ජනාධිපතිවරයා කරන ප‍්‍රකාශ එකිනෙකට පරස්පර විරෝධියි.. ජනාධිපතිවරයා දැන්වත් තමන්ගේ කුමන්ත‍්‍රණය පරාජය වූ බව පිළිගත යුතුයි – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අද මානව හිමිකම් දිනයයි. විශ්ව මානව හිමිකම් ප‍්‍රඥප්තිය නිකුත් කරලා අදට වසර 70ක් ගතවෙනවා. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මානව අයිතිවාසිකම් සුරැුකීම ආණ්ඩුවේ වගකීමක්. ලෝකයේ මානව හිමිකම් දිනය සමරන මොහොතකදී තමයි රටේ නායකයා දෙකෝටි දශලක්‍ෂයක් වූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඉන්නේ. ව්‍යවස්ථාව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න ජනාධිපතිවරයා බැඳිල ඉන්නවා. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව 19 වතාවක් සංශෝධනයට ලක්වෙද්දී රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව සාකච්ඡුා මතුවුණා. 19වැනි සංශෝධනයේ ප‍්‍රධාන අරමුණ වුණේ, රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමේ වුවමනාව තව දුරටත් තහවුරු කිරීමයි. එමෙන්ම එහි මුඛ්‍ය පරමාර්ථය වුණේ, තනි පුද්ගලයෙක් සතු ඒකාධිපති අත්තනෝමතික බලතල විවිධ ආයතනවලට පවරා ජනතාව අතට වැඩි බලයක් ලබාදීමයි.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් තහවුරු වෙන්න විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුව තිබෙනවා. බලයට පත්වෙලා දින 100කින් විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුණා. නමුත් ජනාධිපතිවරයාගේ පක්‍ෂයේ පිරිස් පවා 19වැනි සංශෝධනයට කකුල් මාට්ටු දැම්මා. එනිසා විධායක ජනාධිපතිධුරය මුලූමනින්ම අහෝසි නොකර බලතල කප්පාදු කරන තැනකට පත්වුනා. 19වැනි සංශෝධනය ඉදිරිපත්වෙලා ඒ පිළිබඳ වාද-විවාද මාස කිහිපයක් සිදුවුණා. ජනාධිපතිවරයා කියනවා 19 තකහනියේ සම්මත කරපු එකක් කියලා. එම ප‍්‍රකාශය අසත්‍යයයි. මාදුලූවාවේ සෝභිත හිමිගේ අභාවය සිදුවෙන්න කලින් සිටම ඒ සංවාදය තිබුණා. ඇත්තටම ප‍්‍රමාදයක් තමයි සිදුවුණේ. 2015 මාර්තු 12 සම්මත වෙන්න තිබුණ 19වැනි සංශෝධනය සම්මත වුණේ 2015 අපේ‍්‍රල් 27වැනිදා. මේ වෙනකොට මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා 19 හොඳ ටික අරගෙන අහිතකර දේවල් වෙන අයට පවරන්න හදනවා. 19යේ තවත් හොඳ දේවල් තිබුණා. ඒවා වෙනස් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය් මන්තී‍්‍රවරුමයි. පක්‍ෂ මාරුව වැලැක්වීමේ වගන්ති ඉවත් කළේ එජනිස මන්තී‍්‍රවරු විසින්මයි. මෑත කාලයේදී අතිශය බහුතර කැමැත්තකින් සම්මත වූ සංශෝධනයක් ලෙස 19වැනි සංශෝධනය හඳුන්වන්න පුළුවන්. අද 19 වැරදියි කියන අයත් එදා 19ට පක්‍ෂව අත උස්සපු අය. 18වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති බලතල වැඩි කරපු සංශෝධනයක් බවත් 19වැනි සංශෝධනය ඉතාම ප‍්‍රගතිශීලී සංශෝධනයක් බවත් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මුවින්ම එදා ප‍්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි 19වැනි සංශෝධනය ඉතා හොඳ ප‍්‍රගතිශීලී ඉදිරිගාමී සංශෝධනයක් බව අදටත් ප‍්‍රකාශ කරනවා. ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල කප්පාදු කළා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුව වසරක් ගතවූ පසුව විසුරුවිය හැකි යන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව වසර හතර හමාරක් ගතවූ පසුව විසුරුවිය හැකි බවට සංශෝධනයට ලක්කළේ. ඒ වගේම 19වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ තනි තීරණයට අනුව අගමැතිවරයා, ඇමතිවරු තමන්ගේ තනි තීරණයට ඉවත් කළ නොහැකි ලෙසට සංශෝධන ගෙනාවා. මෛතී‍්‍රපාල සිරිසේන පහුගිය 04වැනිදා ශී‍්‍රලනිප සමුළුවේදී කිව්වා දින 07ක් ඇතුළත රටේ අවුල විසඳනවා කියලා. නමුත් දැන් අදට දින 06ක් ගතවෙලා තිබෙනවා. දැන් කියනවා, උසාවි තීන්දුව එනකං ඉන්න වෙනවා කියල. ඔහුගේ කතා එකිනෙකට පරස්පර විරෝධියි.
19වැනි සංශෝධනයෙන් අධිකරණය ස්වාධීන කරන්න යම් යම් කි‍්‍රයාමාර්ග ගත්තා. ඒ සංශෝධන නිසා තමයි අද ව්‍යවස්ථාවට පටහැනිව විසුරුවා හැර ඇති ගැසට් නිවේදනයට වාරණ නියෝග දෙන්නේ. පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය වාරණය කළ විට නැවත පාර්ලිමේන්තුව බලාත්මකයි. නොවැම්බර් 14වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනාධිපතිවරයා විසින්ම නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුවයි. එය කතානායකවරයා ගත් තීන්දුවක් නොවෙයි. ජනාධිපති බලතල අනුව තමයි 14වැනිදා කැඳවීමට ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ. අද මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීම වැරදියි කියලා නඩු දානවා. අපි පැහැදිළිවම කියනවා කතානායකවරයා කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදුකර නැහැ කියලා. අද රටේ සියලූ දෙනාට උසාවි තීන්දු දෙස බලා ඉන්න සිද්ධ වෙලා. මේ විදිහට අධිකරණයට යන්න සිදුවුණේ ජනාධිපතිවරයා ඇතුලූ කණ්ඩායම අයුක්තිසහගතව අසාධාරණව කටයුතු කළ නිසයි.
ප‍්‍රශ්නය ඇතිවූ මුල් අවස්ථාවේදීම මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම කිව්වේ ජනාධිපතිවරයා කරපු වැඬේ වැරදි නම් අධිකරණයට යන්න කියලයි. ඒ නිසා තමයි මේ ප‍්‍රශ්නය අධිකරණයට ගියේ. දැන් මෛතී‍්‍රපාල සිරිසේන පුවත්පත්වලට සාකච්ඡුා දෙමින් කියනවා, මේ ප‍්‍රශ්නය අධිකරණයට යෑම සුදුසු නැහැ කියල ඔහු හිතනවා කියලා. මහින්ද රාජපක්‍ෂ කියනවා පාර්ලිමේන්තුවේ විසඳාගත යුතු ප‍්‍රශ්නයක් අධිකරණයට යාමෙන් අවුලක් වෙලා කියලා. නොවැම්බර් 14 විශ්වාසභංගය සම්මත වූ නිසා එය පිළිගෙන කටයුතු කළා නම් මේ ප‍්‍රශ්නය අධිකරණයට යන්නේ නැහැ. ඒ නිසා මෛතී‍්‍රපාල සිරිසේනලා, මහින්ද රාජපක්‍ෂලා එදා කියපු දේවල් දින කිහිපයක් ගතවෙලා අද කියන දේවල් එකිනෙකට පරස්පර විරෝධියි.
ඒ විතරක් නෙවෙයි, අද මෛතී‍්‍රපාල සිරිසේන අපුරු කතා කියනවා. මහින්දට 113 හදාගන්න බැරිවුණේ මන්තී‍්‍රවරුන් මිල ගණන් වැඩිකළ නිසාලූ. මන්තී‍්‍රවරයෙකුගේ මිල කෝටි 50 දක්වා වැඩිවුණ බවත් ඔහු කියනවා. එම ප‍්‍රකාශයෙන් ජනාධිපතිවරයා පිළිගන්නවා, මන්තී‍්‍රවරු සල්ලි දීලා බිළිබාගත්තා කියලා. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ පාවලා දෙනවා. ජනාධිපතිවරයා ඔප්පු කරනවා මන්තී‍්‍රවරු මිලදී ගත්තේ මහින්ද රාජපක්‍ෂ විසින් බවත් මිලදී ගන්න සල්ලි වියදම් කළේ මහින්ද රාජපක්‍ෂ බවත්. තමන් ළඟින්ම සිටින පුද්ගලයා පාවල දෙන ජනාධිපතිවරයා ඔහු සමඟ ආණ්ඩුවක් කරන්නේ කොහොමද? අධිකරණ තීන්දුව තමන්ට අවාසියි කියලා දැණුනු නිසා මේ විදිහට විවිධ කතා කියනවා. ජනාධිපතිවරයා මේ වනවිට හත් අට වතාවකට වැඩියෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. 225ක් අත්සන් කළත් රනිල්ට අගමැතිකම දෙන්නෑ කීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ජනාධිපතිවරයා කැමති කෙනෙකුට අගමැති තනතුර ලබාදිය යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය යනුවෙනි. ‘යුතුයි’ කියලා පැහැදිලිව සඳහන් වෙනවා. එනිසා මෛතී‍්‍රපාල සිරිසේන විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප‍්‍රකාශ කරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දකිනවා, මෙම ප‍්‍රශ්නය අධිකරණයට ගිය එක හරි කියලා. මොකද ජනතාවට සාධාරණයක් ඉටුකරගන්න හැකිවුණේ අධිකරණයට යෑමෙන්. ඒ නිසා මහින්ද රාජපක්‍ෂලාගේ ප‍්‍රකාශ අපි හෙළා දකිනවා.
දැන් ඔවුන් කියනවා ඇතිවෙලා තිබෙන අර්බුදයට එකම උත්තරය මැතිවරණයකට යාම කියලා. මැතිවරණය එකම උත්තරය නම් මෛතී‍්‍රපාල සිරිසේනට තිබුණේ 26වැනිදාම පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමයි. එදා ඔවුන් ඒක කළේ නැහැ. ඔවුන් උත්සාහ කළේ කෝටි 50 ගානේ දීලා හරි මන්තී‍්‍රවරුන් බිලිබාගෙන ආන්ඩුවක් කරගෙන යන්නයි. නමුත් ඒ උත්සාහය පැරදිලා, කුජීත වෙලා මාස එක හමාරක් ගතවුණාට පස්සේ දැන් කියනවා එකම උත්තරය මැතිවරණය කියලා. ජනාධිපතිවරයා අත්තනෝමතික බලතල පාවිච්චි කරලා ජනතාවගේ අයිතිවාසිකම් දිගින් දිගමට උල්ලංඝනය කරනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, දැන්වත් පාර්ලිමේන්තුවේ බහුතරයට සවන් දෙන්න කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන කුමන්ත‍්‍රණය පරාජයට පත්වුණු බව ඔවුන් පිළිගත යුතුයි. එනිසා තවදුරටත් ව්‍යවස්ථාව උල්ලංඝණය නොකර සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරමින් කි‍්‍රයාමාර්ග ගතයුතු බව මානව හිමිකම් දිනය වන අද දිනයේදී අපි අවධාරණය කරනවා.
බිනර දන්තුරේබණ්ඩාර
ස්තූතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *