අද දේශපාලනය හොඳටම ජරාජීර්ණයි – මහාචාර්ය රෝලන්ඩ් අබේපාල

පසුගිය දිනවල කවුරුත් දේශපාලනය ගැන ලොකු උනන්දුවක් දැක්වුව. කාගෙ කාගේත් මුව’ග තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව අධිකරණය ව්‍යවස්ථාදායකය වැනි වචන. හෙට දිනයේ දේශපාලනය කුමන දිසානතියක් ගැනීවිද කියල කල් බල බල හිටපු ජනතාව අද දකින්න නැහැ.

ලංකාවේ දේශපාලනය කියන විෂය බොහොම අර්බුදකාරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ. දේශපාලනය එන්න එන්න මිනිසුන් කෙරෙන් ඈත් වෙලා යනව. එහෙම වෙන්නෙ ඒ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳීයාමත් සමගයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිස්සුන්ගේ කතාවක් නැතිව යනව. දේශපාලනය තියෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථිකාවක් ගොඩ නැගෙන්න.

අපි තරුණ කාලේ විවිධ දේශපාලන පක්ෂ වලින් දේශපාලන පන්ති පවත්වනව. කඳවුරු පවත්වනවා. මාසයකට සැරයක් තරුණ හමු පවත්වනව. අපි සම්බන්ධ වෙලා හිටපු පක්ෂවලත් එහෙම තිබුණා. කොමිනියුස්ට් පක්ෂයේ, සමසමාජ පක්‍ෂයේ ‍ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවා මාසයකට සැරයක් ශාඛා සමිතිවලින් කැඳවනව. ඒ අවස්ථාවල වර්ථමාන දේශපාලන තත්ත්වය ගැන. අභියෝග ජයගැනීම් ගැන සාකච්ඡා පවත්වනව. ජනතා විමුක්ති පෙරමුණ ඊට එහා ගිහිල්ලා ‘පන්ති පහ’ නමින් ප්‍රසිද්ධ දේශපාලන දැනුම්වත් කිරීම් තිබුණා. ඒවගෙන් හොඳ දේශපාලන දැනුමක්, අවබෝධයක්, පන්නරයක් එවක තරුණ පරපුරට ලැබුණා.

අපි සම්බන්ධ වෙලා හිටපු කොමිනියුස්ට් පක්ෂයෙන් කාඩ් එකක් නිකුත් කරල තිබුණ. මාසෙකට සැරයක් වැඩමුළුවකට සහභාගිවුණාම ඒ බව සනාථ වෙන්න ශත පණහක මුද්දරයක් අර කාඩ් පතේ අලවනව. ඒ මුද්ද‍රයේ තිබුණේ ලෙනින් ගේ මුහුණේ පැතිකඩ සේයාරුවක්. ඒ සාමාජිකයගෙ කාඩ් පත පරීක්ෂා කරපුවම පේනවා කොතරම් දේශන ගණනකට සහභාගිවුණා ද කියල. ඒවා දැන් අතීත මතක සටහන් පමණයි. දැන් තරුණ පරපුරටවත් දේශපාලනය ගැන දැනුමක් නැහැ. දැන් දේශපාලනය අබිං වැනි තීත්ත දෙයක් බවට පත්වෙලා. එපා වෙලා. දේශපාලකයන් කෙරේ, දේශපාලනය කෙරේ කිසිම විශ්වාසයක් නැහැ.

එතකොට පක්ෂය දේශපාලනයට කුමක් වෙයි ද?

කිසිම පක්ෂයකට දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් නැතිවේගෙන යන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කෙරුවත්, රට ගැන කතා කෙරුවත්, රට දියුණු කිරීම ගැන කතාකෙරුවත් ඇමති පොරයට තමයි අන්තිමේ ඇවිල්ලා තියෙන්නෙ.

ඡන්දය ඉල්‍ලගෙන එන්නේ ජනතා සේවයට කියල. එහෙම කිව්ව ඒ දේශපාලඥයන්ගෙ හැටි මේ අවස්ථාවෙදි ‍කදිමට පැහැදිලි වුණා. ඇමතිකම් හමුබවුණේ නැති අය ශාප කරනවා මට ඇමතිකම් දුනනේ නැහැ කියල. තව සමහර ඇයට ඇමතිකම ලැබුණත් ලැබිච්ච විෂය පථය මදිවෙලා කෑගහනවා.

ඇමති පොරය කරළියට ඒම ජනතාව කළකිරවන්නක් නේද?

විපක්ෂ නායක ඊයෙ කියල තිබුණා, ආණ්ඩුව අපි ‍විවේචනය කරන්න ඔනෙ නෑ. එයාලා එයාලම හැප්පිලා විවේචනය කරගන්නව කියල. ඒක ඇත්ත. ඇමතිකම් හම්බවුණ අය හා හමුබනුණ අය බහිබන් බස් වීම් පවා සිද්ධ වෙනව. සමහරු තර්ජනය කරනව මට දුන්නෙ නැත්නම් මම පිරිසක් සමග ස්වාධීන වෙනව කියල.

ජනතාවගෙ පැත්තෙන් හිතන්නෙ මෙහෙම එවුන්ට අපි ඡන්දය දුනනෙ කියල. මෙහෙම අය දේශපාලනයෙන් අතුගාලා දැමිය යුතු බවට ජනතාව එළිපිට කතාකරනව. ඒත් අවස්ථාවාදි දේශපාලඥයන් නිහඬ කරන්නවත් පක්ෂයෙන් අයින් කරන්නවත් දේශපාලන පක්ෂ වලට හයියක් නැහැ.

දේශපාලන පක්ෂවලට බැරි ඇයි ඔවුන්ගේ මැති ඇමතිවරුන් නිහඬ කරන්න. මීට වඩා විනයක් පවත්වාගෙන යන්න.  

ජේ.ආර්. ජයවර්ධන එ.ජා.ප. යේ නායකත්වයේ ඉන්නට විට වරක් මැති ඇමතිවරුන්ගෙන් හිස් කඩදාසියකට අත්සන් අරන් තිබුණා. ඕනෑම අවස්ථාවක ඉල්ලා අස්වුණා කියල සටහන් කරල ඕන කෙනෙක් අස්කරන්න පුළුවන් විදිහට. මහින්ද රාජපක්ෂගෙ කාලෙත් මේ වගේ ඇමතිකම්වලට පොරයක් තිබුණෙ නෑ. ඔවුන්ගෙ ඇමතිකම් නමට පමණයි වැඩ කරන්නෙ ‍රාජපක්ෂ සහෝදරයන් කියල කිව්වත් ඒ කාලයේ කවුරුවත් ඊට විරුද්ධව කටක් හෙල්ලුවෙ නැහැ. දෙනදේ අරගෙන සද්ද නැතුව හිටියා එහෙයි කියාගෙන.

දැන් ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස දීල තියෙන නිසා තනතුරු හම්බ වුණේ නැති අය තර්ජනය කරන්නෙ තමන්ගෙ පක්ෂ නායකත්වයට. මම මෙච්චර ඡන්ද ගත්තා ඒ නිසා මට මෙහෙම අමාත්‍යංශයක් ඕනැ. අරය ඡන්ද ගත්තෙ මෙච්චරයි. එයාට ඒ අමාත්‍යංශය දෙන්න එපා. අර්බූදයේදි ඉදිරියෙන් හිටියෙ මමයි ඒ නිසා මට මේක ඕනැ කියල.

දැන් මිනිස්සුන්ට තේරිලා තියෙන්නේ මේ අයගෙ මේ දේශපාලන උන්දුව තියෙන්නේ ඇමතිකම් වලට කියල. ඒ රට හදන්න නෙවෙයි එයින් ලැබෙන වරදාන, වරප්‍රසාද වලට තියෙන කෑදරකම නිසා කියල. ඒ අය ඇමතිකම් ලැබුණාම කරන දේ අපිට හිතා ගන්න පුළුවන්. පඩිය ලැබෙන කාරෙක වගේ දේවල් නෙමෙයි ඇමතිකමත් එක්ක මේ අයට විශාල ප්‍රතිලාභ ලැබෙන වැඩපිළි‍වල් තියෙනව කියල එයාල කරන කියන දේවල් වලින් පේනව.

මැති ඇමතිකම් සඳහා පිරිසක් කුලල් කාගන්න විට පක්ෂ නායකත්වයට ඉහළ පෙළේ පිරිසක් පොරකනව. මේක නොපෙනුණාට කොයි පක්ෂයෙත් තියනව. හැම පක්ෂයක්ම මේ වන විට අභ්‍යන්තර ආරවුල්වලට භාජනය වෙලා තියෙනව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් බරපතල අභ්‍යන්තර ආරවුලක් තියෙනෙ. යළිත් දෙකට කැඩෙන විදිහක් තමයි නිර්මාණය වෙමින් තියෙන්නෙ. ජනාධිපති උත්සාහ කරනව තමන්ගෙ වචනය උඩ සියලු දෙනාම එකට ඉඳියි කියල. නමුත් එහෙම දෙයක් සිදුවෙන්නෙ නැති බවයි පෙනෙන්නේ. කැඩිච්ච පක්ෂ මැලියම් දාලා හා කරන්න බැහැ. මතුපිටින් හා වෙලා වගේ පෙනුණට යටින් පුපුරනවා.

මෙය මැතිවරණ වසරක් යනුවෙන් හැඳින්වෙනව. මේ තත්ත්වය යටතේ ඉදිරියේ දී ඡන්දදායකයාට මුහුණ දෙන්නෙ කෙසේද?

මෙහෙම කුලල්කාගෙන කොහොම ජනතාව ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ. දැන් නම් දේශපාලඥයන් හැමෝම ඉන්නේ ජනතාව ඉදිරියෙ නිර්වස්ත්‍රයෙන් වගේ. ජරා ජීර්ණ දේශපාලනය අද හොඳටම රෝගී වෙලා මරණාසන්න වෙලා තියෙන්නෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *