අමිල හිමි සහ ප්‍රොෆෙසර් විජේසූරිය (සංඛේත දෙකක් පමණයි) – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

“ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කළ මාගේ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ජාතික ලොතැරැයි මණ්ඩලයෙන් මා අනුග්‍රහයක් ලබා ඇත. මේ අන්දමට අනුග්‍රහය ලැබූ ලංකාවේ ප්‍රථමයා මම නොවෙමි. පසුගිය මාස එකොළහ තුළ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ලොතරැයි මණ්ඩලයෙන්ම අනුග්‍රහය ලබා ති‍බෙන බව දැනගන්නට ලැබුණි. ඇතැම් අය ලක්ෂ විස්ස විසිපහ පවා අනුග්‍රහය ලබා ඇත. ඒ අය අතර සැලකිය යුතු පිරිසක් රාජපක්ෂවරුන්ට හිතෛෂීහු වෙති. ඒ නිසා ඇතැමුන්ට ඒ පිළිබඳ විවේචනයක් නැත. තතු කෙසේ වෙතත් කලාකරුවන් නර්තනවේදින් යනාදි පුද්ගලයන්  මෙන් සාහිත්‍ය කරුවන්ද කවර ආයතනයකින් හෝ අනුග්‍රහයක් ලැබීම වරදක් නොවන බව මම පවසමි. සම්භාව්‍ය ගණයේ ලේඛක ලේඛිකාවන්ට එය තමන්ගේ තත්ත්වයට මදිකමක් වන්නට පුළුවන. මම සම්භාව්‍ය ගණයේ ලේඛකයකු යයි මම නොසිතමි. මට ලබා දී තිබෙන අනුග්‍රහය වැඩි යයි සිතන්නේ නම් ඒ වූ කලී තම තමන්ට අදාළ අරෝවකි.

ඉහත ඡේදය උපුටා ගත්තේ 2018.12.09 අනිද්දා පුවත්පතට මහාචාර්ය සරත් විජේසූරිය සපයා තිබුණු ලිපියෙනි. සරත් විජේසූරිය මහතා සිය ලිපිය මුලුමන්න්ම පාහේ වෙන්කර තිබුණේ ඒ මහතාගේ පොත් දොරට වැඩුමකට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණාය කියන අනුග්‍රහයක් සම්බන්ධයෙන් සහ ඒ මහතාට විවිධ පාර්ශව වලින් එල්ලවන විවිධ චෝදනා සම්බන්ධයෙන් ඒ මහතාගේ අදහස ප්‍රකාශ කරන්නටයි. ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තම අදහස දැක්වීමට ඒ මහතා සතු අයිතිය පිළිගන්නා අතරම අදාළ කරුණ, එනම් සරත් විජේසූරිය මහතාට පොතක් දොරට වැඩීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ලැබුණා යැයි පැවසෙන අනුග්‍රහය සම්බන්ධව මාගේ පෞද්ගලික අදහස දැක්වීමට මේ ලිපිය ලියමි.

පොතක් දොරට වැඩීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනුග්‍රහය ලාගැනීම සම්බන්ධයෙන් සරත් විජේසූරිය මහතාට චෝදනා එල්ල වන පසුබිම පළමුව විමසා බැලිය යුතු බව මගේ අදහසයි. එසේ චෝදනා එල්ලවන්නට පළමු ‍හේතුව විජේසූරිය මහතා පැවති රාජපක්ෂ රෙජීමය පරාජය කොට යහපාලන ආණ්ඩුවක් බලයට ගෙන ඒමට කරන ලද කැපකිරීමයි. දෙවනුව ඒ මහතා මේ මොහොතේ රටේ පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙළට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමයි. තෙවනුව ඒ මහතා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වත්මන් නායකයා වීමයි. එම කාරණා තුන නොවන්නට සරත් විජේසූරිය මහතාට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අනුග්‍රහයක් ලැබීම කිසිවෙකු විසින් වත් ප්‍රශ්න ‍කරනු ඇතැයි සිතන්නට බැහැ. සරත් විජේසූරිය මහතා ලොතරැයි මණ්ඩලයෙන් ලබාගත් අනුග්‍රහය ප්‍රශ්න කරන්නේ ප්‍රධාන වශයෙන් යහපාලන විරෝධීන් විසින් වීම ඊට හොඳ උදාහරණයක්.

මට වැටහෙන ආකාරය අනුව සරත් විජේසූරිය මහතා ලොතරැයි මණ්ඩලයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනයකින් හෝ අනුග්‍රහයක් ලබා ගැනීම ගැටලුවක් වන්නේ ඉහත සන්ධර්භය තුළිනි. එතුමා පෙනී සිටින්නේ යහපාලනය වෙනුවෙන් නම් එසේ රාජ්‍ය ආයතනයකින් පෞද්ගලික වාසියක් ලබා ගැනීම යහපාලන ප්‍රතිපත්තිවලට කොතරම් ගැලපේද යන්න විමසා බැලිය යුතුයි. තමා ලබාගත් අනුග්‍රහය සාධාරණීකරණය කිරීමට මහචාර්යවරයා නගන තර්කය එසේ අනුග්‍රහය ලබාගත් පළමු පුද්ගලයා තමා නොවන බවයි. පසුගිය මාස එකොළහ තුළ ලොතරැයි මණ්ඩලයෙන්ම දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අනුග්‍රහ ලබා ඇති බවත් ඉන් ලක්ෂ විසිපහ පවා ලබාගෙන ඇති බවත් විජේසූරිය මහතා කියනවා.

විජේසූරිය මහතා ලබාගත් බව කියන අනුග්‍රහය රටේ ඕනෑම ලේඛකයකුට ලබාගත් හැක අනුග්‍රහයක් නොවන බව පැහැදිලියි. එවැනි අනුග්‍රහයක් ලබාගන්නට නම් යම් සිවිල් බලයක් දේශපාලන හයියක් පෞද්ගලික දැනහැඳුනුම්කමක් වැනි අමතර සුදුසුකමක් තිබිය යුතුයි. ඒ අනුව බලන කල යහපාලන ආණ්ඩුව සමග සරත් විජේසූරිය මහතාට පැවති සම්බන්ධතා ඍජුව හො වක්‍රව ඉහත අනුග්‍රහය ලබා ගැනීම සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතිය නොහැකිද?

විජේසූරිය මහතා යනු පොතක් මුද්‍රණය කොට එළිදක්වා ගත නොහැනි තරමේ අසරණයකු නොවෙයි. එළි දැක්වීම තබා පොතක් මුද්‍රණය කර ගන්නටත් නොහැකිව ළතැවෙන ලේඛක ‍ලේඛිකාවන් කොපමණ සංඛ්‍යාවක් මේ රටේ ඉන්නවාද? එවැනි වටපිටාවක ලොතරැයි මණ්ඩලය හෝ වෙනත් ආයතනයක් හෝ බලපුළුවන් කාරයන්ට ලක්ෂ විසිපහ බැගින් පවා අනුග්‍රහ දක්වන්නේ නම් සාධාරණ සමාජයක් හෝ යහ පාලනයක් වෙනුවෙන් පෙනී සිටින කවරකු හෝ කළ යුත්තේ එසේ ලබා ගන්නා දෙසිය දෙනා අතුරින් එක් අයකු වීමද?

ලොතරැයි මණ්ඩලයේ මුදල් යනු කාගේ හෝ පෞද්ගලික බූදලයක් නොවේ. එවැනි ආයතනයක මුදල් හිතවත්කම් හෝ පෞද්ගලික සම්බන්ධකම් හෝ දේශපාලන හෝ සිවිල්බලය අනුව බෙදන්නේ නම් එය යහපාලනය නොවෙයි. යහපාලනයක් සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නන්ගේ වගකීම විය යුත්තේ පොත් දොරට වැඩීමට හෝ වෙනත් කලාත්මක කටයුත්තකට වැය කළ හැකි මුදලක් ලොතරැයි මණ්ඩලය සතු නම් දක්ෂතාවය හා අවශ්‍යතාවය අනුව කාටත් සාධාරණව එම මුදල් භාවිත කළ හැකි පරිදි වැඩ පිලිවෙළක් සැකසීමට මුලිකත්වය ගැනීමයි.  නමුත් විජේසූරිය මහතා ඒ වෙනුවට කර ඇත්තේ තමන්ගේ කොටස වෙන්කර ගැනීමයි.

විජේසූරිය මහතාට පමණක් නොවේ දඹර අමිල හිමියන්ටත් එවැනිම චේදනාවක් එල්ලවී තිබුණා. ඒ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ඉන්ධන දීමනාවක් වශනේ මාසිකව රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් ලබාගෙන ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට ලිපියක් යවන දඹර අමිල හිමි රයිගම්, සල්පිට හේවාගම් පස්යොදුන් යන කෝරළවල ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය දරන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධුරයක් ද දරන බවත් කියා පුරා විද්‍යා පර්යේෂණ සහ ‍ශාසනික කටයුතුවල නිරතවන නිසා වියදම් පියවා ගැනීමට ලිට්‍රෝ සමාජම සමාජ කටයුතුවලට වෙන්කරන මුදලින් ආධාරයක් ඉල්ලා ඇති බව කියනව. ඉහත ඉන්දන දීමනාව ලැබී ඇත්තේ ඒ අනුවයි. අප දන්නා තරමින් ශාසනික කටයුතුවලට කෙසේ වෙතත් පර්යේෂණ ආදියට විශ්වවිද්‍යාල මට්ටමෙන් අරමුදල් ලබා ගන්නට පුළුවනි. ඒ නැතත් විශ්ව විද්‍යාලයෙන් ඒ හිමියන්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවා වන්නටත් පුළුවනි. අනෙක යහපාලන සම්බන්ධතා නොතිබෙන්ට අමිල හිමියන්ට ගැස් සමාගමෙන් දීමනාවක් ලැබෙනු ඇතැයි සිතන්නටවත් බැහැ. රාජපක්ෂ පාලනය යටතේත් ඔවුන්ගේ හිතවතුන් විශාල පිරිසකට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විවිධ අනුග්‍රහ ලැබී තිබෙනවා. වසන්ත ඔබේසේකර මහතාට මෝටර් රථයකට මාසික කුලිය 35,000ක් එම සමාගමෙන් ගෙනා ඇති අතර රෝහණ වීරසිංහ මහතාටත් වාහන කුලියක් ගෙවා ඇති බව කියනවා. නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් වන චම්පික කරුණාරත්න මහතාට රුපියල් 90,000ක් ද අක්මීමන දයාරත්න හිමියන්ට වාහනයක් සදහා මාසිකව 1,50,000ක් ගෙවා ඇත්තේ රාජපක්ෂ යුගයේ දී යි. නමුත් ඒ කිසිවක් නිසාවත් අඹර අමිල හිමියන් ලබාගත් රුපියල් 1,25,000ක දීමනාව සාධාරණීකරණය වන්නේ නැහැ. සිදුවිය යුතුව තිබුණේ රාජපක්ෂ යුගයේදී ගෑස් සමාගමෙන් අනිසි වාසි ලබාගත් අයට විරුද්ධව කටයුතු කිරීම හෝ ඉදිරියටත් එසේ වාසි ලබාගැනීමට නොහැකි වටපිටාවක් සැකසීම වුවත් එළිදරව් වී ඇති කරුණු අනුව පෙනෙන්නේ මහින්ද රෙජිමය නරත කළ තැනින් යහපාලන කණ්ඩායම වැඩ ආරම්භ කර ඇති බවයි. පසුගිය සතියේ ඉරිදා පුවත්පතක පළවූ වාර්තාව ඇත්තක් නම් මඟ නැගුම යටතේත් එවැනි විශාල පිරිසකට දීමනා වශයෙන් මුදල් වැයකර තිබෙනවා. මෙකී කරුණු ඇත්තක් නම් අප වැනි අහිංසක ඡන්ද දායකයන්ගේ යහපාලන බලාපොරොත්තුවලටත් ජනතාව යහපාලනය වෙනුවෙන් කළ කැපරීම් වලටත් තේරුමක් තියෙනවාද? සරත් විජේසූරිය දඹර අමිල හිමියන් වැනි අය අදටත් උපවාස උද්ඝෝෂණ කරන්නේ යහපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ද නැත්නම් රාජපක්ෂවාදීන් ලැබූ ප්‍රතිලාබ යහපාලනය යටතේ තමන් සතුකරගන්නට ද?

යහපාලන ආණ්ඩුවේ බලවතුන්ටත් ඉහත චෝදනාවලින් මිදෙන්නට හැකියාවක් නැහැ. දැන් බලනවිට යහපාලන ආණ්ඩුවටත් ඇත්තේ ජනතාවට ඇසට වැලි ගසා තමන්ට හිතවත් පරපුටුවන් පිරිසක් පෝෂණය කිරීමයි.

කටයුතු සිදු වී ඇත්තේ එසේ නම් හංසයා අතැහැර පොහොට්ටුව තෝරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට දොස් කියන්නට පුළුවන්ද? මේ තත්ත්වය තුළ මහින්ද විරෝධයේත් යහපාලන බලාපොරොත්තුවේත් එල්ලී සිටින අප වැනි දුහුනන්ට අත්වන ඉරණම කුමක්ද, රටේ අනාග පරපුරට සිදු වන්නේ කුමක් ද?

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *