ජනාධිපතිවරයාට අවුරුදු හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි. – අගවිනිසුරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මින් මොහොතකට පෙර ඒකමතිකව තීන්දු කළේය. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කරයි. ඒකමතික තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිර ද ආබෲ වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 4 වනදා සිට 7 වනදා දක්වා පැවත්විණි. බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි විශාලම නඩු ශාලාව වන අධිකරණ ශාලා 502 දී ප්‍රකාශ කළ තීන්දුව දැක බලා ගැනීම පිණිස නීති විශාරදයින්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය දෙසැම්බර් 07 වනදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබුවේය.

ව්‍යවස්ථා අර්බුදයේ පසුබිම

පසුගිය ඔක්තෝබර් 26 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය. තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ. එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 13 වන දින අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෙසැම්බර් 07 වන දින දක්වා අත්හිටුවන ලද අතර, පසුව එම අතුරු නියෝගය දෙසැම්බර් 10 වන දින දක්වා දීර්ඝ කරනු ලැබ තිබිණ.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය

2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා දෙකක සඳහන් වේ. ඒ 70 සහ 33 ව්‍යවස්ථාවලය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබාගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට අවසර තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට පමණය. එහෙත් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ක්‍රියාවකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ඕනෑම පුරව්සියෙකුට අවස්ථාව හිමිවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *