|

යලි උපන් ආණ්ඩුවට වැඩි ජවයක් දෙන්න අගමැතිගෙන් උපදෙස්

මෙරට දේශපාලන ඉතිහාසයේ අසීරුතම අර්බුදයෙන් මිදී ඉන් අනතුරුව තම අගමැති ධූරයේ මෙන්ම ඇමතිවරුන්ගේ ධූරවල දිවුරුම් දීම් නිමකළ අගමැති රනිල් මද අස්වැසිල්ලක් ලබාගත්තේ නත්තල් සමයේදීය. සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී සමග නුවරඑළියේ දින දෙකක විවේකයක් සඳහා ඔහු පිටත්ව ගියේ ඒ තුලය. එහි අග්‍රාමාත්‍ය නිල නිවසේ නවාතැන් ගත් අගමැතිවරයා නත්තල වෙනුවෙන් ලමා නිවාසයක දරුවන් රැසක් එහි කැදවීය. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා සොයාබැලූ රනිල්-මෛත්‍රී යුවල බැති ගී මෙන්ම වෙනත් සරල ගී ගායනයෙන්ද එදින සැදෑව ගතකළෝය. එමෙන්ම සුවිශේෂ ආහාරපාන මෙන්ම නත්තල් තෑගිබෝග වලින්ද එම දරුදැරියන්ට සංග්‍රහ කළ රනිල් මෛත්‍රී යුවල ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසක් ගැනීමටද අමතක නොකළේය.

උතුරු ප්‍රදේශයට අධික වැසි ලැබීමත් සමඟ 72000ක ජනතාවක් අවතැන් වූයේ අගමැතිවරයාගේ විවේකයට බාධා කරමිනි.  වහාම ක්‍රියාත්මක වූ ඔහු ආපදා කළමනාකරණ ඇමති මද්දුමබණ්ඩාර ඇතුළු අදාල සියළු මැති ඇමතිවරුන්ට හා දිසා ලේකම්වරු ප්‍රමුඛ නිළධාරීන්ට ඇමතුම් දෙමින් වහා ක්‍රියාකාරී වියයුතු අන්දම ගැන උපදෙස් රැසක්ද ලබාදුන්නේය. රංජිත් මද්දුමබණ්ඩාර වජිර අබේවර්ධන ඇතුළු මැති ඇමතිවරු අදාල පළාත් වලට වහාම පිටත්කොට යැවූ අගමැතිවරයා අත්‍යවශ්‍ය ආහාර ඖෂධ සනීපාරක්ෂක උපකරණ ඇතුළු සියළු දේ පිළිබඳව පෞද්ගලිකවම සොයාබැලීය. පාසැල් සිසුන්ගේ පාසැල් පොත්පත් ඇදුම් හා සපත්තු ආදිය පිළිබඳව විශේෂ අවධානයෙන් ක්‍රියා කරන ලෙස ඇමති අකිල ඇතුළු නිළධාරීන්ටද උපදෙස් ලබාදුන්නේය.

“මම සිකුරාදා ඒ පළාත්වල ගිහින් ඉතිරි අඩුපාඩුකම් සපයනවා.” අගමැතිවරයා එසේ කීවේ බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරට පැමිණි මැතිඇමතිවරුන් හමුවේය.

“දැන් කැබිනට් ඇමතිකම් ගණන කීයද? මුස්ලිම් කොන්ග්‍රසයත් එක්ක ගිවිසුම් ගහලා 30 පන්නන්න බැරිද?” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.

“අපි නීතිපතිගෙ උපදෙස් ඉල්ලුවා. නීතියට අනුවයි වැඩකරන්නෙ. නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිකම් හුඟක් දීල ඉවරයි, ඊත් තව කීපයක් තියනවා” අගමැතිවරයා කීවේය.

“දැන් මේ ජනාධිපති ඉක්මන් ජනපතිවරණයක් කැඳවන්න හදනවා කියල ආරංචියි. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකය වෙන්නත් එතුමා සූදානම් කියන්නෙ ඇත්තද?” චමින්ද විජේසිරි විමසීය.

“මම දන්නෙ නෑ. ජනාධිපතිට ඕනනම් ජනවාරි අටෙන් පස්සෙ ව්‍යවස්ථානුකූලව ජනපතිවරණයක් කැදවන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඕනම ඡන්දෙකට අපි සූදානම්” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

“හොර අගමැතිකමේ දිවුරුම් දීපු ගමන් මහින්ද මහත්තයා ඇතුලු නඩය චන්ඩි වගේ රට ඉදිරියේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන දැන් විලිලැජ්ජ නැතුව සාමාජිකත්වය ගත්තේ නැතිලු. ජනාධිපතිතුමා හා ශ්‍රීලනිපයට කොන්දක් තියේනම් ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් ඔය හැමෝගෙම මන්ත්‍රීධූර අහෝසිකරන්න පුළුවන්. ඒත් අපි එහෙම කරන්නෙ නෑ කියල එජනිස මහලේකම් අමරවීර ප්‍රසිද්ධියේම කිව්වා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.

“අමරවීර කතානායකට මහින්දගෙ නඩය එජනිසයේ බව ලියුම් යවලලු. ඒ ලිපිය වලංගුද කියල දැන් ලොකු ප්‍රශ්නයක් තියනවා. මොකද ඔය හොර ලිපිය එව්වෙ ගැටලුව මතුවෙලා මහින්දලා බෙල්ලටම හිරවුණාට පස්සෙයි. ඒ අය 50කට වැඩි මන්ත්‍රීවරු පිරිසක් පොහොට්ටුවේ සභාපති හා ලේකම් ලඟ තියාගෙන සාමාජිකත්වය ගන්න හැටි ජනමාධ්‍ය වලින් රටම දැක්කා. ජනමාධ්‍ය වලට දීපු ප්‍රකාශත් තිබෙනවා. සාමාජිකපත් රටට ප්‍රදර්ශනය කරන අයුරුත් ජනමාධ්‍ය වල පලවුණා. දැන් හන්දි ගානෙ නෑ නෑ කියල හරියන්නෙ නෑ. මේගැන සොයන්න පත්කරපු තේරීම්කාරක සභාව අවසන් තීන්දුව ගනීවි” ලක්ෂ්මන් කිරිඇල්ල විග්‍රහ කළේය.

“මේ අවුරුද්ද කොහොමත් ජනතවට උපරිම සහන දිය යුතු කාලයක්. ඒවා ඡන්ද බලාගෙන කරන දේවල් වලට වඩා එහාට ගිය දෙයක් වීම අවශ්‍යයි. අදහාගන්නත් බැරි සහන ලබාදීම අපේ අරමුණ වෙන්න ඕනෑ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“දින 52ක් පුරා රටේ ආර්ථිකය වැටුනා. මම ඒ හානිය ගැන වාර්තා කැඳවලා තියනවා. එක එක ඇමතිලා තැන් තැන් වල කියන ඒවට වඩා සමස්ථ අඩුපාඩු හා ඉදිරිය දැකලයි තීන්දු ගන්න වෙන්නෙ. මොකද මේක “රී-බෝන්” (යලි ඉපදුනු) ආණ්ඩුවක් නිසා වැඩි ජවයකින් සියල්ල කරන්න වෙනවා.” අගමැතිවරයා විග්‍රහ කළේය.

“ඒක හරි මේක එක එක ඇමතිලා ජනතාව ඉදිරියේ කරන වෙන්දේසියක් නෙවෙයි, මේක සමස්ථ ආණ්ඩුවේම වැඩක් බව රටට දැනෙන්න ඕන” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ව්‍යවස්ථාවට විරුද්ධව මහින්ද නඩය අච්චර කුමන්ත්‍රණයක් කරලත් මේ රටේ කළු මාධ්‍ය ගත්තේ ඒ පැත්තයි. ඔවුන්ගේ සැබෑ නිරුවත රටට එළි කරන්න අගමැතිතුමා තීන්දු කිරීම ඉතා වටිනවා. කට්ටිය බයවෙලා ජනමාධ්‍ය මර්ධනයකට ආණ්ඩුව සැරසෙනවා කියලා දැන් මඩ ගහන්නත් එනවා” ගයන්ත කරුණාතිලක කීවේය.

“මහින්දගේ කාලෙ වගේ අපි මාධ්‍ය ආයතන ගිනි තියන්න උස්සන්නෙ මරන්නෙ නෑ. මාධ්‍ය නිදහස අපි දීල තියන නිසා ජනතාවට සමබර ප්‍රචාරණයක් ලබාදීම අත්‍යවශ්‍යයි. ඒක මාධ්‍ය මර්ධනයක් නෙවෙයි. ඔවුන් සමබර වෙනතුරු අපි මේ සටන ගෙනියනවා. ඔවුන්ගෙ නොයෙක් සෙල්ලම් අපිට කණගාටුවෙන් වුණත් අපිට එළිකරන්නත් වේවි” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කලේය.

“ශ්‍රීලනිප ආසන සංවිධායකයන්ගෙ රැස්ව්මෙදි පක්ෂය පොහොට්ටුවට පාවදුන්නා කියල ලොකු කලබලයක් ඇතිවෙලා. කලබලය පටන්ගන්නකොටම ජනපති මාරුවෙලා ගිහින්ලු. එස්බී තමයි බෙල්ල තියලා තියෙන්නෙ. සංවිධායකවරු ඔහුට විරුද්ධව දැඩි විරෝධය පළකරද්දි ඒක බේරන්න ආපු ශ්‍රීලනිප ලේකම්ටත් කට්ටිය ගුටිබැට දෙන තත්වයටත් ගිහිල්ල කියල ආරංචියි” චමින්ද විජේසිරි කීවේය.

“අර නාමල් කුමාරද කවුද රට ගිනි තියපු බොරුකාරයගෙ හඬපට හොංකොං වලදි පරීක්ෂා කළාම මේක ගොතපු නාට්‍යක් බව තහවුරු වෙලා කියලා සී.අයි.ඩී එකේ ඉහල නිලධාරියෙක් මට කිව්වා. වහාම මේ මිනිහ අත්අඩංගුවට ගන්න ඕන” හේෂා විතානගේ කී දේ සියලුදෙනා අනුමත කළහ.

“අතුරු සම්මත ගිණුමේ ඡන්දෙට සියලුදෙනා එන්න ඕන. එජාප මහලේකම් හා ඇමතිවරු දහයකට වඩා ආවෙ නෑ. අමාරුවෙන් ගොඩගත්ත ආණ්ඩුව එක්ක එක එක්කෙනාට ඕන විදිට පණ්ඩිතයො වගේ විනාශකරන්න දෙන්න බෑ. නිදහස කරුණු අහල දැඩි පියවර ගන්න වෙනවා” අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙනි.

“අර මහින්දට කඩේ යන දොස්තර සංගමය දින 52ක් හැංගිල ඉදලා මහින්ද වැටුනට පස්සෙ එළියට ඇවිල්ලා සෞඛ්‍ය ඇමතිවරු පත්කරන හැටි අපේ ආණ්ඩුව වැඩකළයුතු අන්දම ගැන පණ්ඩිතකම් කියනවා. දින 52ක් ප්‍රජාතන්ත්‍රවාදය වලලපු හැටි හා ඒ කාලෙ තිබුණු බෙහෙත් හිඟය ගැනවත් කිසි දෙයක් කතාකලේ නෑ. දොස්තරලාත් බලකෑදර දේශපාලනය අනුව ස්ට්‍රයික් කරන්න ආවොත් ඔයපාර ජනතාව සමාව දෙන එකක් නෑ.” දයා ගමගේ කී දේ අගමැති ඇතුළු සියලුදෙනා අනුමත කළහ.

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *