ජනපති වියරුවෙන් , අගමැති සන්සුන්

දින 52 ක් පුරා රට අක්‍රිය කළ ඉතිහාසයේ දැවැන්තම දේශපාලන කුමන්ත්‍රණය සහ ව්‍යවස්ථා අර්බුදය පසුගිය ඉරිදා නිමාවට පත්වූයේ රනිල් වික්‍රමසිංහ යළිත් අගමැතිධුරයේ දිව්රුම් දීමත් සමගය.

ඊට කලින් දින රාත්‍රි‍ෙය් ජනපති සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් සිදුවූ අතර අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට අදාළ ක්‍රියාපටිපාටිය කතාබහ වූයේ එහිදිය. ඒ අනුව තෝරාගත් 18 දෙනෙකු දිවුරුම් දීමේ අවස්ථාවට එක්වූ අතර එජාප ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ නම් ඉන් ඉවත්ව තිබින.

දිවුරුමෙන් අනතුරුව ජනපති සහ එජාප පිරිස් අතර හමුවක්ද පැවැත්විනි. එහිදි ජනපතිවරයා කළ ප්‍රහාරාත්මක දේශනය විශේෂත්වයක් ගත්තේය.

එම කතාව ප්‍රචාරය වීමත් සමග මධ්‍යස්ත බොහෝ මිනිසුන් ඊට දොස් කීමට පටන් ගත් බව පෙනින. අගමැති බිරිද ලගතබා ගෙන රාජතාන්ත්‍රික නොවන අයුරින් ක්‍රියාකිරිම ගැන ද ජාතික සහ ජාත්‍යන්තර වික්ෂිප්තභාවයක් ද පළ විය.

කෙසේ නමුත් අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා ඉතා සෞම්‍ය හා රාජතාන්ත්‍රික මට්ටමේ ගෞරවනීය පිළිතුරක් ජනපතිගේ දේශනය වෙනුවෙන් රටට ඉදිරිපත් කළේය. එම ක්‍රමවේදය කාගේත් පැසසුමට ලක්විය.

සදුදා එජාපෙ ජන රැළියක් ගෝල්පේස් පිටියේදි සංවිධානය වී තිබින. එම රැළිය පැවැති මුළු පිටිය පුරා පමණක් නොව දෙපැත්තේ තිබු මාර්ගවල ද ජනතාව පිරි ඉතිරි ගියහ. කොල්ලුපිටිය ආසන්නයෙන් පටන්ගත් එම ජන ගග අවසන්ව තිබුණේ ලේක් හවුස් වටරවුම ආසන්නයෙනි.

එම ජන රැළියේදි ඊට කලින්දා ජනපති කළ රළු කතාවට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද විශේෂත්වයක් විය. මීට පෙර ගෝල්පේස් පිටිය පිරවූයේ පොහොට්ටුවය. එහෙත් ගෝල්පේස් හෝටලයේ සිට මීටර 200 ක් ජනපති කාර්යාලය දෙසට යොමුවන ලෙස ඔවුන් වේදිකාව ගසා තිබුණද එජපෙ වේදිකාව මීටර 50 ක් පමණක් ඉදිරි පසින් ඉදිකර තිබීම විශේෂත්වයක් විය.

ඉන් අනතුරුව පැන නැගුණු අර්බුදය වූයේ කැබිනට් මණ්ඩලය 30 කට සිමා කොට දිවුරුම් දීමය. එය ජනපතිවරයා සමගත් එජාප අභ්‍යන්තරයේත් යම් අර්බුදකාරි ස්වභාවයක් ගත්තේය. එජාප මැති ඇමතිවරු කිහිපදෙනෙක් තම රුචිකත්වය මත විවිධ අමාත්‍යාංශ ඉල්ලීම සහ රංගේ බණ්ඩාර ඇතුළු අලුත් අය කිහිප දෙනෙකු ඇතුළත් කිරිමට එජාපය තින්දු කිරිම මෙන්ම ශ්‍රිලනිපයෙන් පැමිණි පිරිසට තනතුරු ලබාදීමේ උත්සාහය ද මෙහිදි අවධානයට ලක්විය.

තත්ත්වය ඉතා සමබර ලෙස විසදා ගැනීමට අගමැතිවරයා දැඩි වෙහෙසක් ගත්තේය.

බ්‍රහස්පතින්දා උදෑසන නව කැබිනට් මණ්ඩලය ජනපති ලේකම් කාර්යාලයේදි දිවුරුම් දුන් අතර එය ඉපැරණි සාම්ප්‍රදායිකත්වය තුළ සිදු නොවි එක් එක් ඇමතිවරයා වෙන වෙනම කාමරයකට ගෙන දිවුරුම් දීමද මෙරට දේශපාලන සම්ප්‍රදායට අභියෝග කළ එමෙන්ම කැබිනට් සාමුහිකත්වය උල්ලංඝනය වූ කණගාටුදායක අවස්ථාවක් බවද බොහෝ දෙනෙකුගේ විග්‍රහය විය.

ජනපති ලේකම් කාර්යාලයට ඇතුළ්විමට ඉඩ නොදෙන ලෙස වූ නාමලේඛනයක් ද අදාළ පරිශ්‍රෙය් ප්‍රධාන ගේට්ටුවට ලබාදී තිබිම ද විශේෂත්වයක් වූ අතර එහි තිබු නම්වලින් වැඩිම නම් සංඛ්‍යාවකට හිමිකම් කීවේ ශ්‍රීලනිප සාමාජිකයන්ගේ බවද කියවේ.

දිවුරුම නිමවා අරලියගහ මන්දිරයට පැමිණි අගමැතිවරයා, කැබිනට් ඇමතිවරු හා එහි පැමිණ සිටි සෙසු එජාප සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවකට එක් විය.

“ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ආයතන මෙන්ම නීතිය හා සාමය වගකිම ජනාධිපති තබා ගැනීමට උත්සාහ කිරිම ව්‍යවස්ථාවට අනුකූලද, එතුමාට ලග තියාගන්න පුළුවන් ඇමතිකම් දෙකයි…“ ඇමතිවරු කිහිපදෙනෙක් මුලින්ම ප්‍රශ්න කළේය.

“එජාපයේ ඉදලා කුමන්ත්‍රණකරුවන් ලගට ගිය අයට ඇමතිකම් දීපු ජනාධිපතිතුමා ශ්‍රිලනිපයේ සිට නිත්‍යානුකූල ආන්ඩුවට පැමිණි පිරිසට ඇමතිකම් දෙන්න බැහැ කීම පුදුමයක්… චමින්ද විජේසිරි ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තේය.

“ ඔය සියලු ප්‍රශ්න කතා බහ කරලා බේරගන්න පුළුවන්… අලුත් ක්‍රමවේදවලින් ඕනෙම ප්‍රශ්නෙකට විසදුම් හොයන්න බැරි වෙන්නේ නැහැ.“ අගමැතිවරයා කීවේ ඉතා සැහැල්ලුවෙනි.

“මාස 3 ක අතුරු සම්මත ගිණුම කවදද ගේන්නේ…. හේෂා විතානගේ විමසීය.

“අතුරු සම්මත ගිණුම සිකුරාදා දාලා එදාටම සම්මත කර ගන්නවා. ස්ථාවර නියෝග අත්හිටුවලා හදිසි කටයුත්තක් ලෙස එවැනි දේ කළ හැකියි. මහින්දට විරුද්ධව මුල් විශ්වාසභංග යෝජනා දෙක අපි නිත්‍යානුකූලව සම්මත කළේත් ඒ ක්‍රමයටයි.“ අගමැතිවරයා පැහැදිලි කළේය.

“එජාපෙ නම් කිහිපයක් කැබිනට් මණ්ඩලයෙන් කැපී යාම ප්‍රශ්නයක් නේද…. නවින් දිසානායක විමසීය.

“ෆොන්සේකාට දෙන්න බෑ කිව්වා…. රංගේ බණ්ඩාරට ඉඩ නැහැ කිව්වා…“ ප්‍රජාතන්ත්‍රවාදිව මේවාත් අපට විසද ගන්න බැරි වෙන එකක් නැහැ අගමැතිවරයා පැහැදිලි කළේය.

“හොද ඇමතිකමක් දීලත් රවි එපා කිව්වේ ඇයි…. දයා ගමගේ විමසීය.

“ඔහු මුදල් ඉල්ලුවා…. එතනදි ප්‍රශ්න ආවා…. කොහොම කළත් රවි කැබිනට් එකේ ඉදීම අත්‍යාවශ්‍යයි… ඔහු ප්‍රබලම ඇමතිකමක් ඉක්මණින් ලබා ගනිවි… අගමැතිවරයා කීවේය.

“දැන් අපිට ජනාධිපතිතුමාත් එක්ක එකට යන්න පුළුවන්ද කියලා මිනිස්සු අපෙන් අහනවා…. පුළුවන් කියලා අපි දෙපාර්ශවයම රටට ඔප්පු කරන්න ඕනෑ… ගයන්ත කරුණාතිලකගේ අදහස එය විය.

“හොර අගමැතිකමේ දිවුරුම් දීලා මෛත්‍රිටත් කොකා පෙන්නලා දින දෙකකින් පොහොට්ටුවේ සාමාජිකත්වය මහින්දයි තව මන්ත්‍රීවරු 50 කට අධික පිරිසකුයි ලබා ගත්තා…. ඊට අදාළ සාක්ෂි ඕනෑ තරම් තියෙනවා…. ඒ නිසා දැන් අගමැතිකම හෝ විපක්ෂ නායකකම විතරක් නොවෙයි, මහින්දටයි නඩයටයි මන්ත්‍රීකමුත් ෂුවර් නෑ….. එහෙම කරන්න ශ්‍රිලනිප හා එජනිස නායකයන්ට කොන්දක් තියෙනවා ද කියලායි දැන් රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ….“ ලක්ෂ්මන් කිරිඇල්ල කී විට සියලු දෙනාම උස් හඩින් සිනාසෙන්නට විය.

“දැන් මහින්දටයි මෛත්‍රිටයි කොච්චර දුර එකට යන්න පුළුවන් වේවිද…. චමින්ද විජේසිරි විමසීය.

“මෛත්‍රිට කොකා පෙන්නලා පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙනත් දැන් ගත්තේ නෑ කියලා රටට බොරු කියනවා… මේ මිනිස්සු එක්ක කොහොම විශ්වාසය තියලා ජනාධිපතිතුමා වැඩකරාවි ද කියලා තේරෙන්නේ නැහැ…. එජාපය එතුමා දිනවලා ජනපති කරලා සියලු ගෞරව දීලා සහජිවනයෙන් ඉදිරියට ගිය හැටි කොච්චර වටිනවද කියලා ජනාධිපතිතුමාට මහින්ද හා නඩයත් එක්ක ටික දවසක් වැඩ කරගෙන යනකොට තේරේවි….“ දයා ගමගේ කීවේය.

“අගමැතිවරු දෙන්නෙක් හිටපු මේ රටට දැන් විපක්ෂ නායකවරුත් දෙන්නෙක් ඉන්නවා…. කතානායකට ගහන්න හදලා, කුණු හරුපෙන් බැනලා, වතුරු වක් කරලා, පුටුව පෙරළලා, මිරිස් කුඩු ගහලා, මයික් ඇතුළු තාක්ෂණික උපකරණ කඩලා, ‘කරූ – මයා‘ පහත්විදියට මඩ ගහලා, අපහස කරපු දිනේෂ් ගුණවර්ධනලා ඇතුළු පොහොට්ටු කාරයෝ දැන් කියනවා පාර්ලිමේන්තුව ඇතුළෙදි කතානායකගේ තීන්දුව අවසන් තීන්දුවයි කියලා…. නවීන් දිසානායක කීවේ කාගේත් සිනා මැදය.

ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් අනුව හමුදාවල සිය ගණනක් බලෙන් වගේ විශ්‍රාම ගන්වන්න හදනවා… එකෙන් රණවිරුවන්ට විශාල කෙනෙහිලි කමක් වෙනවා. ඒ වරද එජාපෙ ආණ්ඩුවේ එකවුන්ට එකට දාන්නයි මේ ගොල්ලන්ගේ සැලසුම වෙලා ඇත්තේ…. රණවිරුවන් රැක ගැනීමට අපි  දැඩි බරක් දාන්න ඕනේ.. “ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කී විට අගමැතිවරයා ඊට දැඩි අවධානය දැක්වූවේ නළල රැළි ගන්වමිනි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *