ජනපති නමැති ආර්ථික ඝාතකයා – සිරිසේන රාජපක්ෂ

ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා විසින් පවැති ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමට ගත් තීරණය හේතුවෙන් රටේ දේශපාලනය පමණක් නොව ආර්ථිකයද බලවත් අර්බුදයකට ඇද දමා ඇති බව පෙනෙන්නට තිබේ. පවතින දේශපාලන උණුසුම හේතුවෙන් රුපියලේ බාල්දුව සහ ඩොලරයේ නැඟීම රටට අමතකව ඇති නමුත් රුපියල බාල්දුවීම නතර වී නැත. ඉතිහාසයෙ පැවති ඉහළම අගය දක්වා ඩොලරය මේ වන විට ඉහළ නඟිමින් පවතී.

ලබන වසරේ පටන් ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති වාර්ෂික ණය ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 04ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නොවැම්බර් මුල දී ප්‍රකාශකර තිබුණි. ඉදිරි වසර පහක කාලය තුළ පොලිය නොමැතිව ශ්‍රී ලංකාව ගෙවිය යුතුව ඇති විදේශණය නැවත ගෙවීම්වල අගය එක්සත් ජනපද ඩොලර් බිලියන 20ක් බව කියැවේ.

එකී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණපා ඇති අලුත්ම කණගාටුදායක තත්ත්වය වන්නේ, ලොව ප්‍රධාන පෙළේ ජ්‍යාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ අයතන තුනක් විසින් මාසයක කාලයක් තුළදී ශ්‍රී ලංකාව අවදානම් ශ්‍රේණිගත කිරීම් මට්ටම්වලින් පහළ හෙළීමයි. ඒ අතරින් දෙකක් වන්නේ දෙසැම්බර් 03 දා ෆිච් රේටිරේටින්ග්ස් සහ දෙසැම්බර් 04 දා එස් ඇන්ඩ් පී ග්ලෝබල්ස් රේටින්ග්ස් ආයතනය මෙරට දිගුකාලීන විදෙස් ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමය. එයට ප්‍රථම එනම් නොවැම්බර් 20 දා  මූචිස් ආයෝජන සේවා ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත්කිරීම් සහ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම බී 1 (සාජා) සිට බී 2 ස්ථාවර දක්වා පහත හෙළනු ලැබිණ.

ෆිච් රේටින්ස් ආයතනය පවසන ආකාරයට ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 නව අග්‍රාමාත්‍යවරයකු පත්කිරීම හේතුවෙන් ඇති වු දේශපාලන අර්බුදය එම ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේ පහළ මට්ටමට ඇද දැමීමට බලපෑවේය. දේශපාලන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ප්‍රතිපත්තිවල අවිනිශ්චිත බව, අයවැය ඒකාග්‍රතාව මන්දගාමී වීමේ අවධානම මෙන්ම විදේශ ණය නැවත ගෙවීම් පිළිබද ඇති වු අවදානම යන කරුණුද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමට බලපානු ලැබූ බව ෆිච් රේටින්ස් ආයතනය සඳහන් කර තිබේ.  ෆිච් රේටින්ස් ආයතනය පවසන ආකාරය අනුව ශ්‍රී ලංකාව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට 2019 සිට 2022 වසර දක්වා ගෙවිය යුතු විදේශ මුදල් ඒකක පදනම් වු ස්වෛරිත්ව ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 20.9කි.

ණය ශ්‍රේණිගත කිරීමේ අයතන විසින් ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණිවලට ඇද දැමීමේ ඊළඟ ප්‍රතිඵලය වන්නේ මෙරට කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය බිඳවැටීමයි. එපමණක් නොවේ. වෙළෙද පොළින් ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට ඇති අවස්ථාවට ද ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහළ වැටීමෙන් බලපැම් ඇතිවේ. ණය ශ්‍රේණිගත කිරීමේ පහළට වැටුණු රටක ආයෝජනය කරන්නට ආයෝජකයන් කැමති නොවන්නා සේම එවැනි රටකට ණය ලබාදීමටද ණය දෙන ආයතන මන්දෝත්සාහී වනු ඇත.

දේශපාලන අර්බුදය මෙරටට ණය ලබාදීම උදාසීන කිරීමට හේතු වී ඇති බවට එක් උදාහරණයක් වන්නේ, ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට 2016 වසරේ දී එකඟතාව පළකර තිබුණු ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ ඩොලර් බිලියනයකට වැඩි කොටසක් නිකුත් කර තිබිය දී දෙසැම්බර් මාසයේ ලැබීමට නියමිතව තිබුණු ඉතිරි කොටස නිදහස් කිරීමේ සාකච්ඡා කල් යෑමයි. ඊට බල පෑ හේතුව වන්නේ මෙරට පවතින වත්මන් දේශපාලන තත්ත්වයි.

පවතින දේශපාලන අර්බුදය ඉදිරියටත් පැවතුණ හොත් එකී තත්ත්වය හමුවේ මෙරට යහපාලනය, මානව හිමිකම්, සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ලවේ නම් ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට රටවල් කිහිපයක් අනතුරු අගවා තිබේ.

ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරු කිරීම නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටින් කළ ඉල්ලීම ඒ අතරින් එකකි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කතානායක වරයා සමඟ සාකච්ඡාකර නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත්කර ගන්නා ලද නියෝජිතයාට ඔවුනගේ වගකිම් ඉටුකිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත්ය.

කොළඹ යුරෝපා සංගමයේ මෙහෙයුම් ප්‍රධානින්ගේ එකඟතාව අනුව යුරෝපා සංගමයේ නියෝජිත ආයතනය ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම ප්‍රචණ්ඩත්වයෙන් වැළකීම නෛතික ක්‍රමවේද අනුව කටයුතු කිරීම මාධ්‍ය නිදහසට ගරුකිරීම යන කරුණු ගැන උනන්දුවෙන් කටයුතු කරන ලෙසය.

හියුමන් රයිට්ස් වොච්, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානද ප්‍රජාතාන්ත්‍රිකව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

එමරිකා එක්සත් ජනපදයෙන් ලැබීමට තිබුණු මිලියන ගණනක ආධාර වැඩසටහනද දේශපාලන අර්බදය හේතුවෙන් ප්‍රමාද වී තිබේ. ලයිට් රේල් ව්‍යපෘතිය සඳහා ජපානයෙන් ලැබිමට තිබුණු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක මුදල ප්‍රමාද වීමට මෙන්ම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබීමට නියමිතව තිබුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මුදල ප්‍රමාද වීම‍ට හේතු වී ඇත්තේ ද වත්මන් දේශපාලන අර්බුදයයි.

ආර්ථික වර්ධන වේගය අනුව ශ්‍රී ලංකාව පවතින්නේ කලාපයේ අනෙකුත් සියලු රටවලට පහළිනි. පසුගිය සමයේ එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් ලොව සියලු රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීම දක්නට ලැබුණි. කෙසේ වෙතත් වෙනත් රටවල මුදල් ඒකක මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බව පෙනේ. නමුත් ශ්‍රී ලංකාවේ රුපියල තවමත් පවතින්නේ වාර්තාගත අයුරින් පල්ලම් බසිමිනි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට නම්, අනිවාර්යෙන්ම දේශපාලන ස්ථාවරත්වය ගොඩනගාගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයත් නීතියේ ආධිපත්‍යත් සුරක්ෂිත නොකරන තුරු මෙරට ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම හුදු සිහිනයක් පමණක් වනු ඇත. ගැටලුව වන්නේ මෙරට පාලකයන් එම යථාර්ථය තේරුම් ගෙන රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්නට ඉදිරිපත් නොවීමයි. ‘225 ම අත්සන් කළත් මම දෙන්නේ නැහැ’ වැනි කියුම් වලින් පැහැදිලි වන්නේ එයයි.

සිරිසේන රාජපක්ෂ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *