවා ඒ වාර්තාවයි  මගේ ප්‍රධානත්වයෙන් සියලු  පක්ෂ වල අය ඉන්න කමිටු වාර්තාවයි දෙකම අපි ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරල දැන් කළ  යුත්තේ මොකක්දැයි ව්‍යවස්ථා සභාවෙන් අහනවා.බිල්ලො මවල රට නොමග යවන්න බෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද  කියලත් අපි අහනවා. රටේ ඒකීය බවට හා බුදු දහමට තියෙන තැන  ඒ විදියටම රැකිය යුතුයි කියල අපි ව්‍යවස්ථා සභාවට කරුණු කියනවා.ඒ නිසා පටු දේශපාලන වාසි ලබා ගන්න යමෙක් උත්සාහ කළොත් ඒ ඔවුන්ගේ බංකොලොත් කමයි. ” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකගත්වය පල වුණා .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *