දෙබිඞ්ඩන්ගේ දේශපාලනය – සම්පත් අමරසිංහ

‘‘ අපි කැඳවලා තිබුණු මහමැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දීලා තියෙනවා. කැඳවපු මහමැතිවරණයත් දැන් අහිමිවෙලා තියෙන්නේ.’’ එසේ ප‍්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂ මහතාය. ඒ නීතිවිරෝධී අගමැතිධුරයෙන් ඉවත්වීමට සිදුවූ පසුව පාක්ෂිකයන් අමතමිනි.
ඉහත ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ශ‍්‍රී ලංකාවේ දින පනස් ගණනක පසුගිය ඉතිහාසය අමතක නැති කවර අයෙකුට වුව වැටහෙනවාට සැකයක් නැත. හේතුව කිසිවෙකු විසින් හෝ පසුගිය වකවානුවේ මැතිවරණයක් කැඳවා නොතිබුණු බැවිණි. පසුගිය ඔක්තෝම්බර් 26න් ඇරඹි සිද්ධිදාමය සලකා බලන විට පැහැදිලි වන්නේ එය කිසිසේත්ම මහ මැතිවරණයක් සඳහා කළ පෙළ ගැස්මක් නොවන බවයි. එසේ මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවෙන් අවසරයක් තිබුණේද නැත. ඔක්තෝම්බර් 26 එළඹුම යනු නීත්‍යානුකූල ආණ්ඩුවක බලය ව්‍යවස්ථාවිරෝධීව පික්පොකට් ගහන්නනට ගත් උත්සහයකි. මහින්ද මෛත‍්‍රී කුමන්ත‍්‍රණයෙන් උත්සහ ගැනුණේ අගමැතිධූරය වෙනස් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්නටය. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව කල්තැබුවේත් බලය තහවුරු කරගැනීමටය. එනම්, එක්සත් ජාතික පක්ෂයෙන් හෝ වෙනත් කණ්ඩායමකින් හෝ තම පිළට මන්ත‍්‍රීවරන් බිලීබා ගන්නට පාර්ලිමේන්තුව නැවත රැුස්වන දිනය අතරතුර කාලය යොදාගැනීමේ අරමුණ ඇතිවය. රනිල් වික‍්‍රමසිංහ මහතා හැර අන් සියලූ එ.ජා.ප මන්ත‍්‍රීවරුනට එහිදී කතා කළ බව කියවේ. පාළිත රංගේ බණ්ඩාර මහතා විසින් එළිදරව් කරන්නට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවැරන් මුදල් ගෙවා බා ගැනීමේ වෑයම එකී උත්සහයේ කොටසකි. කල්තැබූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා යන්නනට සිදුවූයේ මන්ත‍්‍රීවරුන් බාගෙන ආණ්ඩුව ස්ථාවර කරගරනීමේ වෑයම අසාර්ථක වූ බැවිනි.
එකී කුරුමාණම වැරදුණු පසුව දැන් මහින්ද රාජපක්ෂ මහතා රටට කියන්නට උත්සහ කරන්නේ තමා අගමැතිධුරය බාරගත්තේ බාරකාර රජයක් යටතේ මහමැතිවරණයක් පවත්වන්නටය කීයාය. බාරකාර රජයක් යටතේ මැතිවරණයකට යාම මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණයේ අභිප‍්‍රාය වූයේ යැයි මදකට විස්වාස කරමු. එසේනම් කරන්නට තිබුණේ මුල් පියවරේදීම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයකට දින නියම කිරීමයි. තවත් ආකාරයකිනි කල්පනා කරන කල මහමැතිවරණයකට යාම ඇත්ත අවශ්‍යතාව වූයේ නම් ඊට මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ තැබීමට අවශ්‍ය වන්නේද නැත. එතෙක් පැවති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව විසුරුවා හැරි බව නිවේදනය කර මහමැතිවරණයකට දි නියම කරන්නට තිබුණි. එසේ කලේ නම් එතෙක් පැවති කැබිනට් මණ්ඩලයට ඉබේම බාරකාර ආන්ඩුවේ කටයුතු පැවරෙනු ඇත.
එසේ තිබියදී මහින්ද පාර්ශවය කියන්නේ කැඳවා තිබූ මහමැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව හේතුවෙන් වැලකුණු බවයි. එය එක් ආකාරයකින් ගත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් වශයෙන්ද සලකන්නටද පුළුවන. මක්නිසාදයත් මහමැතිවරණයක් කෙරෙහි කිිසිම ආකාරයක මැදිහත්්වීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකර නොමැති බැවිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරුණේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දින නියම කළ මහමැතිවරණය පැවැත්විය හැකිද නොහැකිද යන්න හෝ එම මැතිවරණය පැවැත්විය යුතුද නැද්ද යන්න හෝ නොවේ. මැතිවරණයක් පැවැත්විය යුතුද/ හැකිද යන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරුනේ නම්, මහින්ද රාජපක්ෂ මහතා කියන පරිදි කැඳවා තිබූ මහමැතිවරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණයක් දී ඇත. යන තර්කය පිළිගත හැකිව තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කෙරුණේ මහමැතිවරණයක් පිළිබඳ කරුණක් නොව වසර හතරහමාරක් ගතවීමට පෙර ආණ්ඩුව විසුරුවා හරින්නට බලයක් ජනාධිපතිවරයාටතිබේද නැද්ද යන්න කරුණයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය වසර හතරහමරෙක් ගතවනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව තීරණය කළේය. වසර හතරහමාරක් ගතවනතුරු ආන්ඩුව විසුරුවා හැරීමට නොහැකි නම්ඊට පෙර මහමැතිවරණයක් කැඳවීමටද හැකියාවක් නැත. එකී හේතුව නිසා ජනාධිපතිවරයා විසින් අත්තනෝමතිකව තීරණ්‍ය කර තිබූ මහමැතිවරණය ඉබේම අහෝසි වී ගියේය. කෙටියෙන් කියන්නේ නම් ළිදට පැන්න නිසා සිරුර තෙමුණා මිස සිරුර තෙමුණ නිසා ළිදට පැන්නා නොවේ. නීතීඥයෙකු බව කියන මහින්ද රාජපක්ෂ මහතාට ඒබව නොවැටහෙනවා විය නොහැක. එහෙත් ඔහු උත්සහ කරමින් ඉන්නේ සත්‍ය කණපිටහරවා ජනතාව නොමග යවන්නටය. භාරකාර ආණ්ඩුවක් යටතේ ජනවාරියේ ඡුන්දයකට යාම තමාගේ අභිප‍්‍රාය වූ බව මහින්ද මහතා කියන නමුත් බලය පිහිටුවා ගැනීමට ඔහුට අවාශ ලැබුණේනම් ඔහු කරණු ඇත්තේ 2020 දක්වා නොව ඉන් ඔබ්බටත් බලයේ රැුදී ඉන්නට අවකාශ සලසා ගැනීමයි.
සත්‍යය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරය අත්හරින්නට තීරණය කරන්නේ අගමැතිධූරය පවත්වාගෙන යාමට තමාට කිසිසේත්ම නොහැකි බව අවබෝධ වූ නිසා වීමය. ඒවන විට ඔහු පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකින්ම පරාජයට පත්වී සිටියේය. පාර්ලිමේන්තුවේ සහය නොමැතිව අගමැතිධූරයේ රැුදෙන්නට නොහැකි නිසා අවසානයේ තරගය තහැර දමන්නට ඔහුට සිදුවිය. එසේ වුවත් ඔහු රටට කියන්නේ මහමැතිවරණයක් නැතිව අගමැතිධූරයක් දැරීමට තමාගේ කිසිම කැමැත්තක් නැති නිසාත් තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත් තමා අගමැතිධූරයෙන් ඉවත්වූ බවයි. ඒ මැතිවරණයකින් තොරව අගමැතිවන්නට කැමැත්තක් නැතිනම් ඔහු කළයුතුව තිබුනේ රාත‍්‍රී කාලයේ පස්ස දොරෙන් ගොස් අගමැති වශයෙන් දිවුරුම්දීමද එසේ නැතිනම් නව අගමැති කෙනෙකු පත්කර ගැනීමට ඉඩ ලැබෙන පරිදි මහමැතිවරණයක් කැඳවන්න යැයි ජනාදිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමද?
වඩාත් බරපතල කාරණය වන්නේ හොර පාරෙන් අගමැති වීමට ගත් උත්සහය ව්‍යයර්ථ වූ පසු නැවත බලය ලබාගැනීමේ පටු අරමුණෙන් යුතුව රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ජාතිවාදය ඇවිස්සීමට දරණ ප‍්‍රයත්නයයි. ‘‘‘ආණ්ඩුවේ රිමෝට් කොන්ට්‍රෝල් එක ටී. එන්.ඒ එක අතේ’’ වැනි ප‍්‍රකාශ වලින් ඒබ ව පැහැදිලි වේ . එකී කතා වලින් ඔප්පු වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතාගේ දෙබිඩි පිළිවෙත සහ බලයට ඇති කෑදරකම නිසා ඔහු ජනතාවට බොරු කියන ආකාරයයි.
ඔක්තෝම්බර් 26 නීතිවිරෝධී අගමැතිධූරය ලබාගත් පසු ඔහු බලය පවත්වාගැනීම සඳහා ටී. එන්. ඒ සංවිධානයේ සහය ලබාගැනීමේ අරමුණ පෙරදැඩිව ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡුා කළේය. එහිදී සම්බන්ධන් මහතාගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීමට හැකිවූයේ නම් මහමැතිවරණයකින් තොරව අගමැති වන්නට කැමැත්තක් නැත යන්න ආදී කතා කීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නැත. ඒ වෙනුවට ඔහු 2020 වනතුරුම ටී. එන්. ඒ හි සහය ඇතිව ආණ්ඩුව ගෙන යනවාට සැක නැත. නමුත් බලාපොරොත්තු වූ පරිදි සම්බන්ධන් මහතාගේ සහය ලබාගන්නට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවූයේ නැත. හේතුව මහින්ද රාජපක්ෂ මහතා මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධීව හැසිරීමට සම්බන්ධන් මහතා ඉදිරිපත් නොවීමයි. ටී. එන්. ඒ සංවිධානයේ කොටි පුල්ලි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පෙනෙන්නට පටන්ගත්තේ ඔවුන් සමග ආණ්්ඩු කරන්නට සම්බන්ධන් මහතා ඇතුළු කණ්ඩායම එකග නොවූ බැවිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 113 මන්ත‍්‍රීධූර සංඛ්‍යාව තමාට ලබා ගැනීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා ටී. එන්. ඒ සංවිධානයේ විලයේන්ද්‍රන් මහතාගේ සහය ලබාගත්තේය. විලයේන්ද්‍රන් මහතා යනු මියගිය දෙමළ ජාතිකයන් අනුස්මරණය සඳහා සංවිධානය කෙරුණු එළගු තමිල් නැමති උත්සවයේ සංවිධායකවරයාය. තමන්ට සහය දීමට විලයේන්ද්‍රන් මහතාගේ මලවුන් සැමරීම හෝ වෙනත් කරුණක් මහින්ද රාජපක්ෂ මහතාට අදාළ වූයේ නැත. අප මෙහිදී ප‍්‍රශ්න කරන්නේ විලයේන්ද්‍රන් මහතා මළවුන් සිහිකිරීම නොවේ ඔහුට ඒ සඳහා ඇති අයිතිය පිළිගතයුතුය’ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමකි. නමුත් මහවිරු සැමරුම් ආදියට දකුණේ මහත් විරෝධයක් නගන මහින්ද රාජපක්ෂ මහතාගේ බලය ලබාගන්නට වුවමනා වූ විට කොටියාත් සිංහයා කරගැනීමේ දෙබිඩි පිළිවෙත ජනතාව තේරුම්ගතයුතුය.
සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *