පැවති දේශපාලන අර්බුදය නිසා ගණනය කරන්න බැරිතරම් පාඩුවක් රටට සිද්ධ වුණා – රාජා උස්වැටකෙයියාව

ජනාධිපතිතුමා අලුත්ම මතයක් ඉදිරිපත්කරල තිබුණ, ‘මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග ගියේ උසාවි ගිය නිසයි’ කියල. ඇත්තෙන්ම මේ ප්‍රශ්නය දුරදිග ගියේ උසාවි යෑම නිසා ද?

උසාවි යන්නත් හේතු වුණේ ජනාධිපතිවරයාගේ ඉතාමත් අඥාන ක්‍රියාකලාපයයි. කිසිම දේශපාලන අර්බුදයක් නැතිව මේ රට ඉදිරියට ගියා. ප්‍රධාන වශයෙන් පොහොට්ටුවට සහය දීපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුවෙන් අයින්වීම වෙනම කාරණයක්. එතන ආණ්ඩුවක් කඩාවැටෙන්න කිසිම සාධකයක් නැහැ. බහුතරය එක්සත් ජාතික පෙරමුණට තිබුණ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ.

19 වන සංශෝධනය යටතේ කිසිසේත් පුළුවන්කමක් නෑ, අවුරුදු හතර හමාරක් යනකල් මේ පාර්ලිමේන්තුව විසුරුවන්න. එහෙම නීත්‍යානුකූල තත්ත්වයක් කොහොමත් නෑ.

පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගැනීමටයි පාර්ලිමේන්තුව විසුරුවා හැරියෙ කියලත් කියනව.

කවුරුහරි පාර්ලිමේන්තු මැතිවරණයක් මේ වෙලාවෙ ඉල්ලනව නම් එකත් නීති විරෝධියි. ඒක ආණ්ඩුක්‍රම වයවස්ථාවට පිටින් යන දෙයක්. ආණ්ඩුක්‍රම වයවස්ථාවේ තියෙන්නෙ අවුරුදු හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියලයි. විසුරුවනව නම් විසුරුවන්න පුළුවන් පාර්ලිමේන්තුවෙ අභ්‍යන්තරයේ තියෙන කාර්යයකින්.

අවශ්‍යනම් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයක කැමැත්තකින්. නැත්නම් මුදල් පනතක් පරාජය කරල එහෙම විසුරුවන්න ක්‍රම තියෙනව. එහෙත් මේ විසුරුවපු ක්‍රමය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. හැබැයි 19 වන සංසෝධනය එන්න පෙර පුළුවන්කම තිබුණා. ඒක 19 ගෙනාවට පස්සෙ වළංගුභාවයක් නෑ.

ජනාධිපතිතුමාගේ තවත් තර්කයක් තමයි එක්සත් ජාතික පක්ෂය අති දක්ෂිණාංශිකයි, රට විදේශවලට පාවා දෙන්න හැදුවා. රණ විරුවන් පාවා දෙන්න හැදුවා ඒක නතර කරනයි මෙහෙම කෙරුවෙ කියල.

ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. අති දක්ෂිණාංශික කියල දෙයක් අද ලෝක දේශපාලනයේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් ලෝක වාමාංශික දේශපාලනය අද දුර්වල වෙලා තියෙනව. අද ‍අපේ රටෙත් වාමාංශික දේශපාලනය ඉතා දුර්වල තත්ත්වයට පත්වෙලා තියෙනව.

මෙතන තියන මූලික ප්‍රශ්නය තමයි කොහොමද මේ ආර්ථික අභියෝග ජයගනිමින් රටවල් ඉදිරියට යන්නෙ කියන එක. එතනදි බොහෝවෙලාවට සමාජවාදියි, වාමාංශිකයි කයල හිතන චිනය, රුසියාව, කියුබාව ඒ ගොල්ලන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිත් වෙනස් කරල, යම් ආකාරයද දක්ෂිණාංශික දේශපාලන මාවතක යන්නෙ.

රණ විරුවන් පාවලා දෙනව කියන කතාව පට්ටපල් බොරුවක්. සම්පූර්ණ බො‍රුවක් එහෙම රණවිරුවන් පිළිබඳ කතාවක් මෙතනට අදාල නැහැ. 2015දිත් ඕකම තමයි කිව්වෙත්. මෛත්‍රිපාල ජනාධිපති වු‍ණොත්, යූ.එන්.පී. ආණ්ඩුවක් ආවොත් මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙ ඉන්දවනව කියල. ඒ වගේම රණවිරුවන්ට විශාල වශයෙන් කරදර වෙයි කියල, ඉතින් එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. රණ විරුවන් කියන්නෙ මිනී මැරුම්, හොරමැරකම් කරපු අයට නෙමෙයි. යුද්ධ කරපු අයට. සමහර රණවිරුවො ඉන්නව යුධ බිමෙත් නරක දේවල් කළ අය.

71 කැරැල්ලෙදිත් ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය වැනි සිද්ධි තියනව. මේකෙදිත් එවැනි ප්‍රශ්න තියනව. සිවිල් යුද්ධයක් වෙලාවෙදි හමුදා විනයට පටහැනිව ක්‍රියාකළා නම් ඒක වරදක්. අර තරුණයො 11ක් ඉතාම නරක විදිහට උස්සගෙන ගිහිල්ලා මුදල් ගැනීමේ චේතනාවෙන් හා වෙනත් දේවල්වලට අතුරුදන් කරල තියනව. සමහර රණවිරුවො ආයුධත් එක්ක පැනල ගිය අය බොහෝම නරක දේවල් කරනව. පාතාලෙත් එක්කත් සම්බන්ධයි. ඒ අය රණවිරුවො නෙමෙයිනේ. අපරාධ කාරයෝ. ඇතැම් අය කොටිත් එක්කත් සම්බන්ධකම් තිබ්බා. ඒ අය රණවිරුවො කියල අපිට අර්ථ දක්වන්න බැහැ.

මම නම් පෞද්ගලිකව හිතන්නෙ පැවතුනේ සිවිල් යුද්ධයක්. ලංකාවේ ‍ජාතින් දෙකක් අතර ඇතිවෙච්ච දේශපාලන අර්බුදය මේ රටේ දේශපාලකයන්ට කළමණාකරනය කරගන්න බැරි වුණා. ඒ කළමණාකරනය කරගන්න බැරිවීමේ හේතුව නිසා තමයි මේක බරපතල සිවිල් යුද්ධයක් බවට පත් වුණේ. රටක් ආක්‍රමණය කරපු එකක් නෙමෙයි මේක.

දැන් එක එක පක්ෂ බලාපොරොත්තු වෙනවා තමන්ට වාසි සහගත දේශපාලන න්‍යයායපත්‍ර ක්‍රියාකරන්න. ඊළඟට ජනාධිපතිවරණයක් අවොත් හොඳයි, ඊළඟට ජනමත විචාරණයක් එන්න අවශ්‍යයි, ඊළඟට මහ මැතිවරණයකුයි එන්න අවශ්‍ය කියල. ඊළඟට එන මැතිවරණය කුමක් විය හැකිද?

සාධාරණ ක්‍රමයකට මැතිවරණයක් එනව නම් එන ජනවාරි 08 වෙනිදායින් පසුව ජනාධිපති මැතිවරණයක් කැදවන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවට එකඟයි. හැබැයි ව්‍යවස්ථාවට එකඟ නෑ ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම. පාර්ලිමේන්තු මැතිවරණයකට තව අවුරුදු එකහමාරක කාලයක් තියනව. ඊළඟට තව අවස්ථාවක් තියෙනව ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්න. දෝෂාභියෝගය තුනෙන් දෙකක ඡන්දයකින් ජනාධිපතිවරයා පරාජය වුවහොත් ඔහුගේ තරනතුර අහෝසි වෙනව. එවිට කතානායකට පුළුවන්කම තියනව නැවත ජනාධිපතිවරණයකට යන්න. පාර්ලිමේන්තු මැතිවරණයකට යනව නම් අගමැති වරයාව පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයකින් පරාජය කරල යන්න පුළුවන්. ජනමත විචාරණයකට යනව නම්, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනයට ගෙනාවා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ වගේ ජනතා පරමාධිපත්‍යට බලපාන යම් යම් නීති රීති වගේ දේවල්.

එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක පාර්ලිමේන්තු වැඩි ඡන්දයකින් කරන්නත් බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝගයක් දෙන්නත් බෑ එ වගේ දේවල් කරන් නම් ජනමත විචාරණයකට යන්න. ඒක කරන්න ඕනැ ශ්‍රේෂ්ඨධිකරණය. එතනින් මෙහා අපට ඕනැ විදිහකට ජනමත විචාරණයකට යන්න පුළුවන් කමක් නැහැ.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙ මුදල් ඇමතිවරයාට අය වැය ලේඛනයක් ගේන්නම වෙනවා. ලබන අවුරුද්දට වියදම් කරන්න ප්‍රතිපාදන නැති නිසා. පහුගිය ඔක්තෝම්බර් 05 වෙනිදයි අය වැය ලේඛනය ගේන්න සූදානම වෙලා හිටයෙ. ඒක කරන්න ලැබුණෙ නැහැ. ඒ නිසා තමයි මේ තත්ත්වය මතු වුණේ.

දැන් ආණ්ඩුව විසුරුවන්න බෑ කියල තීන්දුව ලැබී තිබෙනව, ඒ තත්ත්වය යටතේ මොනවගේ පසුබිමක් ඇති වෙයිද?

මේක ඉතාම විශිෂ්ඨ තීන්දුවක්. මේ තීන්දුව දිහා බලාගෙන හිටියා අපේ රටේ විතරක් නෙමෙයි, දකුණු ආසියාවෙ විතරක් නෙමෙයි මුළු ලෝකෙම සියලුම ජාත්‍යන්තර ප්‍රජාවත් ඒ වගේම විවිධ ආණ්ඩු විවිධ රාජ්‍යයන් මේක දිහා බලාගෙන හිටියා, මම හිතන්නෙ මේක ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය ඉතාම නිහතමානිව සැමරීම ඉතාම වැදගත් වෙනව.

අද අපේ රට බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීල තියෙනව, අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිල තියෙනව. ජන ජීවිතය විනාශයට යන තත්ත්වයක් පේන්න තිබුණ. පහුගිය කාලයේ තිබුණ දේශපාලන අර්බුදය නිසා සංචාරකයින් 70%ක් පමණ පැමිණියේ නැහැ. අපනයන බෝග වෙළඳ පොළට බරපතල හානි සිද්ධ වෙලා තියෙනව. ආයෝජකයන් විශාල වශයෙන් ආපහු ගියා, ලංකාවට ලැබීමට තිබුණු සහන ණය සහ ආපසු නොගෙවන ප්‍රතිපාදන විශාල වශයෙන් අහිමි වුණා, ජී.එස්.පී. සහනය නැති වීමේ ප්‍රවණතාවක් තිබුණා. ගණනය කිරීමට අපහසු විදිහට විශාල වශයෙන් ආයෝජකයින් ගිහිල්ලා තියෙනව. කොහොමද මේ ආයජකයින් නැවත ගෙන්න ගන්නෙ? කොහොමද අපේ රට නැවත යථාතත්ත්වයට පත් කරගන්නෙ? ග්‍රාමසේවක නිලධාරියාගේ සිට පරිපාලනයේ ඉහළම නිලධාරියා දක්වා පරිපාලන ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වෙලා තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරයාට බැරි වුණා යම් ක්‍රියාමාර්ගයක් ගන්න. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න. ඉහළ සිට පහළටම ඒ තත්ත්වය තිබුණා. මෙන්ම මේ වගේ බරපතළ කාරණා තියනවා. මේක විශාල ජයග්‍රහණයක් කියල උද්දාමයට පත්වෙනවාට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදයට වෙච්ච බරපතළ හානිය යම් මට්ටමකට අඩුවෙලා තියෙනව. ඒ නිසා පක්ෂ විපක්ෂ කවුරුත් මේ තීන්දුවට හිස නැමිය යුතුයි. ජනාධිපතිවරයා අනිවර්යෙන්ම හිස නැමිය යුතුයි මේ තීන්දුවට. හිටපු අනීතික අගමැතිවරයා මහින්ද රාජපක්ෂ සහ ඒ වැඩ තහනම් කරපු කැබිනට් මණ්ඩලය මේකට වග කියන්න ඕන විතරක් නෙමෙයි ඒ අයත් ඉතාම සන්සුන්ව අධිකරණය දුන් තීන්දුවට හිස නමමින් යළිත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සහයෝගය දියයුතුව තියෙනව.

රටේ ඉදිරි ජනතා පෙළගැස්ම කොයි වගේ වෙයිද?

දැන් දෙපිළ බෙදිල තියෙනව. ප්‍රජාතන්නත්‍රවාදයට ගරු කරන ගරු නොකරන පිරිස් වශයෙන්. ගරු කරන පිරිස අතරේ ඉන්නව එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ, ද්‍රවිඩ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය ආදි වශයෙන් මේ ජයග්‍රහණයේ අඩුවැඩි වශයෙන් කොටස් කරුවන්.

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවකට යන්නැ. ටී.එන්.ඒ. එකත් එහෙමයි. බහුතර ආණ්ඩුවකට මේ දෙගොල්ල සහයෝගය දක්වයි. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කණ්ඩායමටත් මේක වැරදියි කියල කියන්න බෑ. ඒ අයත් මේකට එකඟ තාවය දැක්විය යුතුව තියෙනව.

දැන් රටේ ඡන්ද දායකයා පෙරමුණු කීපයකට කැඩිලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දායකයා දෙකට කැඩිලා තියෙනව. ශ්‍රි.ලං.නි.ප. හා පොහොට්ටුව වශයෙන්, ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමත් දෙකට කැඩිලා තියෙනව. ජ.වි.පෙ. හා පෙරටුගාමී වශයෙන්. එ.ජා.ප. ඡන්ද පදනම එහෙමම තියෙනවා. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරවන්න මේ ඡන්දයා පෙළ ගැසෙන්නේ කොයි ආකාරයෙන්ද?

ඒක ඇත්තටම සංකීරණ ප්‍රශ්නයක්. නමුත් මෙතන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තියනව එකක් තමයි එක්සත් ජාතික පක්ෂය. පක්ෂය තුළ බෙදීම් තිබුණත්, ඡන්ද දායකයා එහෙම ප්‍රධාන වශයෙන් බෙදිලා නැහැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නාය යනවා වගේ වෙනත් පක්ෂයකට ගියා. මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ම 16 දෙනෙක් වෙනත් පැත්තකට ගියා බරපතලම අර්බූදය තියෙන්නෙ එතන. ජනතා විමුක්ති පෙරමුණට ‍එහෙම අර්බුදයක් නැහැ. ඒක දෙකට කැඩුනෙ ගොඩක් ඉස්සර. ටී.එන්.ඒ. එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් මාරුවුණා කියල ප්‍රශ්නයකුත් නැහැ. ඒ අතින් එක්සත් ජාතික පක්ෂය වටා රටේ ඡන්ද පදනම ඒකරාශි වෙලා කියල කියන්න පුළුවන්.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *