අගමැතිවරයාගේ මාධ්‍ය මර්ධනය – අකුරැස්සේ වින්සන් ප‍්‍රනාන්දු

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනයකට අරඅදින්නේය යන අදහසක් සමාජගත කරන්නට එක්තරා දිනපතා සිංහල පුවත්පත් දෙකක් උත්සහ ගෙන තිබුණු ආකාරයක් පසුගිය සතියේ දක්නට ලැබුණා.

එම තත්ත්වයට පදනම් වූ කරුණ වූයේ ඇමති මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් පුවත්පත් වල පළකර තිබූ දේශ සහගත ප‍්‍රවෘත්තියක් පිළිබඳ රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයක්. එහිදී අගමැතිවරයා කියා තිබුණේ ඇමති මණ්ඩලය පත්කිරීම සම්බන්ධව තිබුණු අදාළ ප‍්‍රවෘත්තිය සත්‍යයෙන්තොර බවයි. එසේම එම ප‍්‍රවෘත්තිය පළ කිරීමේදී කවර ආකාරයකින්වත් තමාගෙන් කරුණු විමසීමක් නොකළ බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා තිබුණා. යම් පුද්ගලයෙකුට හෝ සිද්ධියකට අදාළ ප‍්‍රවෘත්තියක් පළ කරන්නට පෙර අදාළ පාර්ශව වලින් කරුණු විමසියයුතු බව ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ මූලික සිද්ධාන්තයක්. ප‍්‍රවෘත්තියක් සමබරවන්නේ එසේ අදාළ පාර්ශවයෙන් කරුණු විමසන්නේ නම් පමණයි. එසේ නොවිමසා පළ කරන ප‍්‍රවෘත්ති එක්කෝ පක්්ෂග‍්‍රාහී වනවා එහෙමත් නැත්නම් ඒවා බොරු ප‍්‍රවෘත්ති වෙනවා.

අගමැතිවරයා ප‍්‍රකාශ කළේ තමා ජනාධිපතිතුමාට අමාත්‍ය මණ්ඩලය සඳහා සලකා බලන්නට ඉදිරිපත් නොකළ නම් කිහිපයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව අගවන්නට ඉහත ප‍්‍රවෘත්ති මගින් උත්සහ කළ බවයි. විජිත් විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාගේ නමත් එකී ප‍්‍රවෘත්තියට අදාළ බව අගමැතිවරයා පවසා තිබුණා. ඒ අතර අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ එසේ බොරු ප‍්‍රවෘත්ති පළ කිරීමෙන් විජිත් විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාට සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි ඉල්ලා අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යන්නේ නම් විජිත් විජයමුණි සොයිසා මන්ත‍්‍රීවරයාට සැලකියයුතු වන්දියක් ලබාගත හැකි බවයි.

අදාළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කරන්ට තමා බලාපොරොත්තු වන බව කී අගමැතිවරයා වැරදි ප‍්‍රවෘත්ති පළ කරළ ආයතන වලට වැඩිදුරටත්කියා තිබුණේ වරදට අලාභය හෝ වන්දිය ගෙවීමට චෙක්පත් ලියාගෙන සූදානමින් ඉන්නා ලෙසයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය මර්දනයට සූදානම් වන බව කීමට උපයෝගී කරගෙන තිබුණේ ඉහත ප‍්‍රකාශයයි. යම් අයෙකුට මාධ්‍ය මගින් යම් වරදක් සිදුවී ඇත්නම් ඊට විරුද්ධව නීති මගින් කටයුතු කිරීම මාධ්‍ය මර්දනයක්ද? නැත. එය කිසිසේත්ම මාධ්‍ය මර්දනයක් හෝ අවම වශයෙන් මාධ්‍ය නිදහසට බාධා කිරීමක් වත් වන්නේ නැත. එය යමෙකුගේ අයිතිවාසිකමක් ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමක් පමණයි. එය ඕනෑම කෙනෙකුගේ මූලික අයිතිවාසිකමක්.

මාධ්‍ය මර්දනය යනු යම් පුවතක් පළකළ තැනැත්තාට විරුද්ධව සුදු වෑන් එවීමයි. එසේ පුවත පළ කල ජනමාධ්‍යවේදීයාට හෝ වේදිනියට ශාරීරිකව හිංසා කිරීමයි. රනිල් වික‍්‍රමසිංහ මහතා උසාවි යන බව කියද්දී එය ජනමාධ්‍ය මර්දනයට උත්සහ කිරීමක් බව කියන්නට උත්සහ කර තිබූ පුවත්පත් දෙක පැහැදිලි ලෙසම මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට හිතවාදීව පුවත් සහ ලිපි පළකරන මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින පුවත්පත් දෙකක්.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුසමයේ ඒ ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එහෙමත් නැත්නම් ඒ කාලයේ ඔහු හැඳින්වූ ආකාරයට ආරක්ෂක ලේකම්වරයා බැල්ල කියා බැනවදිනවිට එය ඉවසූ ජනමාධ්‍යවේදීන්ට අද අගමැතිවරයා තමාට සිදුවූ පහසුතාවයට උසාවියන බව කියන විට කලබලවීම පුදුමයක්.

නැවත නැවතත් මතක් කිරීමට අකමැතිවුවත් අපහාසයට විරුද්ධව උසාවියට හෝ වන්දි ලබාගැනීමට උත්සහ ගැනීම හෝ එසේ කරන බව කීම මාධ්‍ය මර්දනයක් නම්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත්නොයර්ට පහරදීම, පොද්දල ජයන්තගේ අතපය කඩාදැමීම, සනත් බාලසූරිය වැනි මාධ්‍යවේදින්ට රටින් පිටුවහල් වන්නට කටයුතු සිදුකිරීම ආදිය සැලකිය යුත්තේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කළ කටයුතු කියාද?

ජනමාධ්‍ය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර බල්ලායකියා කීවේ ජනමාධ්‍ය කටයුතු කරන්නේ රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමටය යන අදහස ඇතිවය. එහෙත් අද අපේ රටේ ප‍්‍රධානපෙළේ මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදින් ජනතා අයිතීන් ගැන අල්ප මාත‍්‍ර උනන්දුවකින්වත් කටයුතු කරනවාද යන්න ගැටලූ සහගතයි.

ආසන්නතම උදාහරණය පසුගිය දිනවල ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවේ ජනමාධ්‍ය කටයුතු කළ ආකාරයයි. එහිදී පෙරකී පුවත්පත් නීතිපතිවරයා උසාවියේ කළ ප‍්‍රකාශයක් පොල්ගෙඩි අකුරින් පළකර තිබුණි. එම ප‍්‍රවෘත්තියෙන් කියවුණේ ‘‘ ජනපති බලතල උසාවියක අභියෝගයකට ලක්කරන්න බැහැ. මැතිසබය විසුරුවීමට එරෙහි පෙත්සම ඉවත දමන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසයි. ’’ කියායි. ඇත්තෙන්ම නීතිපතිවරයාගේ එම ප‍්‍රකාශය අදාළ නඩුවේ එක් පාර්ශවකරුවෙක් වෙනුවෙන් කළ කරුණු දැක්වීමක් පමණයි.නිවැරදි වාර්තාකරණයකදී සිදුවිය යුත්තේ නීතිපතිවරයාගේ අදහසත් සමග අනෙක් පාර්ශවයේ නීතිඥයන් කී කරුණුත් සමාන ඉඩක් ලබාදී වාර්තා කිරීමයි’ නමුත් එසේ සිදුවූයේ නැහැ.

මේ ආකාරයේ වාර්තා කිරීම් සිදුවන්නේ ඉබේට හෝ නොදැනුවත්කම නිසා නොවෙයි. ඒවා ජනමතයටත් අධිකරණ තීරණවලටත් බලපෑම් කරන අටියෙන් හිතාමතාම කරන දේවල්. තවත් උදාහරණයක් දක්වනවානම් මෙරට පාර්ලිමේන්තුව බලහත්කාරීව විසුරුවා හැරීම සම්බන්ධ නඩුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් තිබුණ දිනවල ඉන්දියාවේ ප‍්‍රාන්ත ආණ්ඩුවක් විසුරුවා හැරීම සම්බන්ධව එම විසුරුවාහැරීම සිදුකළ පාර්ශවයට වාසි සහගත වන ආකාරයට ඉන්දීය අධිකරණයක් දුන් තීන්දුවක් මෙරට ඇතැම් පුවත්පත් මහත් උත්කර්ෂයට නංවා පළකර තිබුණි. එතැනදීත් අදාළ මාධ්‍ය උත්සහ කළේ ‘‘ ඔන්න ඉන්දියාවේ වැඬේ හරි ලංකාවේත් වැඬේ හරියන්නයි එන්නේ’’ වැනි අදහසක් සමාජගත කරන්නයි. ඉන්දියාවේ නඩුවට බලපෑ තත්ත්වයත් ඉන්දියාවේ නීතිමය තත්ත්වයත් ලංකාවට වඩා වෙනස් බවත් අපේ ජනමාධ්‍ය ඒ වාර්තාකරණයේදී කල්පනා කළේ නැහැ.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ අභියාචනාධිකරණ විභාගය අවස්ථාවේ මෙරට ඇතැම් මාධ්‍ය හැසිරුණු ආකාරයත් ලංකාවේ ජනමාධ්‍ය වල පක්ෂග‍්‍රාහී හැසිරීම පිළිබඳ හොඳම සාක්ෂියක්. එහිදීත් සමහර මාධ්‍ය කළේ දුමින්ද සිල්වා මහතාට වාසි සහගත ආකාරයට උසාවියේ කෙරුණු කරුණු දැක්වීම් උලූප්පා පෙන්වීමයි. එසේ කිරීමේන ඔවුන් උත්සහ කලේ මියගිය භාරත ලක්ෂ්මන් මහතා චූදිතයෙකු කර දුමින්ද සිල්වා මහතා නිදොස්කරන්නටය. එයත් එක් ආකාරයකින් උසාවියේ තිරණයට අනියම් ආකාරයෙන් බලපෑම් කිරීමක්. රටේ ජනතාවගේ වාසනාවට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධ නඩුවේදීවත් භාරත ලක්ෂ්මන් නඩුවේදීවත් විනිසුරු මඩුලූවල තීරණ වලට ඉහත ජනමාධ්‍ය වල කූට ප‍්‍රයෝග වලින් බලපෑමක් වුනේ නැහැ.

අපේ මූලික කරුණට නැවත යන්නේ නම් රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රාකාශය ජනමාධ්‍ය නිදහසට ඇගිලි ගැසීමක් නොවෙයි. එය ඇත්ත වශයෙන්ම ජනමාධ්‍ය වැරදි කි‍්‍රයාකාරකම්වලින් යමෙකුගේ පෞද්ගලික නිදහසට බාධා එල්ලවීමෙන් ආරක්ෂා වීමට ගත් උත්සහයක්.

නමුත් ඇත්තවශයෙන්ම දියුණුු ජනමාධ්‍ය සංස්කෘතියක් නැති අපවගේ රටකදී උසාවි යාමෙන් පමණක් ගැටලූ නිරාකරණය කරගන්න අමාරුයි. අපේ ජනමාධ්‍ය වලින් විවිධ තරාතිරමේ අයට ඉතිහාසය පුරා ගෙවා ඇති වන්දි දෙස බලන විට නිවැරදි වනවා නම් නිවැරදි වන්නට ඒවා හොඳටම ප‍්‍රමාණවත්ය. ඒත් ජනමාධ්‍ය හැදෙන බවක් පෙනෙන්නට නැහැ.

ඒ නිසා අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මැදිහත් වියුත්තේ රාජ්‍ය පෞද්ගලික සියලූ මාධ්‍ය ආයතන වල ස්වාධීනත්වය තහවුරු කර ඒවා විනිවිදභාවයෙන් යුතුව නියාමනයකළ හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමයි.

අකුරැුස්සේ වින්සන් ප‍්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *