පළමුව කළ යුතතේ බහුතරය ඇති කණ්ඩායමට බලය පැවරීමයි අගමැති කවුද යන තීරණය එම කණ්ඩායමේ කැමැත්තක් – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

මොකද හිතන්නෙ මේ වෙලාවේ තිබෙන දේශපාලන තත්ත්වය මේ අර්බුදය විසඳගන්න ඔබතුමන්ලාටත් බැරි වෙලා තියෙනව.

පාර්ලිමේන්තුව තුළ මේ අර්බුදය විසඳාගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්. ඒ වගේම අධිකරණය තුළත් මේ අර්බුදය විස දාගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන අවසන්. නමුත් ජනාධිපතිවරයාට හෝ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට යටත් නොවී තනි හිතුවක්කාර තක්කඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් තිබෙනව. ඒ නිසා ජනාධිපතිවරයා විසින් මේ අතවනනු ලබන්නේ සාමකාමීව බලය තිබෙන ආයතනයන් තුළ මේ ප්‍රශ්නය විසඳගන්නවා වෙනුවට ඔහුගේ විසඳුම වෙලා තියෙන්නේ මහ පාරේ මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ගනු ලබන ප්‍රයත්නයක්. ඒ නිසා නැවත නැවතත් අපි ජනාධිපතිවරයාට කියන්නේ, මේ රටේ ලේ ගංගාවක් හැලෙන්නට ඉඩ නොදී මේ ප්‍රශ්නය මහ පාරේ බේරගන්න ඉඩ නොදී මේ තිබෙන ආයතනයන් තුළ මේ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ඔහුට පැවරී තිබෙන කාර්යභාරය ඉටු කිරීම තමයි ඔහුගේ වගකීම. ඔහු එම කාර්යභාරය අත්හැරීම තමයි මෙම අර්බූදය දිගින් දිගටම දිග්ගැස්සීමට හේතු වී තිබෙන්නෙ.

ඔබතුමා ඊයෙ බැලුවද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ දී විශේෂ කතාවක් කරනව. ඔහු නැවත වතාවක් කියනවා මේ අර්බුදය විසඳන්න සතියක් විතර යනව. ඒ මදිවට ඔහු කියනව එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට මන්ත්‍රිවරු 225 ම සහය දුන්නත් අගමැතිධුරය ලබා දෙන්නෙ නැහැ කියල.

ඔව්. මම දැක්කා. ඒ වගේම මම දැක්කා ඉරිදා පුවත් පතක් සමග කළ සාකච්ඡාවේදීත් ඔහු  රටේ අර්බුදයක් නැහැ කියල කියනව. ළමයි ඉස්කෝලේ යනව, දරුවො මොන්ටිසෝරියෙ ඉන්නව, පාරේ ත්‍රිවීල් දුවනව, අර්බුදයක් නෑ කියල. ඇත්තටම ජනාධිපතිවරයෙක් රටක අර්බුදයක් නෑ කියල, තේරුම් ගතයුතු වන්නේ මොන්ටිසෝරියට ළමයි යන එකෙන් නෙමෙයි. ආර්ථික වශයෙන් විශාල අර්බුදයක් මතු වී තිබෙනව. ජාත්‍යන්තර වශයෙන් රට විශාල අපකීර්තියකට පත් වෙමින් තිබෙනව. ජනතාවගේ ජන ජීවිතය විශාල ක්ෂේත්‍රයන්ට බලපෑම් කරමින් තියෙනව. රාජ්‍ය යාන්ත්‍රණය මුලුමනින්ම කඩා වැටෙමින් තිබෙනව. නමුත් ජනාධිපතිවරයා ඒ කිසිවක් සැලකිල්ලට භාජනය නොකොට තව සතියක් යන තෙක් මේක විසඳෙන්නෙ නැතිවෙයි කියල ඉඟියක් දීල තියෙනව. ඒකෙන් පෙන්නුම් කරමින් තිබෙන්නෙ මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඔහු ඔහුට තිබෙන බල සීමාවන් තුළ වැඩ කිරන්නට සූදානම් නොමැති බව. ඒ වගේම ඔහු කියල තිබුණ පාර්ලිමේන්තුවෙ 225 දෙනාම අත්සන් කරල යම් කෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබා දිය යුතුයි කියල කීවත් ඔහු ලබාදෙන්නෙ නැහැ කියල. ඇත්තටම ජනාධිපතිවරයාට කිසිදු බලයක් නැහැ.

අපට තිබෙන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පුටුවෙ වාඩිවෙනවද මහින්ද රාජපක්ෂ මහත්තයා මේ පුටුවෙ වාඩිවෙනවද කියන ප්‍රශ්නය නමෙයි. රනිල් මේ පුටුවෙ වාඩි වුණත් රනිල් මේ පුටුවෙ වාඩි වුණත්, මේ රටට වෙන සෙතක් නැති බව අපි දන්නවා. මේ ගොල්ලො මේ පුටුවල වාඩිවෙලා මේ රට පාලනය කරපු හැටිත් අපි දන්නව. හැබැයි ජනාධිපතිවරයකුට කිසිම බලයක් නැහැ පාර්ලිමේන්තුවෙ 225 ම කැමැත්තෙන් කෙනෙකු ඉන්නවා නම්, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දෙන්නේ නැහැයි කියන්න බලයක් නැහැ. මොකද පාර්ලිමේන්තුවෙ 225 කැමති නම් ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දෙන්න බැරි නම් ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දෙන්න වෙන්නෙ ඔහුගෙ ගෙදර ඉන්න බිරියට හෝ දරුවකුට හෝ ඔහුගේ ගෙදර වැඩ කරන සේවකයකුට. ඒ නිසා ජනාධිපතිවරයා මොනතරම් මනසේ සමතුලිත තාවයෙන් මිදිලාද කියන එක තමයි මේ ප්‍රකාශ වලින් පෙන්නුම් කරන්නෙ. ඒ නිසා ඔහු මේ ඇති කරන ලද දේශපාලන අස්ථාවරය හේතු කරගෙන සැලකිය යුතු මානසික පීඩනයක කටයුතු කරමින් සිටින බවයි දැන් පෙන්නුම් කරමින් තියෙන්නෙ දැන් කරන ප්‍රකාශ හරහා.

අද ජනාතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු අදහස් දැක්වීමේ දී කියනව ජනාධිපතිවරයා රටේ නායකත්වයට සුදුසු නැහැ. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනෙ කියල. ඒ කියන්නෙ මේ සම්බන්ධයෙන් දෝෂාභියෝලයන් ගේන්න ඕනැ කියලද ජනාධිපතිවරයාට?

පළමුකොට ගත්තාම අපි ඕනෑම කෙනෙකුට යම් රාජකාරියක් තියෙනව. ගොඩනැගිල්ලක මුර කරුවෙකුට යම් රාජකාරියක් තියෙනව. ගොඩනැගිල්ල ආරක්ෂා කරල දොරවල් වහල යන්න. හැබැයි ඔහුට ආයතන ප්‍රධානියා සමග ගැටලුවක් තියෙනව කියල ඔහුට දොරවල් වහන්නැතුව යන්න බෑ. ඒක තමයි මුරකරුවාට දීලා තියෙන ඩියුටි ලිස්ට් එක. ඒ වගේම පාරේ වාහනයක් එලවන රියැදුරෙකුට තියෙනව ඩියුටි ලිස්ට් එකක්. ඒ හින්දා ජනාධිපතිවරයා තේරුම්ගත යුතුව තියෙනව ඔහුටත් යම් රාජකාරි ලැයිස්තුවක් ව්‍යවස්ථාව හරහා පවරලා තියෙන බව. දැන් ජනාධිපතිවරයා එම රාජකාරී ලැයිස්තුව පැහැර හරින්නේ නම්, ඔහු එම තනතුරට සුදුසු නැහැ. මුර කරුවෙක් තමන්ට ගොඩනැගිල්ල මුර කිරීමට බාර දීල තියෙන කාර්යබාරය ඉටු කරන්නේ නැත්නම්, ඔහු මුරකරු රාජකාරියට සුදුසු නෑ වගේම ජනාධිපතිවරයා තමාට පැවරී ඇති රාජකාරිය ඉටු කිරීමට සුදුසු නැත්නම් ඔහු එම රැකියාවට නුසුදුසු බව තමයි පෙන්නුම් කරමින් තිබෙන බව පෙනෙන්නෙ. ඒ නිසා ජනාධිපතිවරයා මේ ගතවෙන පැයක් පැයක් පසා කරනු ලබන සෑම ප්‍රකාශයක් පසා, ගනු ලබන සෑම තීන්දුවක් පාසාම පෙන්නුම් කරමින් තිබෙන්නෙ ඔහු මේ රට පාලනය කිරීමට නුසුදුසු බව. ඔහු නුසුදුසු වුණාට පසුව ව්‍යවස්ථාවේ ගතයුතු ක්‍රියාමාර්ග තියෙනව. එක්කෝ ඔහු ඉල්ලා අස්විය යුතුව තිබෙනවා. නැත්නම් පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා ඔහු එම තනතුරෙන් නෙරපා හරින්න. අපි තවදුරටත් එතෙන්ට යා යුතුයයි කල්පනා කරන්නේ නැහැ.

අපි ජනාධිපතිවරයාට නැවත නැවතත් කියන්නේ මේ ව්‍යවස්ථාව තුළ සීමා මායිම් තුළ ඔහුගේ බලයට අනුව කටයුතු කළයුතුයි කියන බලපෑම තමයි අපේ පැත්තෙන් තවදුරටත් ඉදිරිපත් කරමින් තිබෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ ඔබ තුමන්ලා දැඩි ලෙස විවේචනය කළා ඔහුගේ ප්‍රතිපත්ති ඔහුගේ දර්ශනය මේ සියල්ල. දැන් ජනාධිපතිවරයාගේ ඊයේ පැවති කතාවෙ බහුතරයක් කාලය  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ වෙන්වන්නේ ඔහු සම්බන්ධයෙන් තියෙන විවේචනයට.

රනිල් වික්‍රමසිංහ මහත්තයා එම තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙනාව. ඉතින් ඒ විශ්වාසභංගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. දැන් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙ අගසව් බවට පත්වෙලා ඉන්න මහින්ද අමරවීර පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. දැන් ජනාධිපතිතුමාගේ නීති උපදේශකයෙක් වෙලා ඉන්න ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. ඒ වගේම එක්සත් ජනතා සංධානෙ මහ ලේකම් එවකට මහින්ද අමරවීර පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතාව පාර්ලිමේන්තුවෙන් නිශ්චිත පරිදි නෙරපා හැරීමට අවස්ථාවක් ලැබෙදිත් ඒ අවස්ථාව මගහැරියෙ මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ කට්ටිය. අද ඔහු එම කණ්ඩායමත් සමග තමයි ආණ්ඩු කරන්නෙ.

මේ අයවැය ලේඛනයෙන් අවශ්‍ය නම් මේ ආණ්ඩුව වැටෙන්න හරින්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ පමණක් නෙරපා හැරීමට විශ්වාසභංගයක් ගෙන ඒමට අවස්ථා තිබුණා. එම නිසා ව්‍යවස්ථානුකූලව රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ ආණ්ඩුව පලවා හැරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල තිබුණා. හැබැයි ඒ ප්‍රතිපාදන සියල්ල පසෙකලා ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහත්මයාට හඳපානේ ආණ්ඩුව හදලා, තවකෙනෙක් පුටුවක වාඩි කරලා, තවකෙනෙක් පුටුවකින් අයින් කිරීම යුක්තිසහගත නෑ කියන එක තමයි අපේ ප්‍රශ්නය. ඒ නිසා මෙතන රනිල් වික්‍රමසිංහ බේරාගැනීමේ අරගලයක් හෝ රනිල් වික්‍රමසිංහගේ පුටුව අහිමිවීම පිළිබඳ අරගලයක් නොවේ අපට තියෙන්නේ.අපට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාව මේ රටේ ශක්තිමත් කිරීම සහ මේ රටේ දුර්වල කිරීමට ජනාධිපතිවරයා ගනු ලබන වෑයම පරාජයට පත්කිරීම තමයි අපේ මේ අරමුණ.

මේ තත්ත්වය උඩ ජනාධිපතිවරයා කියනවා එක්සත් ජාතික පෙරමුණට ඔවුන්ට තමයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ. ඔවුන්ට නමක් යෝජනා කරන්න රනිල් වික්‍රමසිංහ හැර කියල. ඔවුනුත් සූදානම් නැහැ වෙන නමක් යෝජනා කරන්න. මේ තත්ත්වය උඩ මොකක්ද වෙන්නේ?

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවෙ බහුතර කණ්ඩායමක් ඉන්නවා නම් කවර හෝ ඒ බහුතර කණ්ඩායමට තමයි තීරණය කිරීමේ පදනම තියෙන්නේ. ඔවුන්ගේ කණ්ඩායමේ අග්‍රාමාත්‍ය දුරයට පත්විය යුත්තේ කවුද කියල. ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී තියෙන්නෙ බහුතර කණ්ඩායම වෙත යෝජනා කරන්න ඔබලාගේ කණ්ඩායම විසින් මට නායකයෙක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තෝරාපත්කර එවන්න කියල. එසේ නැතිව ඔහු මොහු එපා මොහු ඕනැ කියල නිර්ණායක දෙන්න කිසි බලයක් ජනාධිපතිවරයාට නැහැ.

ඒ තත්ත්වය තුල මේ දෙපාර්ශවයම කියන්නේ, එක්සත් ජාතික පෙරමුණ කියන්නේ රනිල්ම තමයි ඕනැ කියල. ජනාධිපතිතුමා කියනව රනිල්ට කීයටවත් දෙනේනෙ නැහැ කියල. මේ තත්ත්වය තුළ මේකට විසඳුමක් නැහැ නේද?

මේ දෙන්නෙක්ගේ, රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයි අතර තියෙන ප්‍රශ්නයකට මේ රටත් මේ රටේ ආර්ථිකයත් බිලිදිය යුතු නැහැ. ඔවුන් දෙන්නට ප්‍රශ්නයක් තියෙනව නම් මම කියන්නෙ කාමරයකට දාලා දොරවල් වහන්න. දෙන්නා එක්කො ගහගෙන ඉවරවෙයි. එක්කො බදාගෙන ඉවරවෙයි. මේ රට මේතරමට විනාශයට පත්කරන්න මේ දෙන්නටම අයිතියක් නෑ කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා ජනාධිපතිවරයා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය විසඳීම සඳහා නිසි බලයක් තියෙන පුද්ගලයා හැරියට තමන්ගෙ හිතුවක්කාරි තක්කඩි ක්‍රියාමාර්ගවල මනෝ විකාරයෙන් කටයුතු කරනවා වෙනුවට රට ස්ථාවර කිරීම සඳහා ඔහුගෙ පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක තමයි අපගේ ස්ථාවරය වන්නේ.

මොකක්ද මේ සම්බන්ධයෙන් ගන්න පුලුවන් පියවර?

පළමුකොටම බහුතරය ඉන්න කණ්ඩායමට ආණ්ඩුව බාරදිය යුතුයි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කියනවා. ඒ බාර ගන්නා ආණ්ඩුවට මේ රට පාලනය කරන්න අයිතියක් නෑ.

අද පාර්ලිමේන්තුව ඇතුළෙ බහුතරය තීරණය කරන්නෙ බැසිල්ගෙ පොකට් එකද ලොකු මලික්ගෙ පොකට් එකද ලොකු කියන සාධකය මත. ඒක මත තමයි අද ආණ්ඩුව තීරණය වෙලා තියෙන්නෙ. ඒ නිසා දැන් කළ යුතුවන්නේ කුමක්ද? කවුරු113 හදාගත්තත් යම්කිසි සීමා සහිත කාර්යබාරයක් තමයි එම ආණ්ඩුවට පැවරෙන්නෙ. විශේෂයෙන් අපේ ප්‍රයත්නය පළමුකොටම මෙම කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න ඕනෙ. බහුතරය හිමි කණ්ඩායමට ආණ්ඩුව බාරදිය යුතුයි. අනතුරුව පාර්ලිමේන්තුවට විශේෂ විධිවිධාන පනතක් ගෙන එන්න තිබෙනව. මේ කුමන්ත්‍රණය එළිදරව් කරන්න සහ කුමන්ත්‍රණයට හවුල්වූවන්ට දඬුවම් දෙන්න. ඒ සඳහා වූ පනතක් පාර්ලිමේන්තුවෙ සම්මත කළ යුතුමයි. අනතුරුව මේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම සඳහා අවශ්‍යවන සංසෝධන පාර්ලිමේන්තුවෙ සම්මත කළ යුතුව තිබෙනව. මේ කාර්යභාර දෙක පමණයි මේ පාර්ලිමේන්තුවට පැවරෙන්නෙ ඉන් අනතුරුව යළි මහමැතිවරණයකට යායුතුව තිබෙනව, ඒ මහ මැතිවරණයේ දී ජනතාවට යළිත් ජනවරමක් ලබාගත හැකිව තිබෙනව, කවුද ආණ්ඩුව වශයෙන් ජනතාව පත් කරන්නෙ කියල. ඒ නිසා මේ මාර්ග සිතියම පමණයි මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එකම මාර්ග සිතියම කියල අපි කල්පනා කරන්න ඕනෙ.

ඒ කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ ඒ විදිහටම තියාගෙන ඉන්නව තවම?

අනිවාර්යෙන්ම. මම අදත් කතානායකතුමාත් එක්ක සාකච්ඡා කළා 20 වන සංසෝධනය පිළිබඳව කතානායක තුමා හා මහ ලේකම් වරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබුවා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හේතුකොට ගෙන විසිවන සංසෝධනය පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා නැහැ කියල. මොකද ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන නිසා විසිවන සංසෝධනයෙ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම තමයි අපේ අපේක්ෂාව. ඒ නිසා

  1. මේ කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම.
  2. මේ කුමන්ත්‍රණ කරුවන්නට දඬුවම් පැමිණවීම සඳහා නීතියක් හරහා ආයතනයක් ස්ථාපිත කිරීම.
  3. 20 වන සංසෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
  4. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒම.

 

මේ මාර්ග සිතියම හරහා විතරයි මේ රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම සඳහා ඇති එකම මාවත කියා අපි විශ්වාස කරනව.

 

ඔබතුමා යෝජනා කරනවා කොමිසමක් පිහිටුවන්න කියල. මේ රටේ කොමිසම් නම් දිගින් දිගටම එනවා. ජනාධිපති වරයා පත්කරපු මහබැංකු බැඳුම්කර සම්බන්ධයෙන්, හිටපු මහින්ද රාජපක්ෂගෙ පාලන කාලය ගැන වාර්තා 34ක් සම්බන්ධයෙන්, නමුත් මේවායින් කාටවත් දඬුවම් දීපු ඉතිහාසයක් අපේ රටේ නැහැ.

 

මේ කොමිසන් සෑම එකක්ම පිහිටුවනු ලැබුවේ ඒ මොහොතේ තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය උවමනාව මත. බරපතල වංචා පිළිබඳව රාජපක්ෂ පාළන කාලයේ කොමිසන් සභාව ඉදිරිපත් කළේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා රාජපක්ෂ කඳවුර සමතලා කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන බලය ලබාගැනීමේ දේශපාලන සැලැස්මේ ඉන්නකොට. බැඳුම්කර කොමිසම් සභාව පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහ තලා තමන්ට බලය අත්පත් කරගැනීමේ උවමනාවන් එනකොට. ඒ නිසා ජනාධිපතිවරණයේ කොමිසන් සභා පිහිටුවා තිබීම අනුව බලනකොට ඒවා දේශපාලන උවමනාවෙන් පිහිටුවනු ලබන ඒවා.

 

හැබැයි ඒ වගේම ඔබ දන්නවා අපරාධ යුක්ති කොමිසන් සභාව පිහිටුවලා මේ රටේ 1971 අපේ පක්ෂයට විශාල දඬුවම් දීපු ඉතිහාසයකුත් තිබුණා කොමිසන් සභා හරහා. මේ ගොල්ලන්ගෙ කොමිසන් සභා දේශපාලන උවමනාවන් සඳහා දිග්ගැස්සෙන බව ඇත්ත. ඒ නිසා අපි කියන්නෙ පාර්ලිමේන්තු පනතක් හරහා මෙම කොමිසන් සභා පිහිටුවිය යුතුයි. සෑම පුරවැසියෙකුටම ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමට. මොකද රටට වෙලා තියෙන ආර්ථික හානිය හා රටට වෙලා තියෙන රට දේශපාලන වශයෙන් අස්ථාවර තත්ත්වයට පත්කරන ලද අපකීර්තිය. ඒක අත පිහදාගෙන මහින්ද රාජපක්ෂ මහත්තය පුටුවෙන් නැගිටල ගෙදර ගියා කියල, රනිල් වික්‍රමසිංහ මහත්තය ආයේ පුටුවෙ වාඩි වුණා කියල, ඒ අපරාධය වැහෙන්නෙ නෑ. ඒ නිසා මෙවැනි අපරාධ යළිත් මේ රටේ සිදු නොවෙන්න නම්, අනිවාර්ය ලෙස මේ අයට දඬුවම් ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගතයුතුයි.

අවසාන ප්‍රශ්නය, දැන් මේ සියලු දේවල් අධිකරණයට ගිහින් තියෙනව. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාදායකය පවතින්නෙ අධිකරණය මත ද?

 

අපි ඒ තරම් ඒකට එකඟ වෙන්නෙ නැහැ. ඒ කියන්නේ අපේ රටේ දේශපාලන අර්බුද අධිකරණය හරහා විසඳාගැනීමේ සංස්කෘතියක් ගොඩනැගුනොත්, අධිකරණය තමන්ගේ බලසීමාවෙන් ඔබ්බට යන සංස්කෘතියක් නිර්මාණය වීමේ ඉඩකඩ තියෙනව. ව්‍යවස්ථාදායකයට පැවරී තිබෙන කාර්යබාරය ව්‍යවස්ථාදායකයෙන් විසඳාගැනීමත්, විධායකයේ කාර්යබාරය විධායකයෙන් විසඳා ගැනීමත් තමයි රටකට වඩාත් යෝග්‍ය. හැබැයි දැන් සිදුවී තිබෙන තත්ත්වය තමයි, ව්‍යවස්ථාදායකයේ තීන්දු තීරණ නොසලකන විධායකයක් තුළ තියනව නම්, විධායකය ව්‍යවස්ථාවට ගරු කරන්නෙ නැත්නම්, එම නිසා ජනතාවට පිහිටපතන්න වෙන්නේ අධිකරණයේ පමණයි. ඒ නිසා මේ සියලු දේශපාලන අර්බුදය අධිකරණයට කේන්ද්‍රගත වීමත්, අනිත් සියලුම ආයතනයන්ගේ තීන්දු තීරණ ප්‍රතික්ෂේප වීමේ එක හේතුවක්. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි කිසිසේත්ම සියලු දේශපාලන ප්‍රශ්න අධිකරණය හරහා විසඳගැනීම සඳහා ගමන් කරන මාවත පිළිබඳව ඒතරම් එකඟ තාවයක් නෑ.

 

සකස්කළේ  – මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *