“අපි ආරම්භ කළ සටන දිනලා ඉවරයි, ඒ නිසා ඇමැතිකම් නොලැබුණත් අපිට ගැටලුවක් නෑ” – මනූෂ නානායක්කාර
ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්රජාතන්ත්ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බවත්, මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.
ඔක්තෝම්බර් 26 වැනිදා මේ රටේ කාලකන්නි තත්වයක් ඇති කරමින් ප්රජාතන්ත්ර විරෝධී ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි අගමැතිවරයා ඉවත් කළා. ඉන් පසුව පාර්ලිමේන්තුව කල් තැබුවා. ඊටත් පස්සේ පාර්ලිමේන්තුව විසුරවාහැරියා. මේ අවස්ථාවේදී තමයි මම ප්රජාතන්ත්රවාදයට එල්ලවෙන මරු පහරට එරෙහිව, පළමු නැගීසිටීම, පළමු හැරවුම් ලක්ෂය විදියට එදා මේ ප්රජාතන්ත්ර විරෝධී ගමනට එරෙහිව ඉදිරිපත් වුනා. ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමේ ගමනට මන්ත්‍රීවරු මුදල්, වරප්‍රසාද, වරදාන ලබාදෙමින් අරගන්න අවස්ථාවේදී මම ඒ සියල්ලට එරෙහිව නැගී සිටියා. මට ලැබුණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා එදා මම තීරණයක් ගත්තේ ප්රජාතන්ත්රවාදය දිනවීම සදහාම පමණයි. එදයින් පස්සේ අධිකරණයෙන්, ජනතාවගෙන් හොද ප්‍රතිචාර ලැබුණා. පාර්ලිමේන්තුවේ බහුතරය අපි දිනාගත්තා. ප්රජාතන්ත්රවාදය හා යුක්තිය සදහා වන සටන අපි ජයග්‍රහණය කළා. අපට නැවත වතාවක් ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර පැවති තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් පත් කරගැනීමට හැකියාව ලැබුණා. කැබිනට් මණ්ඩලය නැවත පත් කරගැනීමට හැකියාව ලැබුණා. එතකොට නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන තැනකට අරගෙන එන්න පුලුවන්කම ලැබුණා. මම දැනටමත් දිනලා ඉවරයි. ඇමැතිකම් දාලා ආපු මට තවත් තනතුරුවල අවශ්‍යතාවයක් නෑ. අද අපේ සටන දිනලා තියෙන්නේ. අපි ගෙනාපු සටන, අපි නායකත්වය දීපු සටන අපි ජයගෙන තිබෙන්නේ. ඒ ගැන පුදුම සතුටකින් මම ඉන්නේ. එතැනින් එහාට කිසිම බලාපොරොත්තුවක් මට නෑ. අපේ යුතුකම් අපි ඉටු කරලා ජයග්‍රාහී මානසිකත්වයකින් අපි ඉන්නේ. අපිට අවශ්‍ය වුනේ මේ ජයග්‍රහණයයි. එම ජයග්‍රහණය අපි ලබාගෙන තිබෙනවා. මට පුද්ගලික ජයක් ලබාගැනීමට නෙමෙයි අවශ්‍ය වුනේ. රටට නැවත ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරවීමේ අවශ්‍යතාවය විතරයි අපිට තිබුණේ. ඇමැතිකම් ගැනීටම නෙමෙයි අපිට අවශ්‍ය වුනේ. එහෙම ඇමැතිකම් අරගන්න උවමනාවක් තිබුණා නම් මම එදා ඇමැතිකමක් තියාගෙන ඉන්නවා. ඇමැතිකම් අතහැරලා විපක්ෂයට එන්නේ නෑ. අපේ අනාගත පරපුරට මේ රටේ ප්රජාතන්ත්රවාදය රැකදීමට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හෙට දිනයේදීත් ප්රජාතන්ත්රවාදය වල දැමීමට කවුරුන් හෝ සූදානම් වෙනවා ම් එයට විරුද්ධව මම නැගී සිටිනවා. එයට අවශ්‍ය ශක්තිය තිබෙනවා. අපිට ඒකට ඕන කරන කොන්දක් තියෙනවා.
දැන් විනය පරීක්ෂණ ගැන කතා කරනවා. 2018 ජනවාරි 8 වැනිදාට පෙර මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට ගිහින් ඡන්දය ඉල්ලලා ජනාධිපතිවුනා. ඊට පස්සේ නැවත පක්ෂය ලබාගත්තා. ඔහුට විනය පරීක්ෂණ පැවැත්වුවේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිපු අය ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමම පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන තමන්ගේ ෆේස් බුක් ගිණුම්වල ඒවා දැම්මා. පත්තරවල ගියා. ටී.වී. එකේ ගියා. ඒ අයට විරුද්ධව ගනිපු විනය ක්‍රියාමාර්ගය මොකක්ද? මේ අය තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කියනවා. පොහොට්ටුවට ගිය අයට විරුද්ධව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කරලා නැතිනම් ඇමැතිකම් අතහැරලා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කටයුතු කරපු අයට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන්න බෑ. අපි මේ ආණ්ඩුවේ කොටස්කරුවන්. අපි විතරක් නෙමෙයි ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවේ කොටස්කරුවෙක්. ඔහු දැන් ඇමැතිධූර තුනක් දරාගෙන ඉන්නවා. මේ අය තමන්ට කන්න ඕන වුනාම ගොරකත් දඩමස් කරගන්නවා. මේවා දේශපාලන පක්ෂයකට හරියන්නේ නෑ. මේවා ගමේ කඩපිලේ කියන්න හොදයි. ඒත් මේවා කියමින් රටක් කරන්න බෑ.
දැන් මේ අය මාධ්‍ය සාකච්ඡා පවත්වත්දී පිටිපස්සේ තියෙන පොහොට්ටු ලකුණ කළු පාට රෙද්දක් දාලා වහලා තියෙනවා. මේ විදියට ජනතාව රවට්ටන්නේ කොහොමද? මොකක්ද මේ ලැජ්ජා නැති වැඩේ? මේ අය හැමදාම ජනතාව රවට්ටනවා වගේ තමන්ගේ මන්ත්‍රීකම රැක ගන්න පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ කියලා කියනවා. මේ විදියට බොරු කියන අය දිහා බැලුවම වහල්ලුන්ට අබ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.
ආණ්ඩුවට එන්න තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටිනවා. මේ අය එන එක නවත්තගන්න තමයි තවත් ඇමැතිකම් දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කියන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ තනතුරු වෙනුවෙන් එන අය නෙමෙයි. වරදාන වරප්‍රසාද ගැන බලන්නේ නැතිව රට වෙනුවෙන් හිතන අය අපිත් එක්ක එකතුවේවි. තමන්ගේ හෘදය සාක්ෂියට එකගව, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින අය පුද්ගලිකව තමයි අපිත් සමග එකතුවිය යුතු වන්නේ. තනතුරු අවශ්‍ය නෑ, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එන අයට ආණ්ඩුවේ දොර විවෘත වෙලා තියෙන්නේ.
අපේ සටන අපි දිනලා ඉවරයි. ඒ දිනපු සටන ඇතුලේදී අපිට ඇමැතිකම් නොලැබුණා කියලා කිසිම ගැටලුවක් නෑ. ඇමැතිකමක් ලැබුණොත් භාරගන්නේ නෑ කියන එක එයින් අදහස් වෙන්නේ නෑ. ඒත් අපි ආරම්භ කළ සටන දිනුවා. ඒ ගැන අපි ජයග්‍රාහී මානසිකත්වයකින් ඉන්නේ.
https://www.facebook.com/manusha.nanayakkaara/videos/1183638105126696/