|

අවුලේ අක්මුල් – නිශාන්ත කමලදාස

රටේ අවුලක් ඇති බව පිළි නොගන්නා කෙනෙක් නැත. එහෙත් ඒ අවුල තිබෙන්නේ කොහි ද යන්න ගැන ඇත්තේ ලිහා ගන්නට අමාරු අවුලකි.

ඇතැම් අයට අනුව අවුල තියෙන්නේ දේශපාලනඥයන්ගේ ය. ඔවුන් බොහෝ දෙනෙක් හොරුන් ය. වංචාකාරයන් ය. මැරයන් ය. ස්ත්‍රී දූෂකයන් ය. කුඩු කාරයන් ය. කසිප්පු කාරයන් ය. මේ කතා කිසිවක් බැහැර කළ නොහැකි ය. බොහෝ දේශපාලනඥයින් මේ කියන කුලකයන්ට අයත් බව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ද පළාත් සභා හා ප්‍රාදේශීය සභා සභාවාරයන් තුළ ද කතා බතාවලින් හා කල්ක්‍රියාවලින් පෙන්වා දි ඇත. තමන්ගේ අමාත්‍යංශ තුළ හැසිරිමෙන් ද දේශපාලන වේදිකාවල මෙන් ම ඉන් බාහිරව කරන ක්‍රියාකාරකම්වලින් ද තවදුරටත් තහවුරු කර ඇත. ඇතැමුන්ගේ මුළු ජිවිතයම ඊට සාක්කි සපයන්නේ ය.

ඒ කරුණු ගෙන හැර දක්වමින් ඇතැමුන් කියන්නේ අවුල ලිහන්නට උගතුන් පත් කරගත යුතු බව ය. තමන් ද ඊට සුදුසු බව කියමින් උගතුන්ගේ සංවිධානයක් ද මේ වනවිට බිහි වී තිබේ. ඒ නැතත් මුහුණු පොතේ ඇතැම් සටහන්වලින් ද පෙනෙන්නේ උගතුන් තෝරා යැවීමෙන් ප්‍රශ්නය විසඳා ගත හැකි බවට සැලකිය යුතු ජන මතයක් තිබෙන බව ය. අඩුම වශයෙන් උගතුන් තුළ හෝ එවැනි මතයක් තිබෙන බව ය.

එහෙත් අපේ අත්දැකීම් කියන්නේ අප යැවූ උගතුන් ද උගත්කමට ද නින්දා දෙමින් හැසිරී ඇති බව ය. හැසිරෙන බව ය. ඒ බව දකින්නට වැඩි ඈතකට යන්නට ඕනෑ නැත. පාර්ලිමේන්තුවේ පහුගිය දිනක අප දුටු හැසිරීමේ දී පෙන්නුම් කෙරුණේ උගත්කම හා ජඩකම එකට තිබිය හැකි බව ය. වෛද්‍ය නිලධාරී සංගමයේ ඇතැම් නිලධාරීන් වෛද්‍ය සභාවේ ඊයේ පෙරේදා පෙන්නුම් කළ හැසිරිමෙන් ද පෙන්වන්නේ ඊනියා උගතුන් ද මැරයන් හා චණ්ඩින් විය හැකි බව ය.

අනෙත් පැත්තෙන් ජනතාවගේ හැම පාර්ශ්වයක්ම නියෝජනය විය යුතු පාර්ලිමේන්තුවට උගතුන් පමණක් පත් කළ යුතු යැයි අපට කිව හැකි ද? ඒ නිසා මේ කතාවේ යම් ඇත්තක් තිබුණ ද එය නීති රීති ගෙන ඒමෙන් විසඳීම යුක්ති යුක්ත නොවන්නේ ය. තමන් කැමති කෙනකු පත් කිරීමේ අයිතිය ජනයාට හිමි විය යුතු ය. කාලයට කලින් ද ජනයාගේ කැමැත්ත ලබා ගැනීම වරදක් නැතැයි පසුගිය දිනවල හඩ නැගුවේ ඒ වටිනාකමට ඇති පොදු පිළිගැනීම නිසා විය යුතු ය.

මැරයන් හා චණ්ඩින් ප්‍රතික්ෂේප කළ යුත්තේ ජනතාව ය. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ අයට නීතිමය වාරණයක් දැමිය හැකි නමුත් එසේ තහවුරු නොවූ අය සම්බන්ධයෙන් නීතියෙන් පිළිසරණ පැතිය නොහැකි ය.

ඒ සියල්ලෙන් පෙනී යන්නේ අවුල ඇත්තේ දේශපාලනඥයන් තුළ ම පමණක් නොව ඊට ඔබ්බෙන් බව ය.

ක්‍රමයේ වැරැද්ද

සමහරුනට අනුව වැරැද්ද ඇත්තේ ක්‍රමයේ ය. දේශපාලන ක්‍රමයේ ය. ව්‍යවස්ථාවේ ය. දේශපාලන ආයතන ව්‍යුහයේ ය. මේ අනුව මැරයන් චණ්ඩින්ට හා හොරකමේ යන්නවුන්ට මිස වෙනත් කෙනකුට මේ ජරාජීර්ණය වූ ක්‍රමය තුළ දේශපාලනයේ යෙදෙන්නට ඉඩක් නැත.

මැතිවරණ ව්‍යාපාරය යනු මීඩියා කැම්පේන් එකකි. ඒවා තුළ ප්‍රකාශ වන්නේ ඇත්ත නොවේ. විකෘති කරන ලද කරුණු බොරු අවලාද ය. එය අරක්කු බත් පැකට් දී මිනිස් බලය පෙන්වා මිනිසුන්ගේ සිත් වශී කර ගන්නා මිඩියා කැම්පේන් එකකි. පසුව නිලතල දෙන පොරොන්දුව හෝ අපේක්ෂාව යොදා ගෙන ජනප්‍රිය චරිත දිනාගෙන උන් රඟන අපූරු නාටකයක් ගොඩනැගීමකි.

දෙවනුව, මැතිවරණ ව්‍යාපාරය යනු ඡන්ද මිලදී ගැනීමේ ව්‍යාපෘතියකි. ඒ සඳහා විවිධ දේ යොදා ගැනේ. රැකියා පොරොන්දු, වැලි පර්මිට්, කොන්ත්‍රාත් පොරොන්දු ද ඒ අතර තිබේ. සිල් රෙදි, බිත්ති ඔරලෝසු, බයිසිකල් වැනි අහිංසක හා සිල්ලර ද්‍රව්‍යය ද ඒ අතර තිබේ.

තෙවනුව, මැතිවරණ ව්‍යාපාරය යනු බලය ප්‍රදර්ශනය කර ඡන්ද කොල්ලයක නිරත වීමකි. ප්‍රතිපාක්ෂිකයාට ලැබෙතැයි සිතන ඡන්ද හිර කිරීම ද හොර ඡන්ද දැමීම ද ඊට ඇතුළත් ය. අවශ්‍ය වන්නේ ගහල මරල හරි බලය ගැනීම ය. එය අනුමත කරන වහල් පාක්ෂිකයන්ගෙන් අනුගාමිකයන්ගෙන් මේ රටේ පක්ෂවලට අඩුවක් නැත.

මේවා අවම කිරීම අරමුණු කරගත් නීති තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ දේශපාලන බලය නැති පාර්ශ්වයන්ට එරෙහි ව පමණකි.

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ තත්වය මැඩලීමට අවශ්‍ය ආයතන ක්‍රමවේද හඳුන්වා දී ඇති බව ඇත්ත ය. ස්වාධීන කොමිසම් හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට කැප වෙන නිලධාරීන්ට කිසියම් ස්වාධීනත්වයක් ලබා දී ඇති බව ඇත්ත ය. එම පසුබිම උදව් කරගෙන කිසියම් ස්වාධීනත්වයක් පෙන්නුම් කරමින් ඇතැම් නිලධාරීන් වැඩ කරන්නට යොමු වී ඇති බව ද ඇත්ත ය. එහෙත් ඒ බහුතරය නොවේ සුළුතරය ය. ඇතැම් අය තමන් අයිති කඳවුර වෙනුවෙන් තමන්ගේ රාජකාරිය නමන්නට බලා සිටිති. තව සමහරු අහක යන නයි රෙද්ද අස්සේ දමා ගන්නේ කුමට දැයි සිතමින් අවම රාජකාරියේ යෙදෙති.

එසේ මග හැරීමට සාධාරණ හේතු ද තිබේ. ඔවුන්ට දැරීමට ඇති අවදානම එහෙම පිටින් ම පහ වී නැති වීම එකකි. නීතියෙන් අවසර නැතත් දේශපාලන මැදිහත් වීම් අදටත් සිදු වෙමින් තිබේ.

ක්‍රමය සර්ව සම්පූර්ණ නැත. එහෙත් පවතින ක්‍රමය පවා ක්‍රියාත්මක නොවන්නේ ක්‍රියාත්මක කරන්නට ඉන්නා මිනිසුන්ගේ අඩුපාඩු නිසා ය. ඒ කියන්නේ අවුල ඇත්තේ ක්‍රමයට ඔබ්බෙන් බව ය. ක්‍රමය සම්පූර්ණ කළේ වුව ද රෝගය මුළුමණින් සුව නොවිය හැකි බව ය. ඒ කෙළවරක නිලධාරි වෙසින් ජනතාව ද නැවතත් සිටින බව ය.

ක්‍රමය සම්පූර්ණ කිරීම

දේශපාලන ක්‍රමය සම්පූර්ණ කිරීම සඳහා තවදුරටත් ගත යුතු ක්‍රියාමාර්ග තිබේ නම් ඒවා ද සොයා බැලිය යුතු ය. ගත හැකි පියවර රාශියක් අතර පහත සඳහන් පියවර ද තිබේ.

l පක්ෂයකට හා අපේක්ෂකයකුට මැතිවරණයක් සඳහා කළ හැකි වියදම්වලට සීමාවක් දැමීම හා එසේ කරන ලද වියදම්වල විස්තරයක් හා ඒ සඳහා ලබා ගත් ආධාරවල විස්තරයක් මැතිවරණ දෙපාර්තමේන්තුවට මැතිවරණය අවසන් වී මාසයක් ඇතුළත ඉදිරිපත් කිරීම.

l මැතිවරණ රැස්වීම් සඳහා සෙනග ගෙන ඒම උදෙසා ලංගම හා වෙන්කරන ලද පෞද්ගලික බස් යොදා ගැනීම නීති විරෝධී කිරීම.

l කිසිම කරුණක් සඳහා දේශපාලනඥයින්ගේ රුව සහිත කට්වුට් ප්‍රදර්ශනය මුළුමණින් තහනම් කිරීම.

l මුල්ගල් තැබීමේ චාරිත්‍රය අවසන් කිරීම.

l විවෘත කිරීමේ සමරු ඵලකවල දේශපාලනඥයාගේ නම් සඳහන් නොකිරිම සහ ඒවා මහජන මුදලින් ඉදිකරන ලද බව සඳහන් කිරීම.

l අතිශය විශේෂ කාරණක දී මිසක වාර අවසානය වන තෙක් දේශපාලන ආයතනයක් විසිරවීමට ඇති ඉඩ අහෝසි කිරීම සහ කිසියම් ව්‍යවස්ථාපිත කරුණක් නිසා කලින් අවසන් කරන ලද්දේ නම් මිසක සෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා ම නිශ්චිත කැලැන්ඩර් දිනයක් වෙන් කිරීම.

l සිල් රෙදි, ඔරලෝසු, වියළි ආහාර වැනි ද්‍රව්‍ය ආණ්ඩුවෙන් බෙදා හැරිම තහනම් කිරීම හා එවැනි ද්‍රව්‍ය යම් ඉලක්ක කණ්ඩායමක් වෙත ආණ්ඩුවේ වියදමින් බෙදා දෙන්නේ නම් දේශපාලනඥයන් හරහා නැති ව රාජ්‍ය යන්ත්‍රණය හරහා බෙදා දීම.

l පත්වීම් දීම තැපෑලෙන් යවන ලියුමකින් සිදු කිරීම.

ඉහත දැක්වුයේ ක්‍රමයේ වෙනසක් කිරීමේ දී සැලකිය හැකි, මගේ මනසට වැඩි ආයාසයකින් තොරව පැමිණි, අතිශය සීමිත සිල්ලර කරුණු කිහිපයක් පමණි. තව බොහෝ දෑ මිට එකතු කළ හැකි ය. මීට වඩා වැදගත් කරුණු එක් කළ හැකි ය. එහෙත් ප්‍රධාන දේ වන්නේ මේ එක ද ප්‍රතිසංස්කරණයකදීවත් ඒවා එසේ වන බවට වගබලා ගන්නට ඉදිරිපත් වන නිර්භීත නිලධාරීන් නැතිව ක්‍රියාත්මක නොකළ හැකි බව ය.

නිලධාරීන් අප පිටරටින් ගේන්නේ නැත. ඒ ද මේ රටේ මිනිසුන් ය. නැවතත් අප නවතින්නේ අපේ ජනතාව ළඟ ය.

බ්‍රිතාන්‍යයට ලිඛිත ව්‍යවස්ථාවක් නැත. එහෙත් ඒ මිනිසුන්ට ආචාරධර්ම තිබේ. දියුණු සම්ප්‍රදායන් තිබේ. ඒ නිසා ලිඛිත ව්‍යවස්ථාවක් නැතිව ද යම් ක්‍රමයක් ඒ රටේ ක්‍රියාත්මක වේ. අපට ව්‍යවස්ථාවක් තිබේ. එය මේ වනවිට 19 වතාවක් ම කපා කොටා නැවත සකස් කර තිබේ. එහෙත් එය පවා හරිහැටි ක්‍රියාත්මක කරගැනීමේ ලා අප අපොහොසත් ය. තව තවත් දේ මීට ඉදිරියේ දී එක් වනු ඇත. ඒ තව තවත් සම්පූර්ණ කරනු උදෙසා ය. තව කප්පරක් නීති යොදා ක්‍රමය සම්පූර්ණ කරන්නට උත්සාහ ගත්ත ද එය ක්‍රියාත්මක කිරීමට දියුණු මිනිසුන් නැත්නම් ඒ හැම එකකින් ම ඇති විය හැක්කේ අල්ප වෙනසක් පමණ ය.

අපේ සංස්කෘතිය

අවුල ඇත්තේ අපේ මිනිසුන් තුළ යැයි කියන විට එය පැහැදිලි කර ගැනිම සඳහා මෙසේ ප්‍රශ්න කළ හැකි ය. අවුල අපේ මිනිසුන්ගේ ආචාර ධර්මවල ද? අප රට ජනතාව හරි වැරදි යැයි ගන්නා උපකල්පනවල ද? අපේ චාරිත්‍රවාරිත්‍ර ඇදහිලිවල ද? අපේ සිතිවිලි පරම්පරාවේ ද?

අපේ ඉතිහාසය අපට පොරොන්දුවක් දී තිබුණේ අප ගලවා ගැනීමට දියසේන කුමාරයකු එන බව ය. එක් කලෙක අප ඩී එස් දුටුවේ ඒ දියසේන කුමාරයා ලෙස ය. ඊට පසු කලෙක ජාතික ඇඳුම ඇඳගත් බණ්ඩාරනායක මතු වූ විට මේ නම් සැබෑ දියසේන කුමරු යැයි බොහෝ දෙනා සිතුවෝ ය. ඒ දියසේන කුමාරයා බෞද්ධ භික්ෂුවක් විසින් මරා දමනු ලැබිණ. පසුව බණ්ඩාරනායක මැතිනිය තුළින් ද තවත් පසු කලෙක ජේ ආර් ජයවර්ධන ප්‍රේමදාස හා චන්ද්‍රිකා තුළින් ද අප ඔහුගේ සේයාවක්වත් තිබේ දැයි සෙව්වා යැයි මම සිතමි. එහෙත් අප දිගින් දිගටම අපේක්ෂා කළේ පුද්ගලයකු අපගේ ගැලවීම සදනු ඇතැයි යන්න ය. අදටත් අප හොයන්නේ නායකයකු ය. ප්‍රතිපත්තිවලට ප්‍රතිපක්ෂව අපට අවශ්‍ය ලෙයින් මසින් හැදුණු මිනිසකි. අප වගේ මිනිසකි. අපේ මිනිසකි. නිකම් ම නිකම් මිනිසෙක් නොව විශ්වකර්ම කළ හැකි කෙනෙකි.

ඒ සෙවීම තුළ තිබෙන්නේ අපව වගකීමෙන් නිදහස් කර ගැනීමේ අභිලාෂය ය. රට සුරැකීමට හෝ රට දියුණුවට අපට කැපවෙන්නට බැරි ය. කැප වෙන්නට පුළුවන් විරයෙකු ඒ නිසා අපට ඕනෑ කර තිබේ. අපව වගකීමෙන් නිදහස් කර දෙන්නේ නම් ඔහු පුදන්න ද ඔහුට ප්‍රශස්ති ගයන්න ද ඔහු වෙනුවෙන් ජය ගොස නගන්න ද අප ලෑස්ති ය. ඔහු අපට වඩා සැප වින්දාට අපට කමක් නැත. ඔහුගේ පරිහරණයට ඕනෑ තරම් සම්පත් ලබා දෙන්නට අප ලෑස්ති ය. ඔහු හොරකම් කළේ වුව ද අපට කමක් නැත. රට රකී නම් ඒ කියන්නේ අපව රකී නම් ඒ ඇති ය. අප ඉල්ලන්නේ රජෙකි. සැබෑ රජෙකි. අපව රැකිය හැකි රජෙකි.

හරි වැරැද්ද කුමක් දැයි තීරණය කිරීමට නොදරුවන් වන අපට බැරි ය. වෙන කාටවත් බැරි ය. හැකියාව ඇත්තේ ඒ සර්වබලධාරී රජුට පමණි.

රජුගේ වැරදි හමුවේ නැගී සිටීමේ අදීනත්වය පළ කරනු ඇත්තේ කීප දෙනකු පමණ ය. එවැනි අයගේ ඉරණම ශෝචනීයව කෙළවර කිරීම හරහා එවැනි විරෝධයන්ට තිතක් තැබිය හැකි ය. එවන් අයගේ ජීවිත ගුටිකෑමෙන්, හිරේ විලංගුවේ වැටීමෙන්, නොනැවතී මරණයෙන් ද කෙළවර කර දැමිය හැකි ය. ඒ ගැන කඳුළක් පවා හෙළන්නට මීක් කියන්නට ඉදිරිපත් වන අය ද නැති වූ විට කිසිවකු ඉදිරිපත් නොවනු ඇත. රාජද්‍රෝහීන් දේශද්‍රෝහීන් බවට රූපාන්තරණය කර ඔවුන්ට දෙන දඩුවම් සමාජය තුළ සාධාරණීකරණය කළ හැකි ය.

එවන් සමාජයක ජීවත් වන්නට හිත හදාගෙන ඉන්නා අපට මීට වඩා යහපත් හෙටක් උරුම වෙතැයි කිසිවකු සිතන්නේ නම් එය මිරිඟුවක් ය.

රජු විසින් අපට හා රටට ලබා දෙන ආරක්ෂාව වෙනුවෙන්, රජුගේ නොපනත්කම් පමණක් නොව, රජුගේ ගෝලයන්ගේ හා හෙංචයියලාගේ නොපනත්කම් ද අප ඉවසීමට සූදානම් ය.

ඒත් මොක ද? අප රකිනවා නොවැ යන්න මහජන මතය වූ විට එවන් රටකට පිහිට විය හැක්කේ දෙයියන්ට පමණ ය.

සුද්දන් පැන වූ එකිනෙකට ස්වාධීන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන තුන් බල මූලාශ්‍රය අපට දිරවා ගන්නට බැරි එකක්ව ඇත්තේ මේ නිසා ය. ඒ ත්‍රිත්වය තිබෙන්නේ එකක් හෝ වැරදි පාරක යන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉතිරි ආයතනවලට ක්‍රියාත්මක වීමට ය. ඒ හරහා ඇති කළ හැකි ව්‍යසනයකින් රට මුදා ගැනීමට ය. එහෙත් තනි රජ කෙනකුට සියල්ල පවරා දීමට කැමති අපට මේ රජුට එරෙහි වන්නට ඉඩක් ඇති විකල්ප ආයතන ව්‍යුහයක් දරා ගන්නට බැරි ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගත යුතු යැයි නගන උද්ඝෝෂණ පිටුපස තිබෙන්නේ ඒ කතාව ය.

මේ රටේ ජනතාව, විශේෂයෙන් නිලධාරීන්, රජවරුන්ගේ හා දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියාවලියන්ට විරුද්ධව පෞද්ගලිකව ද නැගී සිටිමට ඉටා ගන්නා තෙක් මේ තත්වයේ වෙනසක් ඇති කළ නොහැකි ය.

අපපාති විරෝධතා

පහුගිය දිනක ව්‍යවස්ථා විරෝධි තීරණයට හීලෑ වී සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් පළ කළේ තමන් දියුණු රටක පුරවැසියන් හැටියට කටයුතු කරන්නට තවමත් අපොහොසත් බව ය. රජුගේ කීකරු සේවකයන් බව ය. තමන්, රජු වම්බටු අගුණයි කියන විට එය එසේ බවත්, එය ගුණ බව කියන විට එයත් එසේ බවත්, කියමින් තමන් සේවය කරන්නේ වම්බටුවලට නොව රජුට යැයි කියන, අන්දරේලා බව ය.

රාජන් හූල් හැරුණු විට ව්‍යවස්ථා විරෝධි තිරණයට ගරු නොකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නිලධාරීන් අප දුටුවේ නැත.

එහෙත් ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් වීදී භට කාන්තාවන් ද සම්මාන ප්‍රතික්ෂේප කරමින් විරෝධය පළ කළ කලාකරුවන් කීප දෙනා ද සිවිල් සාමාජය නියෝජනය කරමින් ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ සීමිත පිරිස ද අපට නව රටක් පිළිබඳ අපේක්ෂා දල්වන්නෝ ය. ඒකමතික තීරණයන් තුන් වතාවක දී දෙමින්, සිය අභීතත්වය විදහා පෑ, අධිකරණය ද අපේ බලාපොරොත්තු අලුත් කරන්නේ ය.

වැදගත් වන්නේ දේශපාලන කඳවුරුවලින් එන විරෝධය නොවේ. එසේ එන විරෝධය දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් දක්වන්නකි. අප කලින් කී විරෝධය එවැනි අපේක්ෂාවලින් තොර වූවකි. අපට අවශ්‍ය දේශපාලන බල කඳවුරු ඉක්මවන සක්‍රීය ජනතා සහභාගිත්වයකි.

තමන්ගේ එකාගේ වැරැද්ද ද වැරැද්දක් ලෙස දැකිය හැකි ජනතාවකි. වැරැද්ද කරන්නේ කවුරුන් වුව ද එයට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමට සූදානම් ජනතාවකි.මේ අවුලෙන් අපට ගොඩ ආ හැක්කේ එවැනි සක්‍රීය දැනුවත් ජනතාවක් ගොඩ නැගිමෙනි. තමන්ගේ ඉරණම තමන් වෙත පවරා ගන්නට සූදානම් ජනතාවක් ගොඩ නැගීමෙනි.

එසේ එක් විරයකු ගැන බලාපොරොත්තු තබා ජිවත්වෙන ජනතාවක් වෙනුවට, වීරයන් දස දහස් ගණනින් බිහි කරන ජනතාවක් ගොඩනැගිය හැකි නම්, ඒ දේශය ගොඩ ගැනීමට හෝ රැකීමට, අමතර රජකු අවශ්‍ය නැත. ඒ තුළ තවදුරටත් අවුලක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *