ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාට සවන් දෙමු – අනුර සූරියබණ්ඩාර

පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි නොවන පාර්ලිමේන්තුව වර්ජනය කරන ආණ්ඩුවක් පවතින් ලොව එකම රට ශ්‍රී ලංකාවය. ආණ්ඩුව පාර්ලිමේන්තු සැසිවාරවලට සම්බන්ධ නොවන්නේය යන්නෙහි අදහස රට පවතින්නේ අරාජික තත්ත්වයක යන බවය. රටක ආරාජිකත්වය සහ දේශපාලන අස්ථාවර භාවය එම රටෙහි ආර්ථිකයටත් පැවැත්මටත් සුබදායී නැත. එසේ වුව මෙරට නීතිවිරෝධී ආණ්ඩුව ජනතාවට පෙන්වන්නට උත්සාහ කරන්නේ පවතින ආරාජිකත්වය රටට කිසිම ප්‍රශ්නයක් නොමැති බවය. ඇත්ත තත්ත්වය එයද? රටට ආදරය කරන සැම පුරවැසියෙකුම ඒ පිළිබඳව බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. ඒ සඳහා කදිම නිර්ණායකයක් 2018 නොවැම්බර් 23 ඩේලි මිරර් පුවත්පතෙහි පළවී තිබුණි. ඒ වනාහී ශ්‍රී ලංකාවේ ජර්මන් තනාපති ජෝන් රොඩේ (Tohn Rohde) සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

මාධ්‍යවේදී කැලුම් බණ්ඩාර එකී සම්මුඛ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ කුමක් කියන්නේ දැයි ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාගෙන් විමසයි. එහිදී තානාපතිවරයා කියන්නේ 2018 ඔක්‍තෝබර් 26න් පසුව ඇති වූ තත්ත්වය ඔවුන් දකින්නේ සාධනීය තත්ත්වයක් ලෙසින් නොවන බවයි. ව්‍යාපාරික මණ්ඩල උපකාර ඉල්ලමින් පසුවන බවත්, පවතින අවුල්සහගත තත්ත්වය කඩිනමින් විසඳාගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටින බවත් තානාපති වරයා කියයි. තනාපතිවරයා ඒ පිළිබඳව පැහැදිලි කරන අකාරය මෙසේය. “ව්‍යාපාරික කටයුතුවලට මේ වනවිට පවතින තත්ත්වය බලපාල  තියෙනව. ඉහළ මට්ටමේ ව්‍යාපාරික ගමන් අවලංගුවෙලා. ලබන අවුරුද්දෙ මුල පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් පැමිණීමට නියමිතව තිබුණ. එම පැමිණීම දැන් අවිනිශ්චිතයි. ද්විවාර්ෂිකව පවත්වන ජර්මන් ව්‍යාපාරික ආසියා පැසැපික් ව්‍යාපාරික සමුළුව මේ වතාවේ පැවැත්වුණේ ජකාර්තාවල. ඒක අපිට වැදගත් අවස්ථාවක්. ඇමති මලික් සමරවික්‍රම එයට සහභාගිවෙලා, ජර්මන් ව්‍යාපාරික ප්‍රධානීන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව පැහැදිලි කරන්නට නියමිතව තිබුණ. ජර්මන් ව්‍යාපාර ප්‍රධානීන් 1000 පමණ එයට සහභාගි වුණා. සමුළුව පැවැත්වුනේ නොවැම්බර් 01. ඇමතිවරයා එයට සහභාගිවුණේ නැහැ. ඇමතිවරයාට මේ රටේ වෙනත් කාර්යයන් බහුල වෙලා තිබුණ. ශ්‍රී ලංකාවේ ව්‍යපාරික අවස්ථාවන් අලෙවි කරනවා වෙනුවට අපට සිද්ධ වුණේ මේ රටේ සිද්ධ වෙන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට උත්තර දෙන්නයි. අගමැතිවරු දෙනේනෙක් ඉන්න එකම රට ලංකාව කියලයි එයාල කීවේ. ඒක බැරෑරුම් තත්ත්වයක් වුණ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා අලෙවිකරන්න තිබුණු අවකාශය නහස්තිවුණේ එහෙමයි.

දෙවැනි කාරණය, අපි ගිය අවුරුද්දෙ ජර්මන් වෙ‍ළෙද කාර්යාලයක් ලංකාවේ ආරම්භ කළා. ඉන්දියාව හැරුණම වෘත්තිමය වෙළෙද කාර්යාලයක් ඇති එකම එට ශ්‍රී ලංකාව. ජර්මානු ආණ්ඩුවත් කර්මාන්ත විසිනුත් මුදල් සම්භාරයක් එතෙනට පොම්ප කළා. දැන් පවතින තත්ත්වය නිසා සහ එම දීර්ඝ කාලීන හා මධ්‍ය කාලීන ආයෝජන ලැබීම අවිනිශ්චිතයි. දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව කියල හැමෝම කිවත් අයෝජන සදහා වැදගත් වටපිටාව අනතුරේ වැටිලයි තියෙන්නේ.”

පසුගිය ආණ්ඩුවේ (එනම් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යටතේ) ගනුදෙනුවල විනිවිද භාවය පිළිබද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධව ජනමාධ්‍යවේදී කැලුම් බණ්ඩාර මහතා විමසූ විට ජර්මන් තනාපතිවරයා පිළිතුරු දී තිබුණේ මෙසේයි.

“ජර්මන් ආයෝජකයන්ට පිළිපැදීමට ජර්මන් නීතියෙන් නියම කරන ලද බලගතු කොන්දේසි තියෙනවා. එම නීති ඉතා දැඩියි.

මම ජර්මන් බැංකුවක් එක්ක කතා කළා. මේ රටට එන්න ඒ අයට අවශ්‍යවෙලා තිබුණ. පවතින වාතාවරණය නිසා ඒ අයගෙ ගමන කල් දමන්න කියල මම කීව. මම ජර්මන් ආයෝජකයන් එක්ක කතා කළා. පවතින දේශපාලන වටාපිටාව නිසා හැම අමාත්‍යාංශයක්ම අංශභාග තත්ත්වයකට පත්වෙලා. ගාල්ලේ මාතෘ රෝහලක් වැඩි දියුණු කිරීමට ලැබෙන්නට තිබුණු ණය වාරිකය පමා වුණා. දකුණේ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයකටත් අපි මූල්‍ය ආධාර ලබාදෙනව. හැම දෙයක්ම නතර වෙලා. මාතර ආයෝජනය යුරෝ මිලියන 11ක්. රෝහල වැඩි දියුණු කිරීම සදහා යුරෝ මිලියන 42ක් ඒක ණයක් ඒ මුදල් පමාවීම බලපාන්නේ ලංකාවේ බදු ගෙවන්නන්ට. නියමිත වෙලාවට තීරණ ගැනීමට නොහැකි කම අවාසනාවක්. කණගාටුවෙන් වුණත්, පවතින තත්ත්වය සංසිදෙනතුරු ටිකක් ඉන්න කියල ආයෝජකයන්ට උපදෙස් දෙන්න අපට සිද්ධවෙලා තියෙනව. අපිත් අනෙක් රටවලුත් මේ මොහොතේ නිකුත් කරල තියෙන සංචාරක උපදෙස් සංචාරක කර්මාන්තයට බලපානව”

ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් කල්පනා කරන විට ජර්මනියේ අවධානය යොමුවෙන්නෙ ව්‍යාපාරික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණක්ද යන පැනයට ජර්මන් තානාපතිවරයා දී තිබුණේ මෙවැනි පිළිතුරක්.

“අපි දැන් සාකච්ඡා කරන්නේ‍ ආර්ථිකය පිළිබද අපේ පොදු මතය. අපි යුරෝපාසංගමයේ තනාපති කාර්යාලය හරහා එහෙමත් නැත්නම් ජර්මනියේ ප්‍රවෘත්ති හමුවල දී අපේ ප්‍රකාශනයන් හරහා අපි දැනුම්දීල තියෙනව.

අපි පෙනී සිටින්නේ ගැටලුවට ඉතා කඩිනම් විසඳුමක් වෙනුවෙන්. හැමෝම නෛතික භාවයට ගරුකරනව දැකීමත් විනිවිද භාවයෙන් කටයුතු කරනු දැකීමත් තමයි ‍අපේ කැමැත්ත. 2017 යුරෝපා සංගමය ලංකාවට ජී.එස්.පී. ප්ලස් පහසුකම ලබා දුන්නා. මානව හිමිකම් සම්බන්ධ 27 වැනි ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තබන්නට ශ්‍රී ලංකාව එකඟ වූ නිසයි ජී.එස්.පී. ලබා දුන්නෙ. යහපාලනය, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංසෝධනය ඕනෑම ආණ්ඩුවක් මේ දේවල් අනුගමනය කරයි කියල අපි බලාපොරොත්තු වෙනව.”

ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් සීමාවෙන් ඉහළට යැවුණු කල ජී.එස්.පී. අහිමි වෙනවා නේද යන ප්‍රශ්නයට ජර්මන් තානාපතිවරයි පවසා තිබුණේ, ඊට පෙර වසර පහක් මෙරටට එම සහනයෙන් ප්‍රයෝජන ගත හැකි බවයි. එමෙන්ම එකී වසර පහක කාලය තුළ ආර්ථික විවිධාංගීකරණයකට යොමු විය හැකි බවයි. එසේම, පාර්ලිමේන්තුව තම මතය ප්‍රකාශ කළ යුත්තේ, විවාද කිරීමෙන් මිස කසල බඳුන් විසිකිරීමෙන් නොවන බවත් ඔහු පවසා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේදී යමකු ග්‍රහණය කළ යුතු වන්නේ විවාදයෙන් මිස ඒ මේ දේ වලින් දමා ගැසීමෙන් නොවන බව තනාපතිවරයා කියා තිබුණා. ඔහුගේ මතය අනුව මේ මොහොතේ  කල්පනා කළ යුතුවන්නේ එයින් ආර්ථිකයට සිදුවන බලපෑම ගැන බවයි තානාපතිවරයා කියා තිබුණේ.

ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ තනාපතිවරයාට වැටහෙන මේ කරුණු කිසිවක් මේ රටේ ජනාධිපතිවරයාට හෝ වත්මන් අගමැතිවරයාය කියන මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ආණ්ඩුව යැයි කියන කණ්ඩායමට අවබෝධ කර ගන්නට වුවමනාවක් නොතිබීමයි. එසේම එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් කණ්ඩායම්ද මේ මොහොතේ කළ යුතු යුත්තේ කොයියම් ආකාරයකින් හෝ රටෙහි පවතින දේශපාලන අවිනිශ්චිතතාව සමනය කර ගැනීම කෙරෙහිය. එසේ නොවන්නේ නම් සියල්ලෙහි බර පැන පැටවෙනු ඇත්තේ පාර්ලිමේන්තුවේ දෙපිලට බෙදී තම තමනගේ බලය වෙනුවෙන් කටයුතු කරන 225 දෙනා මත නොව රටේ ජනතාව මතය. අපේ දරුපැටවුන් මතය.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *