උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක් – ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල්

ඊයේ (15 වනදා) මළ හිරු බසිනා ‍ සැඳෑයාමයේ දී කොහුවල නිසල අරණ පොදු සුසාන භූමියේදී ප්‍රවීන වාද්‍ය ශිල්පියෙකු හා ගායකයකු වන උපාලි කන්නන්ගර සියල්ලෙන් සමුගෙන ගියේය. එම අවස්ථාවට පැමිණි හැමකෙනෙකුගේ මුවින්ම පිට වූයේ උපාලි ගේ දක්ෂකම් හා ඊටත් වඩා ඔහු තුළ තිබූ මනුෂ්‍යත්වයයි. ඔහුගේ හොඳක් නොකිය වුණු මුවගක් නොවීය.

හුස්ම ගැනීමේ අපහසුවක් සැදී හෘද වස්තුවේ ඇතුළත කපාටයක ඉතාම දැඩි අවධානම් සහිත සැත්කමකට දෙසැම්බර් 8 වනදා මුහුණදිමෙන් අනතුරුව දෙසැම්බර් 12 වන දින ඔහු මියයන විට අවුරුදු 67 ක් විය.

ඔහුගේ පියාණන්ගේ ගම රත්නපුර වූ අතර මවගේ ගම වුණේ කොළොන්නාවයි. ඔහු ජන්ම ලාබය ලබා ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ දී ය. ඔහු බොහෝ කාලයක් ජීවත් වන්නේ කළුබෝවිල සරණංකර මාවත ආශ්‍රිතවයි. 1975 අප්‍රේල් මස 15 වෙනිදා තවත් ශිල්පීන් සමූහයක් සමඟ සුපර් ස්ටාර් නමින් සංගීත කණ්ඩායමක් නිර්මාණ කර ඔවුන් කණ්ඩායමක් ලෙසට දොරට වඩින්නේ බලපිටිය ප්‍රදේශයේදියි. ඔහු එම සුපර් ස්ටාර් කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා විය. එතැන් පටන් මිය යන තුරුම ඔහු වාදකයකු වශයෙන් මෙන්ම ගායකයකු වශයෙන් සංගීත් ක්ෂේත්‍රයේ රැඳී සිටියේය‍. සුපර් ස්ටාර් වෙතින් පටන්ගත් ගමන සුපර් ෆෝර්චුන් වෙතත් යළිත් සුපර් ස්ටාර් වෙතත් සුහද ගමනක යෙදුනි. කණ්ඩායම් සංගීතය තුළ ඔහු ඔහුගේ භූමිකාව අකුරටම ඉටු කළ පශිල්පියෙක් විය. ඔහු ටික කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කළ අතර ලංකාවට පැමිණි පසු යළිත් සංගීත ක්ෂේත්‍රයේ නියැලෙමින් කටයුතු කළේය. ඔහු රාජ්‍ය සේවකයකු ලෙස ටික කලක් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවය කර ඇත. ඔහු දක්ෂ විඩියෝ කැමරා ශිල්පියෙකු ද වෙයි.

1985 වසරේ දී ඔහු ඉන්ද්‍රානි බොතජු නම් තරුණියක් සමඟ විවාහ වෙයි. උපාලි ඉන්ද්‍රනි පෙම් කැදැල්ල ඔවුන්ගේ ජීවිතය පුරා සෙනෙහසින් පිරුණු එකකි. ඉන්ද්‍රානි දක්ෂ චිත්‍ර ශිල්පිනියක මෙන්ම මාධ්‍යවේදිනියක වෙයි. ඇය රැජිණ ලක්බිම පුවත්පත් වල නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස සේවය කර ඇත. ඔවුන් දෙපළට දියණියන් දෙදෙනෙකි. ඔවුන් සුවනි කන්නන්ගර හා තත්සරණී කන්නන්ගරයි. මොවිනෝ උපාලි ගේ මුනුපුරායි. උපාලි කන්නන්ගර මිය යන විට මුනුපුරෙකුගේ සුරතල් බැලීමට වාසනාව ලත් සීයා කෙනෙකි.

බෞද්ධාගමික හැදියාවට වත්පිළිවෙත්වලට ඉතාම ලැදියාවක් ලැක්වූ ඔහු බොහෝ බෞද්ධ ‍පත පොත පරිශීලනය කර බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලැබූවෙකි.

උපාලි මගේ සංගීත ලෝකයේ වීරයෙක් වුණා

අවමංගල්‍ය සභාව අමතමින් කතා කළ කීර්ති පැස්කුවෙල් ප්‍රකාශකර හිටියේ, මට උපාලි ගැන අමතක නොවන සිහිවටන තුනක් තියනව, 1979 දී බොරැල්ලේ ජොනෙත් ශබ්දාගාරයේ දී මම වාදකයෙක් විදිහට සහභාගිවෙලා ඉන්නකොට උපාලි මේ ස්ථානයට පැමිණියා. මට දැනගන්න ලැබුණා ඔහු දක්ෂ සංගිත ශිල්පියෙක් කියල. මම ඉතාමත් ආධුනික මට්ටමේ හිටියෙ. මට ඔහු ඉතාමත් සුහදශීලි ලෙස මාත් සමඟ දොඩමලු වුණු ආකාරය මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මා වැනි ආධුනිකයෙකුට දැක් වූ සැලකිල්ල ගලේ කෙටූ අකුරක් වාගේ සටහන් වුණා. එදා සිට මට වාසනාව ලැබු‍ණා මේ ‍ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් එන්නට. සුපර් ස්ටාර් වාදක කණ්ඩායම සමඟ ඔහු වාදනය කරනකොට අර්නස්ට් සොයිසා මහත්මයා, උපාලි කන්නන්ගර වාදනය කරනකොට අපි රසිකයො හැටියට ඉතාම ආශාවෙන් බලා සිටියා. උපාලි මගේ සංගීත ලෝකයේ වීරයෙක් වුණා. ඒ වගේම උපාලි ගෙන් ලස්සන ගී තනු කිහිපයක් නිර්මාණය කරගන්නත් මට අවස්ථාව සැලසුණා. ඒ වගේම සුපර් ෆෝර්චූන් වාදක කණ්ඩායමේ වාදකයෙක් හැටියට ඔහු මාත් සමඟ වාදනය කළා. මේ වගේ බොහෝ අත්දැකීම් තියනවා.

මට අමතක නොවන දෙවන අත්දැකීම තමයි, ඔහු මීට ටික කලකට පෙර ඔහු මට ආරාධනා කළා ඔහුගේ ඥාති පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍යකට ඇවිල්ලා ගීතයක්  ගායනා කරන්න කියල. එදා රාත්‍රියේ මම දෙල්කඳ තිබුණු ඒ විවාහ මංගල උත්සවයට ගිහිල්ලා ගීත ගායනා කෙරුවට පස්සෙ, මට අමතක වෙන්නෙ නැත්තෙ, ඔහු මට ස්තූති කරපු දිවිහ. මාව අගේ කරපු විදිහ. මාව වර්ණනා කරපු විදිහ. මම ඇවිල්ලා ගීතයක් ගායනා කළා විතරයි. ඒකට එච්චර වර්ණනා කරන්නෙ මොකටද? ඔහුගේ තිබුණ ඒ නිහතමානිකම, ඔහුගේ තිබුණ ඒ ගුණගරුක කම නිසා ඔහු ඕනාවටත් වඩා මාව අගේ කළා. ඒ දවසත් මට අමතක වෙන්නෙ නෑ.

ඒ වගේම උපාලිගෙ ශල්‍යකර්මයට පස්සේ ආ‍රෝග්‍ය ශාලාවේ ඔහු සිහිසුන්ව ඉන්න විට මට අවස්ථාව ලැබුණා ඔහු ආසන්නයට ගිහිල්ලා ඔහුව බලන්න. බට හැම තැනින්ම ගහලා, මැෂින් හැමතැනින්ම ගහලා තිබුණෙ වරින්වර ඇස් අරින්නවා. ඇස් වහනවා. ඇස් ලොකුකරලා බලනවා. මම එතන හිටපු නර්ස්ගෙන් හපුවාම කිව්වා සිහිය එනවා ආයේ නැතිවෙනවා නිදි වර්ජිතව තමයි ඉන්නෙ කියල කිව්වා. මම පොඩ්ඩක් කතා කෙරුවට කමක් නැද්ද කියල ඇහුවා. හෙදිය කමක් නෑ කිව්වට පස්සෙ මම කිව්වා ‘උපාලි මම කීර්ති’ කියලා. මම තව පාරක් කිව්වා, ‘උපාලි මම කීර්ති’ කියලා. එතකොට උපාලි ඇස් දෙක ලොකුකරලා ඇස්දෙක පුංචි කෙරුවා. ඒ සමගම ඔහුගේ දෑස් වලින් පුංචි කඳුළු බිංඳු දෙකක් ගලාගෙන ගියා. උපාලිට මම කිව්ව එක ඇහුණා. නමුත් උපාලිට කතාකරන්න බෑ. උපාලිගෙ මනසට මගේ වචන ටික ගියා. කඳුළු බිඳු දෙකෙන් සංකඛේතවත් කළේ ඒක. එය මගේ ජීවිතයේ තවත් අමතක නොවන සිදුවීමක් වුණා.

උපාලි කියන්නෙ සංගීතඥයෙක් කියන එක අපි අමතක කරල දාමු. උපාලි කියන්නේ පුදුමාකාර මනුස්සකමින් පිරුණු ඉතාමත් සත්ගුණවත් චරිතයක්. ඔහු මොන විදිහටද වර්ණනා කරන්නෙ කියල කියන්න බැහැ. හැම පැත්තක්ම, ඔහුගේ හොඳ කියන්න ඕන නම් හැමපැත්තක්ම ඔහු අංග සම්පූර්ණ කරල තිබුණ. ඔහු ඉතාමත් හොඳ ස්වාමි පුරුෂයෙක්, හොඳ පියෙක්, හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ඒ වගේම ඔහු සමාජයේ පොදුවේ නොදන්නා කෙනෙකුට පවා ඉතාමත් හිතවත්ව කතා කරන කිසිම ආඩම්බරයක් නැති නිහතමානි මනුස්සයෙක්. උපාලි ගැන බොහෝ දේවල් මම විතරක් නෙමෙයි මේ ගොඩක් අය දන්නවා.

මට දවස් කිහිපයකට පෙර හිතුණ අදහසක් මම ඉදිරියෙදි ක්‍රියාත්මක කරනව. උපාලි වැනි මේ වටිනා චරිත පිළිබඳව අපි මේ සමාජය දැනුවත් කරන්න ඕනැ. උපාලි ගැන දන්නෙ අපි බොහොම සුළුතර පිරිසක්. ළඟින් ඇසුරු කළ සුළු පිරිසක් තමයි මේ උපාලිගෙ ඇත්ත චරිතය මොනවගේද කියල දන්නෙ. මේ සමාජයට ඉතාමත් හිතකර දේවල් මේ උපාලිගේ ජීවිතය ඇතුළෙ තියනව. මේ තොරතුරු ඔහුගේ සමීපතමයන් විසින් අපිට ලබා දෙනව නම්, අපි පොතක් හැටියට, පුස්ථකයක් හැටියට පළ කරල සමාජගත කරල ඊළඟ පරපුරට ඔහුගෙ තොරතුරු මේ ඔහුගෙ ගුණ ධර්ම ලබාදෙන්න පුළුවන්නම් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. මේ ලොකේ බිහිවෙච්ච ඉතාමත් වටිනා චරිත පිළිබඳව අපි චරිතාපදානයන් අපි කියවනව. ඒව සමාජයට වැදගත් වෙනව. ඒවා තුළින් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම වැදගත් වන චරිතයක් තමයි උපාලි කන්නන්ගර කියල කියන්නෙ. ඒක නිසා මම ඒ කර්තව්‍යයට අතතියනව. උපාලි හිතවතුන්ගෙන් ඒ ලිපි අරගෙන, ජීවිත කතාව ලියල, උපාලිගේ ඒ වැදගත් දේවල් ඒ පුස්තකයට ඇතුළත් කරල අපි පුස්තකාලවලට දුන්නොත් ඊළගට ඉගෙන ගන්න දරුපරපුර ඔහුගේ සංගිත කටයුතුවළට අමතරව මනුස්සකම් පිලිබඳව ඉගෙනගන්න බොහෝදේ අපිට තියනව. මම හිතන්නෙ උපාලි වෙනුවෙන් මට කරන්න පුළුවන් ලොකුම කළ ගුණ සැලකීමතමයි ඒක කියල. උපාලි ගැන කතා කරන්න බොහෝ අය ඉන්නව, උපාලිගෙ අඩුව අපිට කවදාවත් පිරිමහන්න බෑ. හොඳ දක්ෂ සංගිතඥයෙක් වගේම ගුණගරුක මිනිහෙක් එකතුවෙලා ඒ විදිහට හැදෙන්නෙ බොහොම කලා තුරකින්. මම හිතන්නෙ නෑ. ඒ වගේ තවත් කවුරුවත් ඉන්නව කියල. ඒ නිසා තමයි අපි හැමෝටම ඒ අඩුව ලොකුවට දැනෙන්නෙ. මගේ කතාව මෙතනින් නවත්වනව මම උපාලිට නිවන් සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නෙ තව සංසාරේ බොහෝ ගමනක් ගියාට පස්සෙ. උපාලි නැවත වාරයක් අපි අතර උපදින්නට ඕනැ. ඒ වගේ ගුණගුරුක මිනිසුන් දක්ෂයින් අපි අතර ඉන්නට ඕනැ. මේ ලක් පොළොවේම ඔහුට ඉපදෙන්නට වාසනාව ලැබේවා!

අවමංගල සභාව අමතා අර්නස්ට් සොයිසා, එඩ්වඩ් ජයකොඩි ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙක්ම කතා කළ අතර පත්මකුමාර ජයකොඩි මහතා පිළිගැනීමේ කතාවත් ස්තුති කතාවත් කළේය. උපාලිගේ බිරිඳ ඉන්ද්‍රානි කන්නන්ගර මහත්මිය ද උපාලිගේ ගුණ වර්ණනා කරමින් පසුගිය අවසන් දින කීපය ගැන විශේෂ සඳහනක් කිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. බොහෝ අවමංගල්‍ය උත්සවවල සැමියා මිය ගිය පසු බිරියට අවසාන කටයුතුවල ආගමික කටයුතු කිරීමට පවා හිත හදාගත නොහැකි තත්ත්වයක් මම බොහෝ විට දැක ඇත. එහෙත් උපාලිගේ ප්‍රිය බිරිඳ උපාලි ගැන වචන කීපයක් කතාකිරීමට තරම් මනස එකඟකර ගෙන තිබිණි. ඒ ඇය සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකළ නිසා යැයි සිතමි. උපාලි වගේම ඇය ද ආදර්ශයක් කර ගත යුතු චරිතයකි. ගායක ගායිකා සංගමයත් එහි සභාපති කීර්ති පැස්කුවල් මහතාත් සංගීත ශිල්පීන් වෙනුවෙන් කරන මෙහෙය කවුරුත් අගය කළහ.

නව පරපුරේ කිසිම ශිල්පියෙක් අවසාන කටයුතු කරන ස්ථානායට පැමිණ නොසිටීමත් කැපීපෙණුනු අතර පියවරුන්ගේ ගීත ගයන ගායක පුතුන්ද පෙනෙන්නට නොසිටියහ. එම ගායක ගායිකාවන්ගේ පියවරුන් වෙනුවෙන් ජීවිතයෙන් සමුගෙන යන උපාලි කොතරම් සංගිතය සපයන්න ඇත්ද? තනු නිර්මාණය කරන්න ඇද්ද?

උපාලි ඔබ වැනි උතුම් මිනිසුන් මෙලොවින් සමුගන්නාවිට මේ ලොව ජන ශූන්‍ය භූමියක් වැනිය. ඔබට නිවන් සුව!

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *