ජනාධිපතිතුමාගෙ ක්‍රියාකලාපය නිසා රටට‍ ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනව – පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

බී.බී.සී. ය – මොකක්ද අද දින පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්?

අපි අද දිනට ඉදිරිපත් කරල තිබුණා 48/2 ප්‍රකාරව ජනාධිපතිතුමා විසින් කටයුතු කළ යුතු බවට වූයෝජනාවක්, නමුත් දැන් තිබෙන දේශපාලන තත්ත්වය තුළ හා ජනාධිපතිවරයා විසින් එකඟතා කඩකිරීම් තුළ අපි ඒ යෝජනාව ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් අද දින ජනතා විමුක්ති පෙරමුණ සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනව කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව. ඒ අනුව අද දවසේ සාකච්ඡා වන්නේ කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු.

බී.බී.සී.ය – ජනාධිපතිවරයා සමග යම් එකගතාවයක් ඇති කර ගෙන තිබුණා මම හිතන්නේ දෙමළ ජාතික සංධානය හමුවූ වෙලාවෙත් ජනාධිපතිවරයා කියල තිබුණා අද යෝජනාව දාන්න ඊට පස්සෙ ඒක එතුමා විසදන්නම් කියල. එතකොට ඒක ඔබතුමන්ලා කියනවා දාන්නෙ නැහැ කියලා.

ජනාධිපතිතුමා එකගතාවය අනුව කටයුතු කළේ නැහැ. ජනාධිපතිතුමා එකඟ වෙලා තිබුණෙ පාර්ලිමේන්තුව කල්තැබීමේ ගැසට් පත්‍රය අද වෙනකොට ඉවත්කර ගන්නව කියල. පාර්ලිමේන්තුව කල්තැබීමේ ගැසට් පත්‍රය ඉවත් කර ගැනීම එතුමා නොකරපු නිසා, එතුමා නිර්මාණය කරපු මේ අවුලෙන් ඉවතට යාම සඳහා එතුමාගේ ඉල්ලීම පරිදි කෙටුම්පත් කරපු ඒ කෙටුම්පත අද අපි ඉදිරිපත් කරන්නේ නැහැ. අද ඒක ඉදිරිපත් කරන එක අර්ථ විරහිතයි.

අපි හැමවිටම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව එකගතාවයකින් යුතුව කටයුතු කිරීමට කටයුතු කළා.මේ වගේ දුෂ්කර වෙලාවකත් අපි ඒ එකගතාවයන් අනුව කටයුතු කරන්න උත්සාහ කළේ. නමුත් ජනාධිපතිතුමා ඒ පොරොන්දුව ඉටු නොකරන විට අපේ පාර්ශ්වයෙන් පමණක් ඒක පාර්ශිකව පොරොන්දු ඉෂ්ඨ කරන්න බැහැනෙ.

බී.බී.සී. ය – ඒ කියන්නෙ එතුමා විසින් එතුමට විරුද්ධව ඉදිරිපත් කරපු විශ්වාස භංගයක් වගේ යෝජනාවක් ද?

මම එහෙම කියන්නේ නැහැ. මේක විශ්වාසභංගයක් නෙමේ. 14 වෙනිදා විශ්වාසභංගයක් සම්මත වූ නිසා ද 16 වෙනිදා නැවත වරක් ජනාධිපතිතුමාට එරෙහිව තියන චෝදනා ඉවත්කොට විශ්වාසභංගයක් සම්මත වූ නිසා ද, මේ වෙලාවේ ආණ්ඩුවක් නැති නිසා ද 42/1 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙක් හා ආණ්ඩුවක් පත්කළ යුතු නිසා ද, එසේ කළ යුතු බවට වන යෝජනාවක් තමයි අද ඉදිරිපත් කරල තිබුණෙ. මේක විශ්වාසභංගයක් නෙමෙයි. විශ්වාසභංගයක් සම්මත වූ බවට කරන යෝජනාවක්.

බී.බී.සී. ය – ජනාධිපතිවරයා සමග එකගතාවයක් ඇති වුණා මේ දේ අද කරනව කියල. මේක නොකෙරුනොත් එතුමා පස්සේ මේක තව අදින්න පුලුවන් නේද?

පළමුවෙන් එකග වූ දේ කලින් කරන්න එපායැ. එතුමා කලින් එකග වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අවසන් වෙන්න කලින් ගැසට් නිවේදනය නිකුත් කරනව කියල මහ මැතිවරණය කැදවීම අවලංගු කරන්න. ඉතින් එහෙම කළේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අවලංගු කරන තර්ක ඊයේ පටන් ගත්තා. ඉතින් අපිට මේ තත්ත්වය තුළ අද මේ යෝජනා ඉදිරිපත් කිරීමේ අර්ථයක් නෑ.

බී.බී.සී. ය – ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේ ජනාධිපතිතුමාගේ කතාව බැලුවද?

බැලුවා. මම බොහොම උනන්දුවෙන් බැලුවා.

බී.බී.සී. ය – මොකද හිතෙන්නෙ?

එතුමා රාජ්‍යකරණය පිළිබඳ මූලධර්මත් අමතක කරල තියෙනව. නොදන්නව කියල මම කියන්නෙ නැහැ. අවුරුදු 50ක් විතර දේශපාලනය කරපු කෙනෙක් මේවා දන්නැති වෙන්න බැහැ. ඒ වගේම එතුමත් එක්ක එකතුවෙලා හදපු 19 වැනි සංසෝධනය ගැන එතුමා නොදන්නවා වෙන්න බැහැ. මම හිතන්නෙ, මේ ඇතිවෙලා තියෙන තත්ත්වයනුත් එක්ක එතුමා යම් වික්ෂිප්ත භාවයකට පත් වෙලා තියෙනව. ඒ වගේම එතුමගෙ ක්‍රියාවන්වල එතුමම හිරකාරයෙක් බවට පත්වෙලා තියෙනව. එතුමාගෙ ප්‍රකාශවල එතුමා හිරකාරයෙක් බවට පත්වෙලා තියෙනව. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතරයට ඉඩ දෙන එක. බහුතරය කැමති කෙනෙක් අගමැතිවරයා වශයෙන් පත්කරන එක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ජනාධිපතිවරයා විසින් පත්කළයුතු වන්නේ ජනාධිපතිරයා කැමති කෙනා නෙමෙයි, පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත යුතු කෙනා. ඒ අනුව මම හිතන්නෙ ඒ මූලධර්ම අමතක කරමින් කරන ලද පසුගාමි ප්‍රකාශයක්. ඒ වගේම අධිකරණයට අපහාස වන අන්දමින් එතුමා කතා කළා. ඒ වගේම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන මේ ආයතන තුනට වගකීමක් තියෙන්න ඕනෙ පුරවැසියන්ගෙ අයිතිය ආරක්ෂා කරන්න. ඒක අමතක කරල තමන් රජෙක් තමන් මේ මහපොළොවෙ අයිතිකරයා, තමන් මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පත්වුණාට තමන්ට හිතුන දේ හිතුවක්කාරව කරන්න ඕන කියන පටු තැනට එතුමා පත්වෙලා තියෙනව. එතුමගේ ඒ ප්‍රකාශය ගැන මම කනගාටු වෙනව. මංගල සමරවීර ඇමතිතුමා නම් බොහොම තද ප්‍රකාශයක් කරල තිබුණ, දෝෂාභියෝගයකට යන්න ඕන කියල. අපි පක්ෂයක් විදිහට දෝෂාභියෝගයකට යන්න තාම කල්පනා කරල නැහැ. අපි බලන්නෙ සාමකාමීව අවිහිංසාවාදීව මේ ප්‍රශ්නය විසඳගන්න. ඒ වගේම ඉක්මනින් ප්‍රශ්නය විසද ගන්න.

බී.බී.සී. ය – දෝෂාභියෝගයකට යන්න මන්ත්‍රිවරු 150කගෙ සහයෝගය ඕනැ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනෙ. මන්ත්‍රිවරු 120යි ඔබතුමාලට ඉන්නෙ. කොහොමත් මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සහයෝගය අවශ්‍ය වෙනව ඒකට.

මහින්ද රාජපක්ෂ මහත්තයා කැමති වුණත් නැතත් මේ වැඩේ වැරදියි කියන පිරිසක් එතන ඉන්නව. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහතාව සම්පූර්ණ වශයෙන් ප්‍රතික්ෂේප කරන අප්‍රිය කරන, දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි කියන පිරිසක් එතන ඉන්නව. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා පෞද්ගලිකව කැමති වුණත් නැති වුණත් තවත් 25ක් විතර තමයි අපිට හොයාගන්න තියෙන්නෙ. ඒ මන්ත්‍රිවරු 25 දෙනාගෙ සහය දෝෂාභියෝගයක් සඳහා ලබාගැනීම අපිට අසීරු නැහැ. ඒ වගේම 38/4 ව්‍යවස්ථාවෙ දැක්වෙන චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම පිළිබද සාක්ෂි ඕනාවටත් වඩා අපිට තියෙනව. ශ්‍රේෂ්ඨාධිකරණ පරීක්ෂණයකින් චෝදනා ඔප්පු කිරීමත් අපිට අසීරු වෙන්නේ නැහැ. නමුත් මේ ක්‍රියාකලාපයට තවත් මාස ගණනාවක් ගත වෙනව. රටට එච්චර කාලයක් නාස්ති කරන්න බැහැ. අපිට ගොඩක් දේවල් දැනනටමත් අහිමිවෙලා තියෙනව මේ ජනාධිපතිතුමාගෙ හිතුවක්කාර කම නිසා. ඒ නිසා මම හිතන්නෙ දෝෂාභියෝගය අන්තිම ම පියවර. ඊට කලින් මේ ප්‍රශ්නය සාමකාමීව විසදාගන්න එක තමයි ඊයෙ දිනත් ආණ්ඩුපක්ෂ රැස්වීමේ දී අප සාකච්ඡා කළේ.

බී.බී.සී. ය – අවසාන වශයෙන්, රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදෙන්නෙ නැහැ. 225 ම අත්සන් කළත් දෙන්නෙ නැහැ. රනිල් එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා, රටත් විනාශ කළා. තමාවත් යම්කිසි ප්‍රමාණයකට විනාශ කළා. මේ වගේ ප්‍රකාශ කරද්දි ඔබතුමන්ලා ලෑස්ති නැද්ද වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරල ජනාධිපතිවයා කියන විදිහට ආණ්ඩුව ලබා ගන්න.

අපි මේ කාරණය ගැන බොහොම ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අවසානයේ අපි තීරණය කළා මේ තරම් හිතුවක්කාර ලෙස හැසිරෙන ජනාධිපතිවරයකුට විකල්ප නමක් දුන්නත් තව මාසෙකින් ඔහුවත් ධුරයෙන් ඉවත් කරල තව කෙනෙක් ඉල්ලන්න ඉඩ තියෙනව. ඒ වගේම අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තුමා. එතුමා තමයි අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ. එතුමා නීති විරෝධීව පහ කෙරුවෙ. ඒ නිසා එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරල, නීත්‍යානුකූල ආණ්ඩුවක් ගොඩනගලා, ඉන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග ගන්න එක තමයි අපේ අවශ්‍යතාවය. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මොනවගේ චෝදනා කළත් අද වෙනකම්, කිසිම චෝදනාවක් නෑ. පාර්ලිමේන්තුවෙ කෝප් කමිටුවෙන් එතුමා සීයයට සීයක් නිර්දෝශීබව ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපතිවරයම පත් කරපු ජනාධිපති කොමිසන් සභාව බැඳුම්කරය සම්බන්ධව එතුමාට කිසිම වගකීමක් නොමැති බව ප්‍රකාශ කළා. අද වෙනකම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම චෝදනාවක් නැහැ. ජනාධිපතිවරයාගේ හිතලු පමණයි.

බී.බී.සී. ය – එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපති වරයා කියන ඔය යම් යම් දේවල් කියල තියෙනව තමන්ගේ නායකය ගැන ඔය කටයුතු කරන දේවල් ගැන.

හැම නායකයගම අඩුපාඩුකම් තියනව. ඔවුරුදු 25ක් පක්ෂයක නායකයා වෙලා ඉන්නකොට ගොඩක් අඩුපාඩු කම් වෙන්න පුලුවන්.  ඒ වගේම එතුමා කරපු ගොඩක් යහපත් දේවලුත් තියෙනව. අද මේ ප්‍රශ්නය රටේ නීතිය අනුව අධිකරණය ඉස්සරහ සාමකාමීව විසඳාගැනීමේ බලාපොරොත්තුවක් මේ රටේ ඇතිවෙලා තියෙන්නෙ, අපි වර්ධනය කරපු, රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරපු නීතියේ ආධිපත්‍ය කාරණා නිසා. ඒ නිසා නීතියේ ආධිපත්‍ය විශ්වාස කරන අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් තවමත් විශ්වාස කරනව. නමුත් තව එක දෙයක් කියන්න ඕනැ. ඊළග ජනාධිපතිවරණයේ දී අපේ අපේක්ෂකයා තවම තෝරලා නැහැ. ජනාධිපතිවරණයට අපි ජනප්‍රිය දිනන්න පුළුවන් අලුත් නායකත්වයක් ගැන අපේ බලාපොරොත්තුවක් තියනව.

බී.බී.සී. ය – ඒ කියන්නෙ රනිල්ට දිනන්න බෑ කියන එක නෙමේ ද?

ඔන දෙයක් හිතාගන්න. නමුත් මම මේ රටටත් ලෝකෙටමත් කියන්න කැමතියි, ඊළග ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන්නේ නැවුම් තරුණ ජව සම්පන්න නායකත්වයක්.

සකස්කළේ – මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *