මෙවැනි රටකට ඡන්ද කුමට ද? – සම්පත් අමරසිංහ

“පාර්ලිමේන්තුවේ 225 අත්සන් කළත් නැවතත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නේ නැහැ . ඔහු රටට නොගැලපෙන දේශපාලඥයෙක්” ඉහත කී ප්‍රකාශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේය. ඒ මහතා එසේ ප්‍රකාශකරන්නට යෙදුණේ 2018 නොවැම්බර් 04 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත විශේෂ සමළුවක් අමතමිනි.

ඉහත ඡේදයේ මෛත්‍රිපාල සිරිසේන මහතා හැඳින්වීම සඳහා ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ’ යන විශේෂණය විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණේ අහම්බයකින් නොව දැනුම්වත්ව හිතාමතාය. මන්ද ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ‘ප්‍රජාතන්ත්‍රවාදී’ යන විශේෂණය විශේෂයෙන් යොදාගෙන ඇති බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තයි. නමුත් ශ්‍රී ලංකාව නමැති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනතාවගේ ඡන්දයෙන් පත්ව සිටින ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියන්නේ කුමක්ද? පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව වන 225 දෙනාම ඉල්ලා සිටියද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවයි. එනම් පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්තට පමණක් නොව සමස්ත පාර්ලිමේන්තුවේ කැමැත්තට පවා සවන් දීමට තමා සූදානම් නැති බවයි. ඉහත ප්‍රකාශයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ සහ ප්‍රසිද්ධියේ උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නිතිය බවට පිළිගැනීමක් තිබේ. රටේ ප්‍රධාන  පුරවැසියා කියන්නේ රටේ උත්තරීතර නිතිය ආරක්ෂා කරන්නට තමා සූදානම් නැති බවයි. එනම් එකී උත්තරීතර නීතිය උල්ලංඝනය කරන්නට තමා සූදානම් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජනාධිපතිවරයා වෙනුවෙන් ගතයුතු පියවර කුමක් ද යන්න ජනතාව විශේෂයෙන් කල්පනා කළ යුතුය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්නොකරන්නට හේතුව වශයෙන් ජනාධිපති මෛත්‍රි සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා රටට නොගැලපෙන දේශපාලඥයෙක් බවයි. රටේ අගමැතිවරයා වශයෙන් කවුරුන් හෝ පත් කරෙන්නේ කවර පදනමකින්ද යන ගැටලුව මෙහි දී මතුවේ. පසුගිය මහමැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් දිනා ගත් වැඩිම ආසන සංඛ්‍යාව හිමි වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පෙරමුණට බව කවුරුත් දන්නා කාරණයකි.

එම මැතිවරණයේ දී ජනතාවට දී තිබුණු මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන පක්ෂ දෙක එකතු වී රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සදහා වසරක කාලයක් සම්මුතිවාදී පාලයනක් ගෙන යන බවට වන පොරොන්දුව නොවන්නට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික සංධානයට කවර හෝ සුළු පක්ෂයක මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුගේ සහය ලබාගනිමින් ඔවුන්ගේම ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවද තිබුණි. එය මගහැරුණේ, සම්මුතිවාදී පෙරොන්දුවට ඉඩ දීම නිසාය.

පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි වන්නේ රටට අවශ්‍ය අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බව රටේ බහුතර ඡන්දදායකයන් විසින් තීරණය කරනු ලැබ ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ රටට ගැලපෙන නොගැලපෙන අගමැති තම කැමැත්ත මත පමණක් තීරණය කිරීමට බලයක් ජනාධිපතිවරයාට ලැබෙන්නේ කෙසේද? රටේ අගමැති ධුරයට පත්කෙරෙන රටට ගැලපෙන දේශපාලඥයා කවුදැයි තීරණය කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් නම් මැතිවරණයක අවශ්‍යතාවක් නැත. රටේ පවතින පක්ෂ අතරින් රටට ගැලපෙන දේශපාලඥයා කවුදැයි තීරණය කර ඔහුට අගමැති කම බාර කරන්නට ජනාධිපතිවරයාට හැකි බැවින් සහ එහිදී ජනතාවගේ කැමැත්ත කුමක්ද යන්න වැදගත් නොවන බැවිනි.

“රනිල් වික්‍රමසිංහ ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ පත්කරන්න, පාර්ලිමේන්තුව විසුරවන්න, හිටපු ඇමති මණ්ඩලය අවලංගු කරන්න වගේ ගැසට් නිවේදන පහක් අත්සන් කළා. ඒ ගැසට් නිවේදන පහටම මා විධායක බලය පාවිච්චි කළේ පවිත්‍ර චේතනාවෙන්” ජනාධිපති මෛත්‍රි ඉහත සමුළුවේ දී එසේද කියා තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු තනි පුද්ගලයකුගේ චේතනාවක පවිත්‍ර අපවිත්‍ර බව අනුව තීරණය වන්නක් ද යන ගැටලුව මෙහි දී මතුවේ. අනෙක සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරියේ යැයි පාරට්ටු කතා කී මෛත්‍රි මහතාම නීති විරෝධී අයුරින් අගමැති ඉවත් කරන්නට, ඇමති මඩුල්ල විසුරුවන්නට, ආණ්ඩුව විසුරුවන්නට විධායක බලයම පාව්ච්චි කළ බව කීම හාස්‍යයට කරුණක් ද භිතියට හේතුවක් ද යන්න වෙනම පැහැදිලි කරගත යුතුය.

මීට වසර දෙකකට පෙර එනම් 2016 නොවැම්බර් මාසයේ ඉන්දියාවේ හින්දු පුවත්පතට අදහස් දක්වමින් මෛත්‍රිපාල මහතා කියා තිබුණේ ජනාධිපතිධුරයට පත් වී ගෙවුණු කාලය තුළ තමා ලද විශේෂ ජයග්‍රහණය 19 වන ව්‍යවස්ථා සංශෝධනය බවයි. තමන්ට අවශ්‍යව තිබුණේ ජනාධිපති ධුරයේ බලතල අඩුකරන්නට බවත් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් කළ හැකි බලතල සීමා කිරීම් සියල්ලම කළ බවත් ඔහු එහි දී කීවේය. පාර්ලිමේන්තුව පත් වී වසරකට පසුව විසුරුවා හැරීමේ බලය ඊට පෙර ජනාධිපතිවරයාට තිබුණ නමුත් දහනම වැනි සංශෝධනයෙන් පසුව එසේ කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට අහිමි වු බවත් මෛත්‍රි මහතා හින්දු පුවත්පතට කීවේය. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි වන්නේ වසර හතර හමාරකින් පසුව බවද එහිදී මෛත්‍රි මහතා හින්දු පුවත්පතට පැවසීය.

එදා එසේ කියූ ජනාධිපති මෛත්‍රිම දැන් ගැසට් නිවේදන පහකට අත්සන් තබමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ගැන උදම් අනමින් සිටීම වටහා ගත යුත්තේ කෙසේද? ජනාධිපතිවරයාට තමාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකියාව තිබේ නම් දහනම වැනි ව්‍යවස්ථා සංසෝධනයෙන් ඇති ඵලය කුමක්ද? රටට ගැලපෙන අගමැති තෝරාගන්නේ මහජන ඡන්දයෙන් නොව ජනාධිපතිවරයාගේ මනාපය අනුව නම් මැතිවරණ කුමකටද? මේ ප්‍රශ්නවලට උත්තර ඇත්තේ කොතැනද?

සම්පත් අමරසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *