කිසිවකුට පාගා දැමිය නොහැකි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් හදනවා – අගමැති

 

ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක්. ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැති බව මම අවධාරණය කරන්නට කැමතියි. ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් රැකගැනීමට මේ රටේ බොහෝ දෙනා එකට එකතුවුණා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්, මේ සටනට හැකි ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දුන්නා. ඔවුන් හැමදෙනාම මේ සටනට එකතුවූයේ පෞද්ගලික න්‍යායපත්‍ර උදෙසා නොවෙයි. රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ සියලු දෙනාටම මම මගේ හිසනමා ආචාර කරනවා.

පසුගිය වසර තුන හමාරක කාලය තුළ අපි බොහෝ දේ කළා. ඒත් කරන්න බැරිවුණ දේත් තියනවා. අපි අපේ අඩුපාඩු නිවැරැදි කරගන්නව. විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කරනව. විවිධ ජාතීන්ට සාමයෙන් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් අපි ඇති කළා. අපි සාමය හා සංහිඳියාව වෙනුවෙන් නිරන්තරව කැප වෙනවා. දැන් අපි ඉදිරියට යා යුතුයි.

මේ වන විටත් අපි විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා ආරම්භ කරල තියනව. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුටම සාධාරණය ඉටු වෙන දේශපාලනමය විසඳුමක් ගෙනඒම සඳහා අපි දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනව. ජනාධිපතිවරණය ජයගැනීම සඳහා රට බෙදන එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ගිවිසුම් ගහන්න මම ගියෙ නෑ. එදා මම මගේ මාතෘභූමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කෙරුවා. අදත් මම ඒ ප්‍රතිපත්තියෙන් වෙනස්වෙලා නෑ. අනාගතයේත් අපේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පුළුල් සංධානයක් පිහිටුවීමයි. අනාගත පරම්පරාවට බියෙන් තොරව හිස කෙළින් තබාගෙන නිදහසේ ජීවත් විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන සියල්ලන්ගේම අයිතිය රැකදෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි.

කිසිම අවස්ථාවක කිසිදු බලවේගයකට පගා දැමිය නොහැකි අන්දමින් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි. අපි සියලු දෙනාගේම හදවත් ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක්. ඒ නිසා අනෙක් සියලු බේද පසෙකලා අපේ මාතෘ භූමිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ජනතා අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපන් පරම් පරාවට නිදහස් රටක් උරුම කරදීම වෙනුවෙන් මේ පුළුල් සංධානය හා අත්වැල් බැඳගන්නා ලෙස මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා.

මනෝජ් රූපසිංහ

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *