කුමන්ත්‍රණය පරාජය කිරීම ජනතා ජයග්‍රහණයක් – නීතිඥ එස්.ජී. පුංචිහේවා

පසුගිය දා ඇති වුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පෙරළිය පරදා යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීම සමහරුන් අර්ථකථනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් කියල, තවත් සමහරෙක් කියන්නේ එය පාට පක්ෂ නැතුව යළි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට එකතු වූ පිරිසකගෙ පොදු ජයග්‍රහණයක් කියලයි.

ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පුද්ගලික ජයග්‍රහණයක් කියල කිසිසේත් විශ්වාස කරන්න බැහැ. ඒ වැඩපිළිවලේ ක්‍රියාවට ලක්වූ පුද්ගලයා කවුද කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ සමස්ථ ක්‍රියාවට විරුද්ධවයි මිනිස්සු නැගීහි‍ටියේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙනුත් ප්‍රකාශ වෙනව නීතිය වැරදි විදිහට පාවිච්චි කෙරුව කියල. එකට ගොදුරුවුණේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා එයා නිවැරැදි වීම ගැන මිනිස්සු අසතුටක් වුණේ නැහැ. ජනතාව එයට කැමති වුණා. මොකද වැරදි වැඩේ නිවැරදි කරන කොට හිටපු පුද්ගලයටම ඒ තනතුර හිමිවීමයි වුණේ. ඒක මිසක් එයාගේ ක්‍රියාපටිපාටිය හෝ දේශපාලනය නිවැරදි කියල මිනිස්සු අනුමත කිරීමක් කළා කියල එයින් ප්‍රකට වෙන්නෙ නැ.

එතන දේශපාලනයක් තිබුණෙම නැද්ද?

දේශපාලනයක් තිබුණා. එතනදි මිනිස්සු බැලුව වඩාත් රටට හිතකර දේශපාලයක් කරන්නෙ කවුද කියල. රනිල් වික්‍රමසිංහටත් චෝදනා තියනව තමයි. රනිල්ට විරුද්ධව කුමන්ත්‍රණයට හවුල් කරුට තරම් රනිල්ට චෝදනා නෑ. ඒ අනුව ඒ දෙකෙන් තෝරගන්න වෙන්නෙ රනිල් වික්‍රමසිංහ.

ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය පැසසුමට කල් වුණා. එහි දී ඔහු දේශපාලන පරිනත බවක් පෙන්නුවද?

ඔහුට දීර්ඝ කාලීන දේශපාලන පළපුරුද්දක් තියනව. ඒ පළපුරුද්ද ඔහු පාවිච්චි කළා. ඔහු නරක දේටත් ඉවසනවා. හොඳ දේටත් ඉවසනවා. ඒක ඉවසීම කියල යහ ගුණයක් හැටියට නෙමෙයි. තමන්ට වාසි තියෙනනෙ කොයි හැසිරීමට ද කියල තමයි බැලුවෙ.

එතනදි කථානායක තුමාත් තමන් නිවැරදියි කයල හිතන ස්ථාවරයේ හිටියා. අන්තිමේදි ලැබුණු උසාවි තීන්දුවෙන් කථානායක තුමාගේ තීරණය නිවැරදියි කියල තීන්දු වුණා. එතෙක් ඔහුට කොතරම් අපහාස, උපහාස කළාද? හිරිහැරවලට පවා ලක් වුණා. වතුර ගැහුවා, මිරිස්කුඩු ගැහුවා. අන්තිමේදී ඔහුගේ ස්ථාවරය නිවැරදි බව ඔප්පු වුණා. ඒ කඩාකප්පල්කාරි වැඩ කරපු පිරිසම තමයි අන්තිමේදී පරාජයට පත් වුණේ.

රනිල් වික්‍රමසිංහ මහතා හිතාගන්න ඕනෙ මේ මගේ හොඳකම නිසාම ලැබුණු ජයග්‍රහණයක් නොවෙයි. මේක ජනතා අපේක්ෂාවන් පිළිබඳ ජයග්‍රහණයක් කියල. ඒ ජනතා අපේක්ෂාවන්ට අනුගත වෙන්න මහන්සි ගත යුතුයි. ඒ අනුව ඉදිරියේදී රට පාළනය කිරීම ගැන අලුතෙන් සිතා බැලිය යුතුයි.

ආර්ථිකය ගැන දැනුමක් ඇති අය කියනව ඇහෙනවා, රනිල් වික්‍රමසිංහගෙ ආර්ථික ප්‍රතිපත්ති අපේ රටට ගැලපෙන්නෙ නෑ. එමගින් රට දියුණු කරන්න බෑ කියල.

රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ විදේශ ආයෝජන මගින් රට සංවර්ධනය කරන්න. විදේශ ආයෝජන මගින් සංවර්ධන වෙච්ච රටක් කොහෙද තියෙන්නෙ? අපේ රටට විදේශ ආයෝජන එන්නෙ අපේ රටේ සම්පත් සූරාගෙන කන්න මිසක් රට දියුණු කරන්න නෙමෙයි. විශේෂයෙන්ම මේ රටට ආයෝජකයන් එන්නේ අඩු මිලට ශ්‍රමය ලබාගන්න හැකි නිසයි. එහෙම ආයෝජන වලින් රට සංවර්ධනය වෙන්නෙ නැහැ.

1948 ඉඳලා හැම රජයක්ම විදේශ ආයෝජන මගින් රට සංවර්ධනය කරන්න උත්සාහ කෙරුව. ඒ කිසිම රජයක සංවර්ධන වැඩ පිළිවෙලක් සාර්ථක වෙලා නැහැ. කාලයක් විදේශ ආයෝජන මත ගොවි ජනපද දියුණු කරන්න හැදුව. දියුණු වුණාද? නැහැ. ගොවිජනපද හිටපු තැනම තාම එහෙමමයි. ගොවිජනපදවල මිනිස්සු ඉතාම දිළිඳු තත්ත්වෙකයි ඉන්නේ. එවැනි සංවර්ධන තමයි දිගටම ඇති කරන්න උත්සාහ කෙරුවෙ.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යපාරයත් අසාර්ථ එකක්ද?

කඩිනම් කියන එකෙන්ම පේනවා එක හරියට කෙරුණද කියන එක. අවුරුදු 30ක සංවර්ධන සැලැස්මක් අවුරුදු 6කින් අවසන් කරන්න ගියාම සාර්ථක වෙනව කියල හිතන්න පුළුවන්ද?

මහවැලි සංවර්ධන ව්‍යාපාරය නියම විදිහට කෙරුවා නම්, මහවැලි ජලය කිලිනොච්චිය දක්වා ගෙනියන්න සැලසුම තිබුණේ. ඒක හරිවිදිහට කෙරුවා නම් යුද්ධයක් පවා ඇති නොවන්න තිබුණා. ඒ ජලය උතුරට ගියා නම්, ඒ පොළොවත් සමඟ ඔවුන්ගේ හැකියාව ශ්‍රමය යොදලා පුදුම සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්කම තිබුණා. එහෙම වුණා නම් තරුණ පරපුරපුරට ආයුධ නොගෙන වගාකරන්න යොමු වෙන්න තිබුණා. තරුණ පරපුරට බණ කියල හරියන්නෙ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ආනාගතය ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. මෙයාලා සංවර්ධනය කියන්නේ රටේ සම්පත් සූරාකෑමටයි, ශ්‍රමය සූරාකෑමටයි. මේ සංවර්ධන ව්‍යපෘති වලින් ටික දෙනෙකුට රැකියා ලැබෙන බව ඇත්ත. ටික දෙනෙකුට රැකියා දෙන්නද මේ රටේ සම්පත් විනාශ කරන්න හදන්නෙ.

එක්සත් ජාතික පක්ෂයටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සංවර්ධනය පිළිබඳ එකම ආකල්පයක් තමයි ති‍බුණෙ. විදේශ ආයෝජන මත සංවර්ධනය කිරීම. ඉන් එහා විකල්පයක් තිබුණෙ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂට දේශීය කර්මාන්ත නගා සිටුවීම වැනි සංකල්ප තිබුණා නේද?

වාමාංශික රටවල් සමග වාමාංශික ව්‍යපාර සමග ඔවුන්ට යම් යම් සම්බන්ධ කම් තිබුණා. එහෙත් කොමිනියුස්ට් රටවල් දියුණු කළ ක්‍රමයට අපේ රට දියුණු කරන්න සැලැස්මක් තිබුණෙ නැහැ. මෙහෙ ක්‍රියාත්මක වුණේ ප්‍රජාතන්ත්‍රවාදයත් තියනවා, සූරාකෑමත් තියනවා. ඒ අතර සංවර්ධන යෝජනා ක්‍රමත් ක්‍රියාත්මක වෙනව.

1931 දි ඇති වුණු සර්වජන ඡන්ද බලයයි, 1947 දි ඇතිකරපු නිදහස් අධ්‍යාපනයයි නිසා ලංකාව යම් ඉදිරි පියවර කිහිපයක් තැබුවා. දිළිඳු පවුල් වල අයට උසස් අධ්‍යාපනය ලබා නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා දිළිඳුකම නිසා. දිලිඳුකම නිසා සර්වජන ඡන්ද බලයෙන් ප්‍රයෝජනයක් ගන්නත් බැරි වුණා. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්ත අයත් ඉන්නවා.

කොහොම වුණත් මේ වකවානුවේ සෞඛ්‍ය පැත්තෙන් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වුණා. අපේ රටේ තිබුණ වසංගත රෝග ගණනාවක් පිටුදකින්න හැකි වුණා. වසුරිය, ක්ෂරෝගය, මැලේරියාව, කක්කල් කැස්ස, බරවා රෝගය වැනි රෝග පුදුම අන්දමින් මර්ධනය කෙරුවා. එකෙන් සෞඛ්‍ය සම්පන්න ජාතියක් ඇති වුණා. සංවර්ධනයක් වෙන්න ඕ‍නැ ඒ සෞඛ්‍ය සම්පන්න ජාතියෙන් ප්‍රයෝනයක් ගන්නයි. එහෙම දෙයක් වුණේ නැහැ. මිනිසුන්ගේ ශ්‍රමය සංවර්ධන වැඩ වලට යොදව ගත් විට ඒ ශ්‍රමය සූරාකෑමකට භාජනය වෙනව. ඒ සංවර්ධන ක්‍රම වලින් ප්‍රයෝජනය ලැබුණේ විදේශ ආයෝජකයන්ටමයි.

මනෝජ් රූපසිංහ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *