බොරු දේශපේ‍්‍රමීන්ගෙන්, ජාතිවාදීන්ගෙන්, ආගම්වාදීන්ගෙන් රට බේරාගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

පසුගිය ඔක් 26වෙනිදා සිදුවුණේ මේ රටේ සිදුවූ භයානකම දේශපාලන කුමන්ත‍්‍රණයක්. එය දින 50කට පමණක් සීමා කරන්න මේ රටේ ජනතාව සමත් වුනා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් පුරවැසියන් විශාල කාර්යභාරයක් ඉටුකළා. ජවිපෙ ඒ සියලූදෙනාට ස්තූතිවන්ත වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙන් දෙපාරක් පළවා හැරලා තිබෙන්නේ. එය ප‍්‍රමාණවත් නැත්නම්, අභියාචනාධිකරණයෙන් වැඩතහනම් කළා. වැඩ පටන්ගත්තේ ? පානේ, හද මෝරන වෙලාවේ හොර රහසේ දිවුරුම් දීලා. ඉල්ලා අස්වුණේ නැකතක් බලලා පිරිත් කියලා ආගමික වතාවන් කරලා. සාමාන්‍යයෙන් නැකැත් බලන්නේ දීර්ඝ කාලයක් කරන දේ සාර්ථක වෙන්න. නමුත් මහින්ද රාජපක්ෂ නැකැත් බලනවා ජීවිත කාලෙටම ඉල්ලා අස්වෙලා ඉන්න කියලා. මේ තමයි රාජපක්ෂ ප‍්‍රබන්ධය. කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් දෙන්න මෙහෙයුමක් දියත් වුණා. මාධ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් එම මාධ්‍ය මෙහෙවර ඉටු කළා. සැබෑ රාජපක්ෂ අපි දන්නවා. නමුත් මේ ඉන්නේ ප‍්‍රබන්ධ රාජපක්ෂ.
ඉල්ලා අස්වෙලා කිව්වේ මොනවද? දිවුරුම් දුන්නේ ජනවාරි වනතුරු මාස දෙකක අන්තර් කාලයකටලූ. මහමැතිවරණයක් නැතිව අගමැති ධුරය දරන්න බලාපොරොත්තුවක් නැති නිසා ඉල්ලා අස්වෙනවලූ. මේවා ඇත්තද? මේවා ජනතාව විශ්වාස කරන්න ඕනැද? එකක් පැහැදිලියි අරගෙන තියෙන්නේ ඡුන්ද කරන්න බව. 113 හදාගන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි වුන නිසා නොවැ 09වෙනිදා විසුරුවන්න සිදු වුණා. කුමන්ත‍්‍රණ කරලා බොරු කියමින් ජනතාව නොමග යවනවා. ඒ විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තය දියුණු වුනාලූ; ආර්ථිකේ දියුණු වුනාලූ; සිංගප්පූරු ගිවිසුම සලකා බැලූවලූ, පොහොර සහනාධාරය දුන්නලූ; වැසී යාමට තිබූ දේශීය කර්මාන්ත බේරගත්තලූ; නිල ඇදුම් දීම ස්ථාපිත කළාලූ. කෘෂිකර්මාන්තයට සහන දුන්නලූ. මහින්ද මේ ඔක්කොම කළානම් දින 50 ඇතිනේ. තවත් මොකටද කාලයක් ඉන්නේ. කුමන්ත‍්‍රණය අසාර්ථක වුනාම ජනතාව මුලා කරනවා.
කුමන්ත‍්‍රණය දියත් වෙනකොට බොහෝ අය ඒ දෙස වෙනස්, වෙනස් විදියට බැලූවා. සමහර අය රනිල් වෙනුවට මහින්ද වාඩි වුනා කියලා සතුටු වුනා. සමහරු රනිල් ඉවත්කළා කියාල දුක්වුනා. නමුත් මේ ප‍්‍රශ්නේ ජවිපෙ ගත්තේ උපන් ගෙයිම පරාජයට පත්කළ යුතු දේශපාලන කුමන්ත‍්‍රණයක් ලෙසයි. අපේ තීරණය අපේ සාමාජිකයාම ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. දේශපාලන ව්‍යාපාරය ඉන්නේ ජනතාවට ඉදිරියෙන්. හොඳ ඉවක් තිබෙන්න ඕනෑ. එනිසා මේ කුමන්ත‍්‍රණයේ දිශානතිය ජවිපෙ දැක්කා. ඒ අනුව තමයි අවලාද මැද්දේ මෙය පරාජය කරන්න තීරණය ගත්තේ. රනිල් ආරක්ෂා කරනවා කිව්වා. රාජපක්ෂ සමඟ පෞද්ගලික කෝන්තරයක් තියෙනවා කිව්වා. එජාපයට පූට්ටු කළා. නමුත් ජවිපෙ දේශපාලන තීරණයක් ගන්නේ හොඳින් කිරා මැන බලා හෘදසාක්ෂියට එකඟවයි. අවලාදවලට ඒවා නතර කරන්න බැහැ. ඒ අනුව කුමන්ත‍්‍රණය පරාද කරන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග පියවරෙන් පියවර ගත්තා.
රනිල්ගේ සීමාව අගමැති පුටුව පමණයි. ඒ නිසයි රනිල් එයාටම පුටුව ඉල්ලන්නේ. එජාප මන්ත‍්‍රීන්ගේ සීමවා ඇමතිකමයි. දැන් ජාතික ආණ්ඩුව අවසන්. ඒ නිසා ඇමති ධුර 30කට සීමා වෙනවා. එනිසා එජාපයේ ඇමති ධුරවල හිටපු කිහිපයකට ඇමති ධුර අහිමි වෙනවා. දැන් මෛත‍්‍රීගේ 21දෙනා එන්න හදනවා. නමුත් එජාපය කියනවා 10ක් ආවාම ඇතිලූ. එන හැමදෙනාටම ඇමති ධුර දෙන්න වෙන නිසා 21ම ගන්න කැමැති නැහැ. ඇයි? ඇමතිකම තමයි ප‍්‍රශ්නේ. කියන්න කණගාටුයි සමහර සිවිල් සංවිධානවල අයට ප‍්‍රශ්නේ තමන්ගේ නැතිවුන සභාපතිකම ගන්න එක. මීට කලින් 19යේ හිල් හෙව්වේ කවුද? මෛත‍්‍රීපාල, මහින්ද රාජපක්ෂ, නීතිපති, ජනාධිපති නීතිඥයෝ, නීතිඥ සංගමයේ සභාපති හිල් හෙව්වා. අද සිට 19යේ හිල් හොයන්නේ රනිල් වික‍්‍රමසිංහ. ජාතික ආණ්ඩුවක් හදාගන්න. වැඩියෙන් ඡුන්ද ගත්ත පක්ෂයයි තව මන්ත‍්‍රීවරයෙක් එකතු වුනාම ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඇමති ධුර තිහේ සිට 45 දක්වා වැඩි කරගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවට එන්න ඕනෑ. අපි සහතික වශයෙන් කියනවා 19යේ හිල් අස්සෙන් රිංගලා ජාතික ආණ්ඩු හදලා ඇමති ධුර වැඩි කරගන්න ආවොත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරනවා. මේ කුමන්ත‍්‍රණයේදී එජාපයට ඉතා පටු සීමාවක් තිබුණේ. නමුත් ජවිපෙ ඇතුළු බහුතරයක් සිවිල් සංවිධානවලට තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සීමා රහිත අරගලයක්.
පහුගිය කාලේ වැඩියෙන් අලෙවි වුන පොත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. බොහෝ අය ව්‍යවස්ථාව ගැන අර්ථකතන දුන්නා. රූපවාහිනිවල ගොඩ පෙරකදෝරුවේ ඇවිත් ව්‍යවස්ථා අර්ථකතන දෙන්න පටන්ගත්තා. ඇතැම් ස්වාමින්වහන්සේලා පවා ත‍්‍රිපිටකය පැත්තකින් තියලා ව්‍යවස්ථාවෙන් බණ කියන්න පටන්ගත්තා. සමහර නාලිකාවල මාධ්‍යවේදීන් ව්‍යවස්ථා විශාරදයින් බවට පත්වෙලා හිටියා. කොහොම වුනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනතාවගේ අවධානය යොමු වුණා. ජනතාව දේශපාලන වශයෙන් අධ්‍යාපනය ලබාගැනීම ජනතාවගේ පැත්තෙන් ජයග‍්‍රහණයක්. ඒ වගේම ඒක වමේ පක්ෂවලට ලැබුණ ජයග‍්‍රහණයක්. දැන් මහින්දගෙ පුටුවේ රනිල් වාඩිවෙලා ප‍්‍රශ්නය කෙළවර වෙන්න යනවා. අගමැති පුටුවේ දෙන්නගෙන් කවුරු වාඩිවුනත් රටට වෙන සෙතක් නෑ.
කෙසේ නමුත් මේ අරගලය කෙළවර වෙලා තිබෙන්නේ අපි කැමති තැනකින් නොවේ. ඒ නිසා මේ දේශපාලන දිශානතිය වෙනත් පැත්තකට හරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් තමයි මේ සියලූ දෙනා සංවිධානය වෙමින් ඉන්නේ. දැන් තමයි දේශපාලනයේ හොඳම වටපිටාව නිර්මාණය වෙමින් තිබෙන්නේ. ජවිපෙ පිළිබඳව සැකයෙන් බලපු අය ජවිපෙ දෙස සුභවාදීව බලන්න පටන්ගෙන තිබෙනවා. ඒවා ජනතා ජයග‍්‍රහණයක් වෙත හරවා ගන්නේ කොහොමද කියන වගකීම අපිට තිබෙනවා. මේ පස අස්වද්දන්න ඕනෑ. සාරවත් බීජ පැළකරන්න පුළුවන් පසක් බවට පත්කරන්න ඕනෑ. කිසිවෙකුට එම දේශපාලනය මගහරින්න පුළුවන්කමක් නැහැ. එයට පාර කැපුවේ මහින්ද මෛත‍්‍රී රනිල් කැත දේශපාලන සූදුවයි. තව ටික දිනකින් රනිල් වක‍්‍රමසිංහලාගේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැකගන්න පුළුවන්කම ලැබෙනවා. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් රැුකපු නැති පුද්ගලයෙක්. පහුගිය කාලේ වෙළඳ ගිවිසුම් ගහනකොට, හම්බන්තොට වරාය විකුණනකොට අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම භාවිතා කළේ නැහැ. අලූත් ව්‍යවස්ථාව හදනකොට ජනතා අදහස් විශාල ප‍්‍රමාණයක් ආවා. නමුත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියේ නව ව්‍යවස්ථාවක් හදන්න රනිල් වික‍්‍රමසිංහලාගේ කඳවුරට වුවමනාවක් නැහැ. රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හොර මුරකරුවා.
අනෙක් පැත්තෙන් රාජපක්ෂ කඳවුර. එහි මෛත‍්‍රීපාල සිරිසේන කියන්නේ ගහලා යන්න කිට්ටු බලබ් එකක්. මේ ටික කාලෙට තවත් පිස්සු වැඩක් නොකර හිටියොත් ඇති. නමුත් රාජපක්ෂගේ කඳවුරේ දේශපාලන ජාතිවාදය, ගෝත‍්‍රවාදය, ආගම්වාදය. ඒ රංගනයට තමයි නැවත පොරකන්නේ. කුමන්ත‍්‍රණයෙන් පරාජය වුනාට පස්සේ යළි සීග‍්‍රයෙන් ආගම්වාදයට ජාතිවාදයට ගමන් කරමින් ඉන්නවා. නඩු තීන්දුවෙන් පස්සේ අගවිනිසුරුතුමාට ආගම් පදනම් කරගෙන විවේචන එල්ල කරනවා. සමහර ස්වාමින්වහන්සේලා දේශනාකරනවා නඩු තීන්දුව මාතෘභූමියට එරෙහිව කරනලද කුමන්ත‍්‍රණයක්ලූ. රාජපක්ෂලා දේශපේ‍්‍රමීන්ද? මාතෘභූමියට ආදරය කරනවද? රාජපක්ෂ පවුලම රටේ ධනය හොරකම් කරලා තිබෙනවා. තාත්තයි අම්මයි පුතයි මල්ලියි බාප්පයි සියලූ දෙනා එකට හොරකම් කළා. එහෙම අය කොහොමද මාතෘභූමියට ආදරය කරන්නේ. රාජපක්ෂ කණ්ඩායමේ සමහර අයට මහත්තයටයි නෝනටයි දෙන්නටම නඩු. එනිසා ඔවුන්ට තිබෙන්නේ තවරගත්තු පොරවාගත්තු දේශපේ‍්‍රමයක්. එනිසා තවදුරටත් මේ බොරු දේශපේ‍්‍රමයට, ආගම්වාදයට ජාතිවාදයට ඉඩ ලබානොදිය යුතුයි. එයට එරෙහිව පෙරමුණක් ගොඩනැගිය යුතුයි.
මේ මාතෘ භූමිය පිළිබඳව අකලංක පේ‍්‍රමයක් අපිට තිබෙනවා. මහජනතාව පිළිබඳව අසීමිත පේ‍්‍රමයක් ආදරයක් තිබෙනවා. සෑම ආගමක් පිළිබඳවම ගරුත්වයක් සහ භක්තියක් තිබෙන මිනිස්සු අපි. අපි ආගම දේශපාලනයට සම්බන්ධ කර ගන්නේ නැහැ. අද මහින්දරාජපක්ෂලාගේ සෑම ප‍්‍රකාශයකම තිබෙන්නේ ජාතිවාදය. රට කැඩෙන ව්‍යවස්ථාව හදන බව මතුරනවා. පෙඩරල් දෙන්න යනවලූ. එහෙම ව්‍යවස්ථා හැදුවට පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කරගන්න හැකියාවක් නැහැ. රාජපක්ෂලා බොරු මතුරනමින් ඉන්නවා. ඩොලර් ගන්නවා කියලා වෙන අයට චෝදනා කරනවා. නමුත් ඩොලර් ගත්තා කියලා ඔප්පු වුණේ කවුද? මහින්ද රාජපක්ෂ චීන සමාගමෙන් සල්ලි ගත්තා. රාජපක්ෂගේ නෑනා, බැසිල්ගේ නෝනා, පුෂ්පා රාජපක්ෂ චීන සමාගම්වලින් ගත්තා. බැසිල් රාජපක්ෂලාගේ, ඩලස්ලගෙ මාතෘ භූමිය ඇමරිකාව. තමන්ගේ කැත කිළිටි ශරීරය වසාගන්න අද දේශපේ‍්‍රමය මතුරනවා. ආගම්වාදය ජාතිවාදය පතුරනවා. මේ අශිෂ්ඨත්වයට එරෙහිව අරගලයට අපි පණ පොවනවා.
දැන් කළ යුත්තේ කුමක්ද? කුමන්ත‍්‍රණකරුවන්ට දඩුවම් ලබාදෙන්න ඕනෑ. ආර්ථිකයට, ජනතාවට කරපු අපරාධයට දඩුවම් ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න ජවිපෙ මැදිහත් වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවරගත යුතුයි. ජේආර්ගේ ජනාධිපති වියරුව අපි දැක්කා. පේ‍්‍රමදාස ජනාධිපති පුටුවේ වාඩිවෙනකොට දුප්පතාගේ හිතවතා. පාරේ මිය යනකොට මරු සිරා බවට පත්වුණා. ජනතාව කැවුම් කිරිබත් කෑවා. චන්ද්‍රිකා වාඩිවෙනකොට විහාරමහදේවි. 2005 ගෙදර යනකොට චෞර රැුජිණ. මහින්ද රාජපක්ෂ වාඩි වුණා. කුරහන් සාටකේ දාන ගැමියා. ගෙදර යනකොට කම්බ හොරා. මෛත‍්‍රී එනකොට පොළොන්නරුවේ ගැමියා. එයා කරන්න පුළුවන් පිස්සු වැඩ හැම දෙයක්ම කළා. රටට විනාශයන් විතරයි කළේ. වාඩි වුන මිනිහට සිදුවුණ දේ බැලූවත් ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕනෑ. ඉන් පසුව නව ජනවරමක් ලබාගැනීම වෙනුවෙන් මුල් මාස හය ඇතුළත මැතිවරණයක් කැඳවිය යුතුයි.
තවත් ගමන් මාර්ගයක් අපිට තිබෙනවා. වසර 70ක් තිස්සේ මේ රට දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සංස්කෘතික වශයෙන් සතර අතින් කඩා වැටුණ රටක් බවට පත්වුණා. එනිසා මේ තෙතමනයක් නැති වියලි සමාජය සුවපත් කළ යුතුව තිබෙනවා. පරිසරයට අතිමහත් විනාශයක් කරලා තිබෙනවා. අධ්‍යාපනය මුදල් මත පදනම් වුන භාණ්ඩයක් බවට පත්කරලා තිබෙනවා. මොන තරම් සදාචාර විරෝධීද? ප‍්‍රවාහනය කඩා වැටිලා. සෞඛ්‍ය සේවය කඩාවැටිලා. ලෙඩ ජාතියක් බවට පත්කරලා තිබෙනවා. ලෝකයේ රටවල් ලංකාව උදාහරණයට ගන්නේ කඩාවැටුණ රාජ්‍යක් ලෙසයි. පුළුවන් හැමදෙනාම රට අත්හැරලා යනවා. අනාගතය භාරගත හැකි දුවාදරුවන් රට අත්හැරලා යනවා. සමාජයේ මේ ඛේදවාචකය වෙනස් කළ යුතු නැද්ද? මේ අර්බුදය විසඳන්න දිගුකාලීන වැඩපිළිවෙළක් ඕනෑ. ඒ වෙනුවෙන් අධිෂ්ඨානසහගත මිනිසුන් එක්රැුස් කළ යුතුයි. ඒ සඳහා ගොඩනැගිය යුතු පුළුල්තම ජනතා ව්‍යාපාරය ගොඩනැගිය යුතුයි. එජාප පාක්ෂිකයා ශ‍්‍රීලනිප පාක්ෂිකයා වෙනස් වුනොත් පමණයි මේ රට වෙනස් කළ හැක්කේ. ඒ වෙනුවෙන් ගම්මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුව තිබෙනවා. සියලූදෙනා හරි ඉලක්කයකට වැඩකළොත් මේ අභියෝගය ජයගත හැකියි.
මෙම රැුලියේදී කැළණිය විශ්ව විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විජිත් රෝහණ මහතා, සමස්ත ලංකා තරුණ හින්දු සම්මේලනයේ ප‍්‍රධාන ලේකම්, සතිස් කුමාර් මහතා, අලූත් පරපුර සංවිධානය වෙනුවෙන් චිත‍්‍රපට අධ්‍යක්ෂක ප‍්‍රියන්ත කලූආරච්චි මහතා, විවෘත විශ්විද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ප‍්‍රවීන සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා, නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා, ප‍්‍රවීණ රංගණ ශිල්පීනි දීපානි සිල්වා මහත්මිය, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු උප ලේකම් නීතිඥ චරිත් ගල්හේන මහතා, වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු මහාචාර්ය මයිකල් ප‍්‍රනාන්දු මහතා අදහස් දැක්වීය.

මනෝජ් රූපසිංහ

ස්තුතිය ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *