තේරුණේ දැන් තමයි

පිං ඇමතිකම් නැතිවී කොට්ට පැදුරුත් කිහිල්ලේ ගහගෙන කාල්ටන් ගෙදරට ගොඩ වූ විගස සාටක රජාගෙන් ‘ඩලස් බලස් ඔයා ගැන බොරු දෙසා බාන්නේ පිං අගමැතිකම ඔයාට නැතිවුණු නිසා ද? එහෙමත් නැත්නම් ඔයාගේ පිං ආණ්ඩුවේ පිං ඇමැතිකමක් ඩලස් බලස්ට දුන්නේ නැති නිසාද?’ කියා සාටක බිරිය ඇසුවාය.

‘ඔයා කියන්නේ ඩලස් බලස් ගේ කොයි බොරුව ගැන ද?’ කියා සාටක රජා ඇසු විට බිරිය කීවේ, ‘ඔයාගේ පිං අගමැතිකම ගහලයාම ගැන ඩලස් බලස් කියූ කෙප්පය ගැන’ කියාය.

‘මට එහෙම කෙප්පයක් ගැන ආරංචියක් නැහැ’ කියා එවිට සාටක රජා කීවේය.

‘ඇයි අනේ ඔයා ඒකවත් දන්නෙ නැද්ද? අගමැතිකම දන් දුන්නු එකම නායකයා සාටක රජා කියල ඩලස් බලස්  කිව්ව කියල දැන් රූපවාහිනී චැනල් එකක් පෙන්නුවා’ කියා බිරිය කීවාය.

‘ඉතිං ඒ කතාවේ තියන වැරැද්ද මොකක්ද?’ කියා සාටක රජා ඇසූ විට බිරිය කීවේ ‘කතාවේ වැරදි එකක් නෙමේ දෙකක්ම තියනවා’ කියාය.

‘වැරදි මොනවද කියල පෙන්නල දෙන්න’ කියා සාටක රජා කී විට බිරිය ඩලස් බලස් ගේ වැරදි එකින් එක පෙන්නා දෙන්නට පටන් ගත්තාය. ඒ මෙසේය,

‘පළමු වෙනි වැරැද්ද තමයි පිං අගමැතිකමක් ගත්ත ලෝකේ පළමුවැනි නායකයා සාටක රජා බව ඩලස් බලස් හිතාමතාම අමතක කිරීම. දෙවැනි කාරණය අගමැතිකම දන් දෙන්නට කලින් ඔයා ජනාධිපතිකමත් දන් දුන්නා කියල ඩලස් බලස්ට අමතක වීම’

එවිට සාටක රජා බිරියගේ කතාවට මැදිහත් වූයේ ‘ඔයාට විකාරද? මම කවද ද ජනාධිපතිකමක් දන් දුන්නෙ? උතුරේ ගොරවපු කොටි මල්ලිලාටත් සම්තින් එකක් දීලා බොහොම අමාරුවෙන් ජනාධිපතිකම පොකට්ටුවේ දාගත්ත විතරයි’ කියමිනි.

‘අනේ යන්න මෙයා, ඔයා නැකත් සුමනෙගේ ලණුව කාල අවුරුදු දෙකකට කලින් සිරිසේනට ජනාධිපතිකම දන්දුන්න කියල රටත් ලෝකෙත් දන්නවා’ කියා බිරිය කීවාය.

‘ඇත්ත නේන්නම් ඔය යකා ආප්පත් කාලා ගිහින් මට කෙළවපු කෙළවිල්ල තාමත් ගොඩදාගන්න බැරි වුණා’ කියා එවිට සාටක රජා කීවේය.

‘අනික සුදෝ, ඩලස් බලස් තවත් වැදගත් කාරණාවක් අමතක කළා. හම්බවුණු වෙලාවක ඒකත් ඔයාම මතක්කරල දෙන්න. එහෙම නැත්නම් ඔයාට ලැබෙන්න තියෙන ගෞරවයක් වෙන කවුරුහරි කෙනෙක් ගන්න පුළුවනි.’ කියා බිරිය කීවාය.

‘ඒ මොන කාරණයක්ද?’ කියා සාටක රජා ඇසුවිට බිරිය කීවේ, ‘ජනාධිපතිකම අතඇරලා මන්ත්‍රිකට්ටක එල්ලුණු ලොකේ එකම නායකයා ඔයා කියල තාම දන්නෙ නැද්ද?’ කියාය.

‘හොඳයි මම ඒක ඩලස් බලස්ට මතක් කරන්නම්’ කියා සාටක රජා කීවිට; ‘ජනාධිපතිකම් අගමැතිකම් ඔයා හොඳට කරල තියනවා, ඔයාට ඒවා අලුත් දේවල් ‍නෙමෙයි කියලා ඔයා කීවේ ඇත්තටමද?’ කියා බිරිය ඇසුවාය.

‘ඇත්ත නැත්නම් බොරුද? මොකද මම අගමැති කම් ජනාධිපතිකම් කරල නැද්ද?’ කියා එවිට සාටක රජා ඇසුවේය.

‘ජනාධිපතිකම් අගමැතිකම් විපක්ෂනායකකම් ඔයා කරල තියෙනව කියල මමත් දන්නවා. ඒත් මට පොඩි ගැටලුවක් තියෙනවා’ කියා එවිට බිරිය කීවාය.

‘මොකක්ද ගැටලුව වහාම කියන්න මට විසඳන්න බැරිනම්, අධිකරණයට ගිහින් හරි මම ගැටලුව විසදලා දේනවා’ එවිට සාටක රජා කීවේය.

‘අධිකරණයට යනව නම් ගැටලුවට පිළිතුරුත් එපා’ කියා එවිට බිරිය කීවාය.

‘ඒ පාර මක්කෙයි එහෙම කියන්නේ?’ කියා සාටක රජා ඇසු විට ‘අධිකරණය කියනකොට මට ටොයිලට් යන්න ඕන වෙනවා’ කියා බිරිය කීවාය.

‘හොදයි, අධිකරණය අමතක කරමුකෝ, මොකක්ද ඔයාට මගේ අගමැතිකම ජනාධිපතිකම ගැන තියන ගැටලුව?’ කියා සාටක රජා නැවත ඇසුවේය.

‘අගමැතිකමේ ජනාධිපතිකමේ නෙමෙයි ගැටලුව තියෙන්නේ’ කියා එවිට බිරිය කීවාය.

‘එහෙනම් අහවල් මළ ඉලව්වෙද?’ කියා සාටක රජා ඇසුවේ බිරිය කියන අප්‍රභංසය වැටහුණේ නැති නිසාය. ඊට පිළිතුරු දෙමින් බිරිය කීවේ ‘ඔයා අගමැතිකම් ජනාධිපතිකම් හොදට කළා නම් අවුරුදු දෙකක් තියෙද්දී ජන්දෙනුත් පැරදිලා හම්බන්තොට ගිහින් ජනේලේ එල්ලෙන්න වැඩ සිද්ධවෙයිද?’ කියාය.

‘ඔයා මේ පාර පිං ඇමතිකම දාලා ආපු විදිහ ගැන කියපු කතාවෙත් පොඩි පරහක් තියෙනවා’ කියා බිරිය නැවතත් කීවිට, ‘මොන පහරක්ද මම කිසිම අඩුවක් නැතිව ඇඟේ ලේ රත්වෙන්න කතාව දුන්නා’ කියා සාටක රජා කීවේය.

‘අනේ යන්න මෙයා මටත් කොළේ වහන්න හදන්නේ නැතිව’ කියමින් සාටක රජාට විරෝධය පළකළ බිරිය කීවේ ‘පස්ස දොරෙන් නෙමෙයි ඉස්සරහ දොරෙන් එළියට බැස්සා කියලා ඔයා කීවට, ඉස්සරහ දොරෙන් එළියට බහින්න වෙච්ච හේතුව මොකක්ද කියලා ඔයා කීවේ නැහැ නේද?’ කියාය.

මොකද නැත්තේ මම එතනදී, එළියට බැස්සේ රටට ආදරය කරන නිසා කියල පැහැදිලිවම කීවා’ කියා එවිට සාටක රජා කීවේය.

‘ඔයා පිං අගමැතිකම බාර ගත්තේත් රටට ආදරය කරන නිසා කියල නේද කීවේ’ යැයි එවර බිරිය ඇසුවාය.

‘ඉතිං බොරුවක්ද මම බාර ගත්තේ රටට ආදරේ නිසා තමයි’ කියා සාටක රජා කීවේය.

‘මේක පුදුම ලෝකයක්!’ කියා එවිට බිරිය කීවාය. සාටක රජා ඇසුවේ ‘එසේ කියන්නේ කුමන හේතුවක් නිසාද?’ කියාය. ‘රටට ආදරේ නිසා බාර ගන්නවා, රටට ආදරේ නිසා අත්හරිනවා. අනේ මන්දා ඔයා මට ආදරේ නිසා මාවත් බාරගත්තා. ආදරේ හින්දම හෙට අනිද්දා මවත් අත්අරියිද කියලා බයත් හිතෙනවා’ කියා එවිට බිරිය කීවාය.

‘එතකොට ඔයා කියන්නේ මම පිං අගමැතිකම අතඇරල ඉස්සරහ දොරෙන් ආවේ රටට ආදරේ නිසා නෙමෙයි කියලද?’ කියා සාටක රජා ඇසුවේය.

‘මොන බොරුවක්ද අනේ ඔයා පිං අගමැතිකම දාල ඉස්සරහ දොරෙන් ආවේ පස්ස දොරෙන් ගිහින් පිං අගමැතිකම බාර ගත්තු නිසා’ කියා බිරිය කීවාය.

‘බැරි වෙලාවත් මෛත්‍රි ඔයාට අගමැතිකම නැවත බාරගන්න කියල කීවොත් ඔයා මොකද කරන්නේ?’ කියා බිරිය ඇසුවාය. සාටක රජා කීවේ, ‘මගෙ බල්ලටවත් ආයෙ බාරගන්නේ නැහැ’ කියාය.

‘නැවත අගමැතිකම බාර ගන්න කීවොත් ඔයා බාර ගන්න’ කියා බිරිය එවිට කීවාය. ‘ඒ අහවල් කෙංගෙඩියකටද?’ කියා සාටක රජා ඇසුවිට බිරිය කීවේ, ‘පිට පිට දෙවතාවක් පිං අගමැති වුණු එකම රාජ්‍ය නායකයා විදිහට ලෝක වාර්තාවක් තියන්න එතකොට ඔයාට පුළුවන්’ කියාය.

‘ඒක නෙමෙයි මෙයා ඔයාට පිං අගමැතිකම දෙන්න කලින් මෛත්‍රි අරලියගහ මන්දිරේ පැත්තෙ ගියාද කියල ටිකක් හොයල බලන්න’ කියා නැවතත් බිරිය කීවාය.

‘ඔයා මොකද එහෙම කියන්නේ?’ යැයි සාටක රජා ඇසු විට බිරිය කීවේ, ‘දෙදහස් පහළොවේ මෛත්‍රි ඔයාට ගහපු ගැටේ වාගෙම තව ගැටයක් දෙදහස් දහඅටේත් ගැහුවද කියල මට සැකයක් හිතෙනවා’ කියාය.

‘ඇයි එහෙම කියන්නේ කියා සාටක රජා ඇසු විට බිරිය උත්තර දුන්නේ, ඊළඟ පෝයට ආණ්ඩුව පෙරළනවා කිය කියා හිටපු ඔයාට අගමැතිකමත් දීලා දෙදහස් විස්ස වෙනකම් ආණ්ඩුව විසුරුවන්න බැහැ කියල උසාවියෙන්ම කියවගත්තාම ඒක ඔයා උස්සලා පොළොවෙ ගැහුවා වගේ වැඩක් නෙමේද?’ කියාය.

මද වේලාවක් කල්පනා කරමින් සිටි සාටක රජා කීවේ ‘තේරුණේ දැන් තමයි’ කියාය.

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *