ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? – අධිනීතිඥ ලාල් විජේනායක

මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම තමන් ආණ්ඩුවයැයි කියා ගනිමින් පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය ගරු කරනු ලබන කිසිදු රටක සිදු නොවී ඇති සිද්ධියකි. විරුද්ධ පක්‍ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම අප අසා ඇත. එය එතරම් බරපතල ප්‍රශ්නයක් නොවේ. එහෙත් ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීම තුලින් බරපතල දේශපාලන හා නීතිමය ප්‍රශ්න මතු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 අ ව්‍යාවස්ථාව යටතේ ජනාධිපතිවරයා මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍යය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවට වගකිව යුතුය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට උත්තර දීම, වගකීම වැදගත් ලක්‍ෂණයකි. එහෙයින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්‍ෂය තමන්ගේ පාලනය තුලින් මතුවන ප්‍රශ්න වලට මහජනයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දීය යුතුය. එමෙන්ම තම පාලනය ගෙන යෑම සඳහා අවශ්‍ය නීති රීති එනම් ව්‍යවස්ථා සකස් කිරීම ද කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවේ පනත් සම්මත කිරීම තුලින්ය.
එහෙයින් ජනතාවට තම ආණ්ඩුව පාලනය කළ හැක්කේ විධිමත් පාර්ලිමේන්තුවක් තුලින්ය. එහෙයින් ජනතාවගේ අධීක්‍ෂණයට ආණ්ඩුව පත් වන්නේ ඔවුන් පාර්ලිමේන්තුවේ සිට මතුවන ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන්ය. ඔවුන්ගේ පාලනය පිළිබඳ අදහස් ජනතාව විසින් ප්‍රකාශ කරනු ලබන්නේ පාර්ලිමේන්තුව තුලින්ය. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්ම කේන්ද්‍රස්ථානය වන්නේ පාර්ලිමේන්තුවයි. නොයෙකුත් ප්‍රශ්න ඇතත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරනු ලැබීමෙන් අදහස් වනුයේ ඔවුන් ජනතාවට උත්තරදීම මගහැර ජනතාවට ඇති වගකීමෙන් මිදී අන්තනෝමතික පාලනයක් ගෙන යන බවය. එය ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් තුල ඇති ජනතාවගේ අයිතියට මරුපහරකි. මෙය ඒකාධිපති පාලනයක ලක්‍ෂණයකි.
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ අදහස ඔවුන් රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පවරා ඇති ආයතනයට පිටින් පාර්ලිමේන්තුවට සමාන්තරව පිහිටුවා ගන්නා කේන්ද්‍රස්ථානයකින් රට පාලනය කරනු ලබන බවය. මෙය ඉතා භයානක වර්ධනයකි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇති අතර 4 වන ව්‍යවස්ථාව යටතේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ප්‍රධාන කුළුණ වන ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. එහෙයින් පාර්ලිමේන්තුව අගමැති, ඇමතිවරුන් හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට දැඩි පහරකි.
මෙසේ අගමැති, ඇමතිවරුන් හා ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනයේ අරුත වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වග නොකියන, ජනතාවට උත්තර නොදෙන ජනතාවගෙන් ඈත්ව අන්තගාමී පාලනයක් ගෙන යන බවයි. එපමණක් නොව රට පිළිගත් බල ව්‍යුහයෙන් පිට වෙනත් කේන්ද්‍රයක සිට රට නීති විරෝධීව පාලනය කරනු ලබන බවය. මෙහි අර්ථය වන්නේ 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව වසර 88 ක පමණ කාලයක් අප රට ජනතාව විසින් පත් කරනු ලබන ජනතාවගේ නියෝජිතයින් මාර්ගයෙන් රට පාලනය කිරීමේ අයිතිය ජනතාවට අහිමිවිම අපේ ජනතා නියෝජිතයන්ගේ මාර්ගයෙන් රට පාලනය කිරිම වෙනුවට රටේ ජනතාවගේ අධීක්‍ෂණයෙන් තොරව පිටතින් පාලනයක් ගෙන යෑමය. මෙය අපගේ දේශපාලන සංස්කෘතිය මෙන්ම අප ගරු කරන අප දීර්ඝ කාලයක් ආරක්‍ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය විනාශ කිරීමකි. අප 2015 ජනවාරි 8 වන දින ජයග්‍රහණය කල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන පාවාදීමකි.
ජනතාවගේ නියෝජිතයන් විසින් පත් කරනු ලබන ජනතාවගේ වැඩි විශ්වාසයක් ලැබූ පුද්ගලයා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බැඳී සිටියදී එසේ නොකරන බවට එනම් රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් නොකරනු ලබන බව ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ප්‍රකාශයකි. ජනාධිපතිට විරුද්ධව මෙම ප්‍රකාශය මතම දෝශාභියෝගයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ඉදිරිපත් කිරීමට තරම් ප්‍රබල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකිරීමකි.
සීග්‍රයෙන් අප අගය කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයෙන් ඈත් කිරීම ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ ගෙන යන එම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට විරුද්ධව ජනතාව මැදිහත් විය යුතුව ඇත. මෙය පරාජය කළ හැක්කේ ජන බලයෙන් පමණකි.

අධිනීතිඥ ලාල් විජේනායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *