19 ට ආරියාදුව – සම්පත් අමරසිංහ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංසෝධනය තම රජයක් යටතේ අනිවාර්යෙන්ම වෙනස් කරන්නට සිදු වනු ඇති බව පවසා තිබුණේ නීති විරෝධි ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාය. එපමණක් නොවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවද මන්ත්‍රිවරයා පවසා තිබුණි.

19 සම්බන්ධයෙන් තමා කණගාටු වන්නේ කවර හේතුවක් නිසාදැයි ලක්ෂමන් යාපා මන්ත්‍රිවරයා පැහැදිලි කර නැත. එහෙත් 1978 ව්‍යවස්ථාවට 19 වැනි වතාවටත් සංසෝධනයක් අවශ්‍ය වුයේ මන්ද යන්න මෙහිදී පැහැදිලි කර ගත යුතුය. එහි දී එයට හේතු වූ කරුණු අතර, ව්‍යවස්ථාවෙන් රටේ විධායකය වන ජනාධිපතිවරයාට අත්පත් කොට දී තිබුණු අසීමිත බලය කප්පාදු කිරීමේ අවශ්‍යතාව ප්‍රධාන වූ බව කවුරුත් දන්නා කරුණකි.

දැනට අධිකරණය හමුවේ පවතින ජනාධිපතිවරයා සතු පත්වී වසරකට පසුව ආණ්ඩුව විසුරුවා හැරීමේ බලය අහෝසි කිරීම 19 වැනි සංශෝධනයෙන් ගත් වැදගත් පියවරකි. ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවක් බලයට පත් වන්නේ ද නිශ්චිත කාලසීමාවක් තිස්සේ සිය බලය පවත්වාගෙන යාම සදහාය. ආණ්ඩුවක් බලයට පත්කිරීමේ බලය ඇත්තේ ජනතාවට නම් එසේ පත්කළ ආණ්ඩුවේ බලය අහෝසි කිරීමේ බලයද සතුවිය යුත්තේ ජනතාවටය. නමුත් 1978 ව්‍යවස්ථාව අනුව තම තනි මතය පරිදි වසරකට පසුව ආණ්ඩුවක් විසුරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට ලබාගෙන තිබුණි. ජනතාවගේ බලයෙන් පත්වූවේ යැයි උදම් අනන ජනාධිපතිවරයා සතු බලය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව පාර්ලිමේන්තුවට නැතැයි තර්ක කරන අයම ජනතාවගේ ඡන්දයෙන්ම වසර පහක් සදහා පත්වන ආණ්ඩුවක් ජනතාවගෙන් නොවිමසා බලයෙන් පහකිරීමේ අයිතියක් ජනාධිපතිට හිමවන්නේ කෙසේ දැයි ප්‍රශ්න නොකිරීම ගැටලුවකි.

විධායක ජනාධිපතිට මරණය දක්වා බලයේ සිටිය හැකි වන පරිදි 18 වැනි සංශෝධනය ගෙන ආ පිරිසෙන් කෙ‍නකුවන ලක්ෂ්මන් යාපා මන්ත්‍රිවරයා 19 ගැන ආඩපාලි කතා කීම ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් කරන්නක් නොවන බව කාට වුව වැටහිය යුතුය. ඔවුනට 18 ගැන කණගාටුවක් නැත. කණාටුව ඇත්තේ 19 ගැනය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත්කිරීමත් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක්වී තිබේ. එපමණක් නොව මේ වන විට අධිකරණය විසින් ජනාධිපතිවරයාගේ එම ක්‍රියාමාර්ග දෙකටම වාරණ නියෝග පනවා තිබේ. මෙය පැහැදිලි ලෙසට අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රකාශමාන වීමකි. මෙයට පෙර ජනාධිපතිවරයා සිය නිලකාලය සම්බන්ධයෙන් අධිකරණය විමසු විට අධිකරණය ලබා දුන් පිළිතුර ඔස්සේ ද විද්‍යාමාන වූයේ අධිකරණයේ බලය 19 වැනි සංශෝධනය ඔස්සේ තහවුරු වී ඇති ආකාරයයි. 19 වැනි සංශෝධනය නොතිබුණේ නම් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට වත්මන් අධිකරණය සම්බන්ධයෙන්ද ක්‍රියා නොකරන්නේ නැත.

එකල කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයක් සදහා පත්කළ පාර්ලිමේන්තු තෙරීම් කාරක සභාව විධිමත් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ 2013 ජනවාරි මාසයේය. එයට දින කිහිපයකට පසුව, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවගත් තීරණය නිශ්ප්‍රභ කරන්නටද අභියාචනාධිකරණය පියවර ගත්තේය. ප්‍රතිඵලය වුයේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුට මරණ තර්ජන එල්ල වීමයි. එපමණක් නොවේ කතානායක චමල් රාජපක්ෂ ඉහත අභියාචනාධිකරණය ගත් තීන්දුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගණන් ගත්තේද නැත. 19 වැනි අංශෝධනය විසින් දේශපාලකයනට හෝ පාලකයනට එසේ ඔලමොළ ආකාරයෙන් හැසිරීමට ඇති ඉඩ අහුරා තිබේ. ලක්ෂ්මන් යාපා වන්නවුන්ගේ 19 සංශෝධන විරෝධයේ මූලික හේතු ඇත්තේ එතැනය.

පසුගිය ආණ්ඩුව සමයේ සිදු වු අපරාධ රැසක පරීක්ෂණ මෙහෙය වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එකී පරීක්ෂණ වලින් ඉවත් කොට මීගමුව ප්‍රදේශයට මාරුකර යැවුණේ ලක්ෂ්මන් යාපා මන්ත්‍රිවරයාද ඇතුළත් මහින්ද රාජපක්ෂ නීතිවිරෝධි අගමැතිවරයාගේ පාලනය යටතේය. නිශාන්ත සිල්වා මහතාගේ මාරුකිරීමට එරෙහිව නැගුණු දෑවැන්ත මහජන විරෝධයට අමතරව එහි දී නිශාන්ත මහතාගේ ශක්තියට තිබුණේ පොලිස් කොමිසමයි. තමාගේ ස්ථාන මාරුව පිළිබද නිශාන්ත මහතා පොලිස් කොමිසමට පැමැණිලි කළ අතර මාරුව පිළිබද පොලිස් කොමිසම විරෝධය පළ කළේය. නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරන්නට පොලිස්පතිවරයා‍ට සිදු විය. පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කෙරුණේ 19 වැනි සංශෝධන හේතුවෙනි. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ලක්ෂ්මන් යාපා ඇතුළු මන්ත්‍රිවරුන් ගේ ආශිර්වාදයෙන් ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් සිදුකර තිබුණේ ස්වාධීන කොමිෂන් සභා අත පය ගැටගසා මුල්ලකට කිරීමයි.

ඉදිරි මැතිවරණයේ දී තමන්ගේ පක්ෂයට මන්ත්‍රිධුර 120 කට වඩා වැඩි බලයක් ලබා දුනහොත් 150ක බහුතරයක් හදාගෙන 19 වන සංශෝධනය වෙනස් කර  සාධරණ ලෙස රට ඉදිරියට ගෙන යන්නට හැකි වනු ඇති බවද ලක්ෂ්මන් යාපා මන්ත්‍රිවරයා සිය ඉහත කතාවේදී පවසා තිබුණි.

ලක්ෂමන් යාපා මන්ත්‍රිවරයා ඇමති ධුර දැරූ මහින්ද රාජපක්ෂ පසුගිය ආණ්ඩු සමයේ 18 වන සංශෝධනය සදහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය සකසාගෙන තිබුණේ අනියම් ආකාරයෙනි. එනම් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරුන් නොයෙකුත් වරදාන ලබා දි බිලිබාගෙන මහ මැතිමැරණයෙන් ජනතාව ලබා නොදුන් බලයක් පාර්ලිමේන්තුවේ ගොඩනගා ගැනීමෙනි. එකල පැවති පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තුවක් නොව විකෘත්තියක් බව ඇතැමුන් චෝදනා කළේද එහෙයිනි. ඊළඟ මැතිවරණයෙන් පසුවද ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිස කුරුමානම් අල්ලන්නේ ව්‍යාජ ක්‍රම ඔස්සේ බහුතර බලයක් ගොඩනගාගෙන අත්තනෝමතික පාලනයකට අවතීර්ණ වීමට බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනේ. 19 වැනි වයවස්ථා සංශෝධනය ක්‍රියාත්මකව පවතින නිසාත් ඊළග මහමැතිවරණය පැවැත්වෙන්නේ ස්වාධින මැතිවරණ කොමිසමේ අධික්ෂණය ය‍ටතේ වන නිසාත් ඔවුන්ගේ සුපුරුදු ඡන්ද කොල්ලය පෙරපරිදි කරන්නට ලක්ෂ්මන් යාපා ගේ කල්ලියට හැකි නොවනු ඇත. එහෙත් මේ වන විටත් මහින්ද ඇතුළු කල්ලිය ඊනියා බදු සහන මිල අඩුකිරීම් ඔස්සේ ඡන්දයකට සූදානම් වෙමින් සිටිති. වක්කඩෙන් අතසෝදාගෙන නාමයෝජනා අත්සන් කළ පරම්පරාවක් ගැන කියමින් බලය ලබාගෙන පසුගිය වකවානුවේ රටට කළ හරිය මතක ඇති නම් ජනතාව කළ යුත්තේ එන පොට හො ද නැහැ කෙල්ල ගෙට ගනු කියා පරිස්සම් වීමයි.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *