ලෝකය ඉස්සරහට ගියා. ජාතිවාදය හා ආගම්වාදය නිසා අපි ආපස්සට ගියා – පූජ්‍ය දඹර අමිල හිමි

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඒ කරපු කුමන්ත්‍රණය පරාජය කළාට පස‍්සෙ දැන් ඊයේ පෙරේදා ඉඳල අලුත් ප්‍රවනතාවයක් එනව රටට හතුරු විදිහට. ඒක අලුත්ම එකක් නෙමේ පරණ එකක්. ඒක නැවත මතුකරමින් ඉස්සරහට බලය ලබාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සිටින බවක් පේනවා. ඒ තමයි ඒ තමයි ජාතිවාදය පදනම් කරගෙන ඉස්සරහට එන්න හදන ආකාරය. නමුත්  ලංකාව ජාතිවාදයෙන් රවටල, ජාතිවාදය ඉස්සරහට අරගෙන ආගම්වාදය ඉස්සරහට අරගෙන යම් යම් කණ්ඩායම්වල බල අරමුණු ඉටුකරගන්න පුළුවන් රටක් නෙමෙයි.

විශේෂයෙන්ම අපේ රට සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ ඉස්ලාම් කතොලික හින්දු ඒ විවිධ ජාතිකත්වයන් හා ආගමිකත්වයන් එක්ක ඉතාමත්ම සහෝදරත්වයෙන් සහ සහන ශීලිත්වයෙන් ඓතිහාසිකවම ජීවත් වුණු රටක්. බුදුන් වහන්සේත් දේශනා කරලා තිබෙන්නෙ, ඒ බුදුන් වහන්සේ දේශනාවන්ට අනුව සකස් වුණු රටක් හැටියට තමයි ශ්‍රී ලංකාව බොහෝ වෙලාවට ගත කරන්නේ. ඒ අනුව උන්වහන්සෙත් දේශනා කරල තිබෙන්නේ, ‘මේ  මගේ ශාසනය බිහිවෙලා සිටින හැටි බලන්න කියල. මගේ ශාසනයට බ්‍රාහ්මණ කුලය නියෝජනය කරන අයත් ආවා. සත්‍රිය කුලය නියෝජනය කරන අයත් ආවා. වෛශ්‍ය හා ශුත්‍ර කුල නියෝජනය කරන අයත් ආවා. සියලු දෙනා පැවිදි වුණේ සියලු ම දෙනා මහණ වුණේ මහා සංඝ කියන නමින්. පොදු නාමයකින් හඳුන්වනවා.’  ඒක කොයිවගේද කියල හරියට තේරුණේ නැති වුණාම බුදු හාමුදු‍රුවො උපමාවක් මගින් කියනව, ඉන්දියාවේ තියෙනව චරපු, ගංගා, යමුනා, අචිරවතී කියල ගංගාවන් ගොඩක්. ‘ලංකාවේ මහවැලි කැලණි කළු වලවේ තියනව වගේ.’ ඒ ගංගාවන් වෙනම වෙනම ගලන්නෙ හිමාල අඩවියේ ඉඳල. ‘සමනල කන‍්දෙන් පටන් ගන්නව වගේ අර කියපු ගංගාවල්.’ හිමාලයෙන් පටන් ගත්ත ගංගාවල් ගලාගෙන ගලාගෙන ඇවිල්ලා මුහුදට වැටුණම ඒවා ඔක්කොම තනි ලුණු රස ගන්වනව. ඒ වගේම සම්පූර්ණයෙන්ම එකක් වශයෙන් හඳුන්වන්නේ මහා සාගරය නමින්, කියල. ඒ වගේම මගේ ශාසනයටත් විවිධ කුල වලින් ආව අය ‍ඔක්කොම මහා සංඝ නමින් හඳුන්වනව කියල, උපමාවක් මගින් පහදල දුන්න. අපිටත් කිව්වේ ඒ විදිහට ඉන්න කියල.

අපේ රටේත් සිංහල, දෙමළ, කතෝලික, ඉස්ලාම්, ආගමික හා ජාතිකත්වයන් ඉන්නව. ඒ ඔක්කෝම එකතු උණාට පස්සේ ඒ හැමෝම ශ්‍රී ලාංකික කියන නාමයෙන් හඳුන්වන්වනව කියල. ඒකට කියන්නේ විවිධත්වය මත ඒකීයත්වය නිර්මාණය කරපු රටක් කියල. එහෙම තමයි සුන්දර රටක් වෙන්නෙ කියල. විවිධත්වය මතයි චමත්කාරය තියෙන්නෙ කියලත් කිව්ව. ලස්සන තියෙන්නෙ එතකොටයි කියලත් කිව්ව. ඒකාකාරිව තිබුණ නම් ඒක ලස්සන නෑ කියල කිව්ව. එහෙම තමයි බහුශෘතවාදි සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක. ඒ මගින් තමයි ආර්ථික දේශපාලනික සාමාජික ස්ථාවරත්වයන්ට අපිට යන්න පුළුවන් කියන එක. මොනම හේතුවකින් හරි අපි බෙදුණොත් වාර්ගික පදනම මත ආගමික පදනම මත හා කුල සාධක මත හා උඩරට පහත රට ආදී වශයෙන් අපි කිසිවෙකුට ජාතික ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වෙන්නෙ නෑ කියල.

ඒ අනුව තමයි අපි වින්දේ අවුරුදු තිහක ශාපලත් යුද්ධයකට මුහුණ දීලා. ඒ ශාපලත් යුද්ධය වාර්ගික පදනම මත ඇවිලෙව්වා. උතුර විසින් දෙමළ ජනයාවත් දකුණ විසින් සිංහල ජනයාවත් ඇවිලෙව්වා. අව්ලෝලා තමන්ගේ බල අරමුණ ඉටුකර ගැනීම සඳහා උසි ගැන්නුවා. ඒ නිසා අපි ඒකට කියනව ලණුවක් කියල. දිරච්ච ලණුවක්. ඒ දිරච්ච ලණුව උතුරේ අහිංසක දෙමළ ජනතාවත්, දකුණේ අහිංසක සිංහල ජනතාවත් කෑවා. ඒ නිසාම ඒ මත පදනම් වෙලා දිගින් දිගටම අපි බෙදුණු ගමනක ගියා. විරසක හා වෛරී ගමනක යන්න පටන් ගත්තා. අවසානයේ දී ඒකේ ප්‍රථිඵලයක් බවට පත් වුණේ ආර්ථික වශයෙන් වැනසුණු රටක්, ඒ වගේම ජීවිත අහිමිවුණු රටක්, මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම නැති වුණු රටක්. ඉවසීම දයාව කරුණාව මෛත්‍රිය සම්පූර්ණයෙන්ම විනාශ වුණු ජාතික සමගිය නැතිවුණු රටක්. ඒ නිසා ඒකේ ප්‍රතිඵල අපි දැක්කා. ලෝකය ඉස්සරහට ගියා අපි ආපස්සට ගියා. ආසියාව ඉස්සරහට ගියා ශ්‍රී ලංකාව එක තැන පල්වුණා. අද දරිද්‍රතාවය ඇවිල්ලා තියෙනව. ඒක පුද්ගල ආදායම බැහැල තිබෙනව. විදේශ වත්කම් ප්‍රමාණය අඩුවෙලා තියෙනව. ලෝකය ඉදිරියේ මානව හිමිකම් රකින රටක් හැටියට අපිව පිළිගත්තෙ නෑ. ලෝකය ඉදිරියේ මිත්‍රත්වයේ හස්තය අපිට දිගු කලේ නෑ. අපිව කොන් කරන්න කල්පනා කළා. ඒ නිසා අපිට සම්බාධකත් පැනවුණා.

ඒ නිසා අපි ජාතිවාදි පැත්තෙන් ගිහිල්ලා ජාතිවාදි දිරච්ච ලණුව කන්න පටන් ගත්ත හින්දා මේ ඊනියා ඇතැම් පාලකයින්ගෙ උවමනා මත අපි විශාල ව්‍යසනයක් අත්පත් කරගත්ත ජාතියක්. අපි මෙහෙම දුක් විඳින්න උවමනාවක තියන රටක් නෙමෙයි. සකල විධ සම්පත් අපි තුළ තියනව භෞතික වශයෙන් ගත්තාම. ඒ වගේම දියුණු මානව සම්පතක් අපිට තිබෙනව. ඉතිහාසය පැත්තෙන් ගත්තම අපේ ඓතිහාසිකකම ඉතා විශිෂ්ඨයි. කිසිවෙකුට සම කරන්නට බැරි ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන රටක් අපි. ඒ වගේම දෙමළ ජනතාව අරගෙන බැලුවොත් එහෙම අපේ නිදහස් ජාතික සටන් ව්‍යපාරවලදි අපි සමග උරෙන් උර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වැදුණා කිසිම ජාතිවාදී භේදයකින් ‍තොරව. ඒ නිසාම අපිට පුළුවන් වුණා, ලේ බින්ඳුවක්වත් හලන්නෙ නැතුව නිදහස් රාජ්‍යක් අත්පත් කරගැනීමේ හැකියාව අපිට තිබුණා. පෙර දවස ගත්තත්දෙමළ හාමුදුරුවරු තමයි ත්‍රිපිටකයට අදාල අටුවාකරණයෙහි නිරත වුණේ. හාමුදුරුවරුන්ට විශේෂයෙන්ම කියන්නෙ මේ ජාතිවාදයට පණ පොවන පාර්ශව කරු‍වන් වෙනුවෙන් බොහෝ හාමුදුරුවරු සිවුරු දරාගෙන පෙනී ඉන්න හින්දා.

අපේ ශාසන ගත්තොත් ක්‍රි.ව. පස්වන සියවස වෙනකොට බුද්ඝෝෂ හාමුදුරුවො, ධම්මපාල, මහානාම, හාමුදුරුවො වගේ හාමුදුරු‍වරු අටුවාකරණයෙහි නිරත වෙච්ච අය. ත්‍රිපිටකයකට අටුවා ලියපු හාමුදුරුවරු. ඒ ගොල්ල මහා විහාරයට ඇවිල්ලා එක දිගට නතර වෙලා ලංකාවෙ හාමුදුරුවන්ට කරගන්න බැරිවෙච්ච සිංහල බෞද්ධ හාමුදුරුවරුන්ට කරගන්න බැරිවෙච්ච හරිය මේ දෙමළ බෞද්ධ හාමුදුරුවරු ටික අපිට කරල දුන්නෙ. බුද්ඝෝෂ හාමුදුරුවො, ධම්මපාල, මහානාම, හාමුදුරු. ඒ කියන්නේ තුන්වන බුදුන්ගේ ව්‍යාපෘතිය. පළවෙනි කෙනා බුදු හාමුදුරුවො, දෙවැන්නා මිහිදු හාමුදුරුවෝ, තුන බුද්ධඝෝෂ හාමුදුරුවො.උන්වහන්සෙ ඇවිල්ලා තමයි ශාසනය ස්ථාපිත කළේ හරියට. එතකොට හාමුදුරුවරු දැනගන්න ඕනැ. සිංහල බෞද්ධ කියල ආගමක් ලෝකෙ කොහෙවත් නෑ. බෞද්ධ කියන එක සිංහලයට පමණක් අත්පත් කරගන්න පුළුවන් එකක් නෙමේ. බෞද්ධාගම සියලු මානවයාට පොදුවේ තියන දහමක්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *