ඉදිරි මාස දහය තුළ ජනතාවගෙ සාක්කුවට සල්ලි ගලා එන සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරනවා – සජිත් ප්‍රේමදාස

ඊයේ (17) යුක්තියේ ජයග්‍රහණය රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව,

මීට වසර තුනහමාරකට ප්‍රථම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව එපා කියපු මේ රටේ ජනතාව රජ පුටුවෙන් එලවපු ඒ මහා කුමන්ත්‍රණකාරී කණ්ඩායම උත්සාහයක් දැරුවා ලැජ්ජා නැතුව විලි ලැජ්ජා නැතුව නිර්ලජ්ජිතව පස්ස දොරෙන් පස්ස දොරෙන් ආණ්ඩු බලය ලබාගන්න. පස්ස දොරෙන් ආවා. ආපු දවසෙ ඉඳලා පැරදුණා. පස්ස දොරෙන් ආපු මේ දේශපාලන මංකොල්ලකාරයො ටික මේ රටේ ජනතාවයි, මේ රටේ ව්‍යවස්ථාදායකයි, මේ රටේ අධිකරණයයි, ඒ විතරක් නෙමෙයි මේ රටේ විධායකයයි ඉස්සරහ දොරෙන්ම ගෙදර යැව්වයි කියන එක මම මේ අවස්ථාවෙ ප්‍රකාශ කරනව.

හිතාදර මිත්‍රවරුණි මේ මහා කුමන්ත්‍රණය තුළ මුළු රටම කඩා වැටුණා. ලංකාවාසී බේදයකින් තොරව සෑම සියලු දෙනාම මේ කුමන්ත්‍රණය හෙළා දැක්කා. ඒ විතරක් නෙමෙයි, මේ කුමන්ත්‍රණයෙන් ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් අනාථ වුණා. අපේ රටට තිබුණු හොඳ නම නැති වුණා. ලැබෙන්න තිබුණු ආධාර උපකාර අහෝසි වුණා. පොඩි මිනිහට දෙන්න තිබුණු සහන ටික එහෙමපිටින්ම අහෝසි කළා. මිත්‍රවරුණි, ජ්‍යාතන්තරය අපේ රට කෙරෙහි තබපු විශ්වාසය සහමුලින්ම නැතිකර ගත්තා.

විසිහය වෙනිදා මැර බලයෙන් ජඩ බලයෙන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරපු මේ හොරකල්ලිය මොකක්ද ඊළඟට කළේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මැර බලය, ජඩ බලය, රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය ඇතිකරලා, අති උතුම් වූ අපේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ ඒ හිංසාකාරී ක්‍රියාවන් පාවිච්චි කරලා ඒ අය උත්සාහ කළා බලහත්කාරයෙන් බලය උදුරා ගන්න. මම ඔබලාට කියනව මේ පාර්ලිමේන්තුව තුළ සිදුවුණු ඒ වැඩ පිළිවෙල, ඒ මහා හිංසාව, ඒ මහා හානිය ඔබලා කිසිදාක අමතක කරන්න එපා. මොකක්ද කළේ පහර දුන්නා, ගුටිබැට දුන්නා කොටින්ම කිව්වොත් අපේ වීරෝධාර ආරක්ෂක ක්ෂේත්‍රයට රණ විරුවන්ට කම්මුලට ගැහුවා. මිරිස්කුඩු ගැහුවා. හොඳට රූප රාමු බැලුවානම් ඔක්කොම පේනවා. කම්මුලට අත තියාගෙන මෙහෙවුයේ තාත්තයි පුතයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. පෙන්නන්න හදනවා තමන් සෝවාන්වෙලා, සකෘදාගාමිවෙලා, අනාගාමිවෙලා, අරිහත් වෙලා කියලා. පුතණ්ඩියා දම්මලා කියනවා, ගහපං, මරපං, කොටපං, වීසිකරපං කියලා. මේ ප්‍රහාර අස්සේ ප්‍රජාතන්ත්‍රවාදය අසරණ වුණා. නිදහස අසරණවුණා. කතාකිරීමේ අයිතිය අහිමි වුණා. නමුත් මිත්‍රවරුණි, මම ඔබලාට කියන්න ඕනැ මැරප්‍රහාර මැද්දේ, රජ ප්‍රහාර මැද්දේ රාජ්‍ය භීෂණය රාජ්‍ය මිලේච්ඡත්වය රජ පවුල වපුරන හොහොතේ අපි දේවත්වයෙන් සලකන්නට ඕනෙ, ප්‍රජාතන්ත්‍රවාදය රැකගත්තු, පාර්ලිමේන්තුව රැකගත්තු අපේ ගරු කතානායක තුමා කරූ ජයසූරිය මැතිතුමා අපි දේවත්වයෙන් සලකන්නට ඕනැ කියල මම මේ අවස්ථාවේ සඳහන් කරනව. මිත්‍රවරුණි, එතුමාගේ පෞර්ෂත්වය එතුමාගේ ශක්තිය එතුමාගේ කසේරුකාව මුළු රටම බලාගත්තා. මයික්‍රපෝන් ඔක්කොම කැඩුවා. කැඩුණු මයික්‍රපෝනයක් අතට අරගෙන ගල්මුල් ප්‍රහාර එල්ල වෙනකොට නවත්වන්නෙ නැතුව අතරමග නවත්වන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට ඒ මහා සැබෑ දේශප්‍රේමි සැබෑ දේශාභිමාණි, ඒ කර්තව්‍ය ඉෂ්ඨ කරපු අපේම ගරු කථානායක තුමාට අපේ ශීර්ෂප්‍රණාමය නැවත වරක් ගාලු මුවදොර පිටියෙ ඉඳගෙන අපි පුදකරන්නට ඕනෙ කෘතගුණ දත් ජනතාව හැටියට.

හිතාදර ආදරණීය මිත්‍රවරුණි, අපි හොඳට දැකබලා ගත්තා වේදිකාවේ නැගලා ‘මම රටට ආදරය කරනවා, මම රට සුරක්ෂා කරනවා, මම මගේ රට රැකගන්නවා මම මගේ ජීවිතේ පරිත්‍යාග කරලා මගේ ආදරණීය ජනතාව රැකගන්නවා කියපු ඔය මහා පුන්නක්කු දේශප්‍රේමීන් කටයුතු කරපු ආකාරය මුළු රටම දැක්කා. තමන්ට දිනන්න, තමන්ට අරලිය ගහ මන්දිරයට යන්න, තමන්ට ජනාධිපති මන්දිරයට යන්නට, ඒවට ගිහිල්ලා සාත්තුසාප්පායම් කරන්නට තිස්වසරක යුද්ධය නිමා කරලා මේ රටට නිදහස ලබා දුන්න රණවිරුවව, ඒ රණවිරුවගෙ මළ කඳ පාවිච්චි කරල බලයට එන්න බලන තාත්තා, පුතාට මැසේජ් එක දෙනවා ගහපිය මිරිස් කුඩු පොලිස්කාරයොන්ට. පහරපිට පහර ගහපන් ආරක්ෂක නිලධාරින්ට. මරු දේශප්‍රේමිත්වය.

හිතාදර මිත්‍රවරුණි, ගරු කථානායක තුමාගේ මෙහෙයවීමෙන් ආත්මය පාවා නොදුන් තමන්ගේ පවුල පාවා නොදුන්නු තමන්ගේ දරුවො පාවා නොදුන්නු අපේ පාර්ලිමේන්තු මැති ඇමති තුමන්ලා, කුට්ටි පිටින් සන්තෝෂම් ගෙනාවා. බුරුතු පිටින් සන්තෝෂම් ගෙනාවා.මොකක්ද කීවේ,මන්තරේ වගේ ජප කළා එපා එපා අපි ගන්නෙනෑ. කෝටි පන්සීයට වැඩිය අපි අපිව ජාතක කරපු අම්මට තාත්තාට ආදරෙයි කියලා මගේ සහෝදර මන්ත්‍රිතුමන්ලා මේ රටේ දේශපාලඥයන්ට විතරක් නෙමෙයි ජාත්‍යන්තරව සිටින ඒ මන්ත්‍රි මණ්ඩලවලට හොදම පාඩමක් ඉගැන්නුවා කියන එක මම ආඩම්බරයෙන් මගේ මැති ඇමතිතුමන්ලා ගැන මේ අවස්ථාවේ ප්‍රකාශ කරනව.

ඒ වගේම මිත්‍රවරුණි, අපි අපේ පහුගිය අවුරුදු තුන හමාර තුළම අපි ජප කළා යහ පාළනය, යහ පාළනය, යහ පාළනය කියල සමහරෙකුට මේක තේරුණෙත් නැහැ. හැබැයි මේ දින පණහ තුළ කිසිම බලපෑමක් නැතුව කාගෙත් පෙළඹවීමක් නැතිව ස්වාධීනව සුපිරිසිදුව අධිකරණ තීන්දු අපක්ෂපාතීව ලබාදෙන කොට මුළු රටම දැනගත්තා අපේ අධිකරණය කොච්චර සුපිරිසිදුද, මම දැක්කා මීට සතිකිහිපයකට ඉස්සරවෙලා කුරුණෑගල ප්‍රදේශයේ අධිකරණ තීන්දුවක් ලබා දුන්නා. බොහෝ දෙනා ඒ නඩුතීන්දුව අර්ථකථනය කළේ අපිට පරාජයක් හැටියට. එදා අපෙන් අහුවා දැන් මොකද අධිකරණය ගැන කියන්නෙ කියල. අධිකරණ තීන්දු වාසි වුණත් නැතත් අපේ රටේ තියෙන්නේ සුපිරිසිදු උත්තරීතර අධිකරණයක්. එතකොටත් අපේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම තරඟෙට පුවත්පත් සාකච්ඡා තියල කිව්වා මහා ලස්සන අධිකරණ තීන්දුවක් කියල බොහොම ස්වාධීන තීන්දුවක් අපිට ලැබිල තියෙනව කියල.

මේ දින පණහේ කුමන්ත්‍රණය තුළ අධිකරණය ස්වාධීනව කටයුතු කරල නීත්‍යානුකූල රජයට පක්ෂපාති තීන්දු දෙනකොට මේ අය අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රශ්න කළා. අධිකරණයේ ස්වාධීනයි කියන්නේ තමන්ට හරියනකොට හොඳයි, තමන්ට වරදිනකොට නරකයි කියන එක නොවෙයි. අධිකරණ තීන්දු හොඳ වුණත් නැති වුණත් අපි අවංකව පිළිගන්නට ඕනැ කුරුණෑගල ගත්ත තීන්දුවත් සුපිරිසිදුයි, මේ රට රැකගන්නට ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නට ව්‍යවස්ථා ව රැකගන්නට ඒ ලබා දුන්න තීන්දුත් සුපිරිසුදුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනව.

ගරු අග්‍රාමාත්‍ය තුමා අගමැති ධුරයෙන් පිදුම් ලැබුවෙ පස් වෙනි වතාවට. මං ඇහුවා අපේ මාධ්‍ය ක්ෂේත්‍රෙය් මැතිතුමෙක් විසිපස් වසරක් නායකයා නේද කියල. මම අහුවා මට පෙන්නන්න පස් වතාවක් අගමැති වුණු කෙනෙක් අපේ රටේ. ඒ නිසා මිත්‍රවරුණි, අපේ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපි සියලු දෙනුම මේ කතා පවත්වලා තමුන්නාන්සේලාට ප්‍රකාශ කරන්නේ අපි අලුත් ගමනක් යන්න ඕන. අලුත් ආරම්භයක් නව ප්‍රෙව්ශයක් හොරකම් බෑ. මංකොල්ලකෑම් බෑ. කුපාඩිකම් බෑ. කොමිස් බෑ. පගා බෑ. අපේ තියන දේත් වියදම් කරල, අපේ පුද්ගලික සම්පතුත් කැපකරල ජනතාව රැකගන්න ඕනැ. ජීවත් කරවන්න ඕනැ කියල මේ අවස්ථාවෙ කියනව.

පස් වතාවක් අපේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට ලෝක වාර්ථා පිට වාර්ථා තබලා පත්වුණු අපේ ගරු අගමැතිතුමා, අපේ ගරු නායකතුමා එතුමාගේ නායකත්වයෙන් ඉදිරි මාස දහය තුළ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු කිසිම කෙනෙක් ප්‍රාර්ථනා නොකරපු මහා ඓතිහාසික දැවැන්ත ජනතාව රකින රට සුරකින රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය රණවිරු පරපුර ආරක්ෂා කරන පුරවැසි පරපුර දියුණු කරන අලුත් දැක්මක් තුළ අලුත් ගමනක් සීඝ්‍රගාමි සංවර්ධනයක් ඔබලාගේ මුදල් පසුම්බියට මුදල් ගලා එන යුගයක් අපි බිහිකරනවා බිහිකරනවා බිහිකරනවාමයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *