බලය සමග ගනුදෙනුව – නිශාන්ත කමලදාස

බලය දූෂණයට මග පාදන්නේ ය. අසීමිත බලය සීමා රහිත දූෂණයට මග පාදන්නේ ය. මේ අප අසා ඇති කියමනකි. එහි මුල් කර්තෘ ලෙස සඳහන් වන්නේ ලෝඩ් ඇක්ටන් ය. එහෙත් මේ පාඨය බොහෝ දෙනකු විසින් නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙන දෙයකි.

බලය තියෙන ඇතැම් ඇත්තෝ ඒ බලය යොදාගෙන සොරකම් කරන බව මේ රටේ මිනිසුන්ට අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන්ගෙන් සමහරක් එයින් නොනැවතී දුරාචාරයේ ද, මිනීමැරුම්වල ද ,හිංසනයේ ද බලහත්කාරකමේ ද යෙදෙන බව ද අලුතෙන් කිව යුතු නැත. මේවා පිළිබඳ ඕනෑතරම් උදාහරණ අපට තිබේ. මේ නොපනත්කම් සියල්ල බලය යොදා ගනිමින් කරන අතරතුර ඒවා සැඟවීම ද බලය යොදා ගනිමින් ම කෙරෙන්නේ ය. ඒ නිසා බලය දූෂණයට මග පාදන බවට අටුවා ටිකා අවශ්‍ය නැත.

බලය දූෂණයට පමණක් නොව තව බොහෝ දුර්භාග්‍යන්ට ද බල පාන්නේ ය. එයින් මත් වන කෙනකුට හොඳ නරක තව දුරටත් තේරෙන්නේ නැත. වෙන කිසිවකුට සවන් දිමට ඇති සංවේදනය ඒ මත් වීමත් සමග අතුරුදහන් වන්නේ ය.

එතෙකුදු බලය නරක දෙයක් නොවේ. පිළිකෙව් කළ යුතු දෙයක් ද නොවේ. මේ ලිපියේ අරමුණ එහි දිග පළල හා සීමා විමසීමට ය. එහි සාධනීය හා නිශේධනීය පැතිකඩ විමසීමට ය. අප බලය යන ප්‍රපංචය සමග කෙසේ ගනුදෙනු කළ යුතු දැයි කියන්නට ය.

නායකයකුට බලය අවශ්‍ය ය. ඒ නායකත්වයේ වගකීම ඉටු කරනු පිණිස ය. තමන් නායකත්වය දෙන ආයතනයේ සංවිධානයේ එහෙමත් නැතිනම් රටේ ප්‍රගමනය ඇති කරනු සඳහා ය.

නායකයා තමන් නායකත්වය දෙන සංවිධානයට දිසාවක් සැපයිය යුතු ය. ගමනාන්තයක් සැපයිය යුතු ය. ඒ ගමන සංවිධානය කර දියත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් යෙදිය යුතු ය. අවශ්‍ය සම්පත් උත්පාදනය කළ යුතු ය. එක් එක් අංශයට තම වගකීම ඉටු කරගත හැකි ලෙස එම සම්පත් ලබා දිය යුතු ය. බෙදා දිය යුතු ය. එක් එක් අංශ වෙන වෙනම නොව සංගතියක් ඇතිවන ලෙස නිශ්චිත දිසාවට නිශ්චිත ගමනාන්තයට ගමන් කරන බවට අධීක්ෂණය කරමින් සහතික කළ යුතු ය. සිය බලය යොදා ගනිමින් නිවැරදි ලෙස ඒ ගමනේ යෙදෙන අයට ප්‍රතිලාභ පිරිනමමින් ඔවුන් දිරිමත් කළ යුතු ය. එසේ නොකරන අයට දඬුවම් දෙමින් ඔවුන් නිසි මගට ගත යුතු ය. ඒ කටයුතු කළ යුත්තේ තනිව නොවේ. අදාළ පිරිවර සමග ය. එහෙත් වගකීම නායකයාට ය. ඒ නිසා ම මේ සියල්ල සඳහා නායකයාට බලය අවශ්‍ය ය.

බලය තිබීම පමණක් ප්‍රමාණවත් නැත. එය භාවිත කළ යුතු ය. එසේ නොකළහොත් පිහියක මෙන් ම එහි මුවහත ද නැතිව යන්නේ ය. ඒ නිසා ම නායකයකු සතු වැදගත්ම ගුණාංගය තමන් සතු බලය අවශ්‍ය අවස්ථාවේ දී භාවිත කිරීම ය. සම්පත් බෙදා හැරීමට භාවිත කිරීම ය. ප්‍රතිලාභ දීමට දඬුවම් දීමට භාවිත කිරීම ය. කටයුතු සංවිධානය කිරීමට, සම්බන්ධීකරණය කිරීමට, භාවිතා කිරීම ය.

බලය ප්‍රදර්ශනය

බොහෝ නායකයන් කරන්නේ බලය භාවිත කිරීමට වඩා එය ප්‍රදර්ශනය කිරීම ය. බලය ප්‍රදර්ශනය වඩාත් ප්‍රචලිතව පැවතුණේ රජ කාලයේ ය. රජුගේ අසිමීත බලය පෙන්වීමට රත්තරන් මුතු මැණික් විශාල මාලිගා සපිරිවර සියල්ල නොඅඩුව භාවිත වුණේ ඒ කාලයේ ය. අදටත් බොහෝ නායකයින් කැමති ඒ ශ්‍රී විභුතිය තම වටපිටාවේ තිබෙනු දැකීමට ය. ඔවුන් වැඩි සතුටක් ලබන්නේ බලය භාවිතයෙන් නොවේ. එය ප්‍රදර්ශනයෙන් ලැබෙන ප්‍රහර්ශයෙනි. ගැටලුව ඇත්තේ එතැන ය. ඔවුහු බලය ප්‍රදර්ශනය කරනු ලැබීමේ සතුටේ ගිලෙමින් බලය භාවිත කිරීම සම්බන්ධයෙන් ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෝ ය. ගෝලයන්ට රිසි සේ කටයුතු කරන්නට ඉඩ දී බලා සිටින්නෝ ය. තමන් වර්ණනා කරනතාක්, තමන්ට ලැදියාව පෙන්නනතාක් ,ගෝලයන් කුමක් කළ ද නායකයෝ වගේ වගක් නැති ව සිටින්නෝ ය.

බලය ප්‍රදර්ශනය කිරීමේ එක් මූලික කොන්දේසියක් වන්නේ සෙසු පිරිස එම ප්‍රදර්ශක බලයට සිය අවනතභාවය ද එළිපිට ප්‍රදර්ශනය කිරීම ය. උදාහරණයක් ලෙස ඔවුන් නායකයාගේ ආගමනයේ දී නැගිට ආචාර දැක්විය යුතු ය. නායකයා යමක් පිරිනමන විට දණ්ඩ නමස්කාරය කොට එය පිළි ගත යුතු ය. නායකයා කියන්නේ කුමක් වුව ද මුවින් නොබැණ ඉවසිය යුතු ය. ඊට අත්පොළසන් දිය යුතු ය. නායකයාගේ උපදෙස් ප්‍රශ්න නොකර අකුරක් නෑර අනුගමනය කළ යුතු ය. නායකයාට ප්‍රශස්ති ගැයීමට ඉදිරිපත් විය යුතු ය. නායකයා වෙනුවෙන් පෞද්ගලිකව ම තම කැපවීම ප්‍රදර්ශනය කළ යුතු ය. නායකයා වඩාත් ම ප්‍රහර්ශයට පත් වන්නේ තමන්ගේ අනුභාව සම්පන්න භෞතික දෙයින් ම නොවේ. සිය අන්තේවාසිකයන් විසින් ප්‍රදර්ශනය කෙරෙන මේ අන්ධ භක්තියෙන් ලැබෙන උත්තේජනයෙනි.

බරපතළ ම ප්‍රශ්නය පැන නගින්නේ නායකයාගේ ප්‍රහර්ශයට අදාළ ඒ දෙවැනි කාරණය නිසා ය. මෙසේ බලය ප්‍රදර්ශනය කරන්නට යෑම නිසා නායකයකුට බලය පාවිච්චි කළ යුතු අවස්ථාවක වුව ද එසේ කරන්නට බැරි වන්නේ ය. තමන්ට දේවත්වයෙන් සලකන තමන් දණ්ඩ නමස්කාරයෙන් පුදන මිනිසුන්ට එරෙහි වන්නට ඔහුට නොහැකි ය.

එයින් කියවෙන්නේ බලය ප්‍රදර්ශනයෙන් එය ක්ෂය වන බව ය. තවදුරටත් භාවිතා කිරීමට බලයක් එවිට ඉතිරි නොවන බව ය. ඒ බලය ප්‍රදර්ශනය සඳහා දැනට ම යොදාගෙන ඇති නිසා ඒ තුළ බලය හිර ව ඇති නිසා ය.

මෙතැන ගනුදෙනුවක් තිබේ. එකක් නායකයාට කොන්දේසි විරහිතව පෞද්ගලික පක්ෂපාතිත්වය අනුගාමිකයන් විසින් දීම ය. දෙවැන්න ඊට හිලවුවට තමන්ට රිසි සේ කටයුතු කරගෙන යෑමට අවසර නායකයාගෙන් ලැබීම ය.

පස් හා සීනි

තමනුත් කටේ “පස්“ දාගෙන අනුගාමිකයන්ගේ කටේත් “පස්“ දාන්නට එයින් මග පෑදෙන්නේ ය. පස් කියා දා ගන්නේ “සීනි“ බව අන්දරේගේ කතාව දන්නා අයට අලුතින් කියන්නට අවශ්‍ය නැතැයි සිතමි. අසීමාන්තික බලය අසීමාන්තික දූෂණයට මග හෙළි කරන්නේ එසේ ය. නායකයාට පමණක් සීමා නොවී ළග ඉන්නා අන්තේවාසිකයන් සියල්ල ද කොල්ලකරුවන්, මං පහරන්නන් හා හොරුන් වන්නේ ඒ අනුව ය.

බලය සම්බන්ධ කතිකාවට අලුතින් එක් වන තව මානයක් තිබේ. ඒ නම් මේ අසීමාන්තික බලය හොබවන අයගේ මොළයට අනතුරු සිදු වන බව ය. එය පිළිකාවක් මෙන් පැතිරී මොළයේ ඇතැම් කොටස් දුර්වල කර දමන බව ය. මේ ගැන කියන්නේ බර්ක්ලේ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩැචර් කෙල්ට්නර් මහතා ය. ඒ වසර ගණනාවක පර්යේෂණාගාර හා ක්ෂේත්‍ර පර්යේෂණයන්වලින් අනතුරුව ය.

අසීමාන්තික බලයට නිරාවරණය වූ අයට මොළයේ යම් අබාධයක් වූ කෙනකුට මෙන් ඉක්මණින් හැඟීම්වලින් ප්‍රලය වන්නටත්, තමන් ගන්නා අවදානම ගැන වගේ වගක් නැතිවීමටත්, සෙසු මිනිසුන්ගේ කෝණයෙන් යමක් දෙස බැලීමට නොහැකි වීමත් යන ලක්ෂණ පහළ විය හැකි බව ඔහු විසින් දශක 2 ට ආසන්න කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ඔන්ටාරියෝහි මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාඥ සූක්වින්ඩර් ඕබි ද මීට සමාන සොයා ගැනීමක් කර තිබේ. මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් පර්යේෂණ කළ කෙල්ට්නර්ට වෙනස් ව මොළය පිළිබඳව පරීක්ෂණයන්හි යෙදුණු ඕබි මොළයේ ක්‍රියාකාරිත්වය ගැන කිව හැකි අදාළ චුම්භක ක්ෂේත්‍ර පදනම් කර ගත් පර්යේෂණ යොදා ගනිමින් බලය හොබවන හා බලය නැති අයගේ මොළයන් හි ක්‍රියාකාරිත්වය සන්සන්දනය කරමින් කියා සිටියේ බලය හොබවන අයගේ මොළයේ “දර්පණය“ කිරීමේ හැකියාව ලැබෙන නිශ්චිත ක්‍රියාවලිය දුර්වල බව ය. දර්පණය කිරීමේ හැකියාව සහකම්පනය හා බැඳුනකි. අපට කෙනකු සමග සහකම්පනය ඇති කරගත හැක්කේ ඔහුගේ හැසිරීම කටහඩ සහ ඉරියවු වලට සමාන ලෙස අපේ ඒවා සකස්කරගත හැකි නම් ය. බලය හොබවන අයට ඒ හැකියාව අහිමිව ඇතැයි ඔහුගේ පර්යේෂණවලින් හෙළිදරව් වී තිබේ. ඒ මගින් කෙල්ට්නර්ගේ පර්යේෂණවල ප්‍රතිඵල සනාථ කරන භෞතික සාක්ෂි ලැබී තිබේ.

සංවේදී බවේ ප්‍රශ්න

නායකයකු පමණට වඩා මිනිසුන්ට සංවේදී වීම යහපත් නැත. එයින් සිදු විය හැකි එක් නපුරක් නම් සෙසු සාධක ගිලිහී යෑම ය. එසේ බැලූ විට මේ දුර්ගුණය නායකත්වය සඳහා අත්‍යවශ්‍ය යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් මේ තත්වය පමණ ඉක්මවා යෑමෙන් සිදු වන්නේ නපුරකි. ඒ මිනිසුන්ගෙන් ඈත් වෙමින් පවතින නායකයකුගේ බිහි වීම ය. බලය මත පමණක් විශ්වාසය තබන සෙසු මිනිසුන් සිතන්නේ මතන්නේ කුමක් දැයි යන්න පිළිබඳ අබමල් රේණුවක් නොසිතන නායකයකුගේ බිහි වීම ය.

දෙවැනි ලෝක මහා යුද්ධය අවසාන වකවානුවේ හිට්ලර්ගේ පරාජය පිළිබඳ ආරංචියෙන් පසු වින්සන්ට් චර්චිල්ගේ හැසිරීම හදිසියේ වෙනස් වූ බව ඔහු ළගින් හුන් මිනිසුන්ට – සගයින් ට, නිලධාරීන් ට හා බිරිය ට දැනුණු බව වාර්තා වී ඇත. ඔහු තමන් වටා සිටින අය මායිම් නොකරන අමුතු හැසිරීමක් පෙන්වා තිබේ. මේ සම්බන්ධයෙන් වින්සන්ට් චර්චිල්ට මුලින් ම අනතුරු අඟවා ඇත්තේ ඔහුගේ බිරිය ය. “මගේ ආදරණීය වින්සන්ට්, ඔබගේ හැසිරීම පිරිහී ඇතැයි මට පෙනී ගොස් තිබෙන බව කියන්නට මට අවසර දෙන්න. කිසිදු අදහසක්, නරක මෙන් ම හොඳ ද අදහසක්, ඔය හැසිරීම නිසා මතු නොවනු ඇත. ඔබට තවදුරටත් හොඳ ම ප්‍රතිඵල අයත් කරගන්නට නොහැකි වනු ඇත. මා මෙසේ ලියන්නේ මට දැනුණාට අමතරව ඔබ රැස්වීම්වල දී හැසිරෙන විදිහ වෙනස් වී ඇතැයි ඔබේ ම සගයින්ගෙන් මට අසන්නට ද ලැබුණු නිසා ය.“ ඇය ඔහුට ලියා යැව්වා ය.

බලය හොබවන නායකයන් මේ අනතුරුදායක රෝගයෙන් ගලවා ගැනීමට එසේ නොබිය ව ඔහුගේ,ඇයගේ මුහුණට ඒ බව කියන්නට හැකි මිනිසුන් අවශ්‍ය ය. හැම බිරියකට ම ඒ හයිය නැත.

රජවාසල කවටයකු සිටියේ ඒ සඳහා යැයි සිතිය හැකි ය. කවටයාට රජු පවා විහිළුවට ලක් කිරීමට අවසර තිබුණේ ය. ඒ සඳහා හොඳම දේශීය උදාහරණ අපට දෙන්නේ අන්දරේ ය. හීන් නූලෙන් රජුගේ කටයුතු ඔහු විහිළුවට ලක් කළේ ය. ඒ සමග ම අන්තේවාසිකයන්ගේ කටයුතු ද එයින් උද්දාමයට පත් රජුගේ ප්‍රහර්ශය ද ඔහු විහිළුවට ලක් කළේ ය. එයින් එක කතාවක් ගෙන අපි විමසමු.

ඇවිදගෙන යන කල දුටු වම්බටු පාත්තියක් ළග නැවතුණු රජු අන්දරේගෙන් මෙසේ ඇසුවේ ය. අන්දරේ, වම්බටු ගුණයි නේද? එසේය, දේවයන් වහන්ස වම්බටු අතිශයින් ගුණදායක ආහාරයකි. සිරුරට ඖෂධයකි. අන්දරේ ද නොපැකිලව උත්තර දුන්නේය. නැවත ආපසු එන ගමනේ දී ද වම්බටු පාත්තිය ළඟ නැවතුණු රජතුමා නැවතත් අන්දරේ ඇමතුවේ ය. අන්දරේ වම්බටු ඇඟට අගුණයි කියනව නේ ද? එසේ ය, රජතුමනි වම්බටු කෑම මේසයක අහලටවත් ගත යුතු නැතැයි කියා සිටියේ ය. මොනව අන්දරේ උඹ දැන් ටිකකට ඉස්සෙල්ල කිව්ව නේ ද වම්බටු ගුණයි කියල. ඒ කටින් ම දැන් කොහොම ද කෑම මේසේටවත් ගන්න හොඳ නෑ කියන්නේ. අන්දරේ ද මොහොතක් හෝ පමා නොවී මෙසේ සැහැල්ලුවෙන් උත්තර දුන්නේ ය. රජතුමනි, මං සේවය කරන්නෙ ඔබතුමාට මිසක් වම්බටුවලට නෙවෙයි.

මෙවැනි ඇසුරක් නායකයන් සීරුවෙන් තබන්නට අවශ්‍ය ය. බොරුවට පුම්බාගත් පෞර්ෂය පිටුපස ඉන්නේ සාමාන්‍ය මිනිසෙකු පමණක් බව පෙන්වා දෙන්නට මේ ඇසුර අවශ්‍ය ය. ප්‍රශස්ති ගයන මිනිසුන් විතරක් වට කරගෙන සෙසු මිනිසුන් එලවා දමන නායකයෙකුට නැතිවන්නේ ඒ ඇසුර ය. ඒ නිසා ම එවැනි නායකයින්ගේ මොළයට ඉහත කී ආකාරයේ අනතුරු සිදු වන්නට ඉඩ තිබේ.

මානසික අට්ටාල

ඊට අමතරව තමන් නැග සිටින, නැතිනම් නග්ගවා සිටින, අට්ටාලවලින් බැස සෙසු මිනිසුන් සමග – සිය අන්තේවාසිකයන් සමග නොව – තමන් හා සමයින් ලෙස හැසිරෙන්නට සූදානම් මිනිසුන් සමග කටයුතු කිරීම නායකයෙකුට වැදගත් ය. ඒ හරහා ද ඉහත සඳහන් ලෙස මොළය ආබාධයට ලක් වීමෙන් නායකයාට ගැලවිය හැකි ය. අවාසනාවකට මේ අට්ටාල භෞතික ඒවා පමණක් නොවේ. ඒ අතර මානසික අට්ටාල ද තිබෙන්නේ ය. බැස ගැනීමට අමාරු ඒ මානසික අට්ටාල වලිනි. ඒවායින් ස්වයං ව බැස යෑම අමාරු ය. අවසානයේ සිදු වන්නේ ජනයාට හෝ කිට්ටු සගයන්ට එකතුව නායකයා බැස්ස වීමට ය.

කෙල්ට්නර්ට අනුව නායකයෙකුට පමණක් නොව ජයග්‍රහණවලින් ප්‍රමුදිත ඕනෑ ම කෙනෙකුට මේ දේ විය හැකි ය. ඒ නිසා ම ඕනෑම කෙනෙකු වරින් වර පරාජය වීම ඒ තැනැත්තාගේ මානසික සෞඛ්‍යයට හොඳ විය හැකි ය. ඒ නිසා ම බලයෙන් පහ කරනු ලැබීම පවා ප්‍රකෘති තත්ත්වයට පත් වීමට නායකයකුට නැවත අවස්ථාවක් සපයන බව පෙනේ. ඒ එම පරාජය තීරණාත්මක එකක් වුවහොත් ය.

බොහෝ දෙනකු අනුයන නායකත්ව මොඩලය තුළ තිබෙන්නේ එක් වීරයෙක් හා ඔහු , ඇය අනුයන හෙංචයියයන් රාශියකි. එම ඒකනායක මොඩලය අපගේ කතිකාව අනුව යහපත් නොවේ. බලය එක් පුද්ගලයෙක් තුළ ඒකරාශි වීමට වඩා එය බෙදා හැර තිබීම හොඳ ය. අපට අවශ්‍ය එක් තනි වීරයෙකු නොව වීරයන් දස දහස් ගණනින් තිබෙන රටවල් ය. වීරයන් සිය ගණනින් සිටින ආයතනයන් ය. දුසිම් ගණනින් ඉන්නා සංවිධානයන් ය.

බලය බෙදා හැරීම හොඳ වන්නේ ඒ බලය සාධාරණ හේතුවක් නැතිව නැවත තමන් වෙතට ගැනීමට නායකයා කටයුතු නොකරන තාක් පමණකි. ඒ සඳහා හිතුමතය භාවිතා කිරීමට නායකයාට ඉඩ නැති තාක් පමණකි. ඒ නිසා ම සීමාරහිත බලයකින් නායකයා පුදනු නොලැබිය යුතු ය.

තමන් මාර්ගයෙන් පිලී පනින විට ඒ ගැන පෙන්වා දෙන්නට පුළුවන් සමාන්තර බල මූලාශ්‍රයක් තිබෙන එක ද නායකයාට හොඳ ය. ඒ, එය ආයතනයට, සංවිධානයට හා රටට ද යහපත් වන අතරතුර ය.

මේ සියලු කරුණු පෙන්වන්නේ බලය පිළිබඳ අපේ ආකල්පයන් මේ අලුත් දැනුම ඉදිරියේ විමසුමට ලක් කළ යුතු බව ය. බලය නායකයකුට නැතිවත් බැරි ඇතිවත් බැරි දෙයක් බව ය. එය නායකයාට පිරිනමන අනුගාමිකයන් ද ජනයා ද තරමට ම එය ලබන නායකයා ද එහි ඇති සාධනීය හා නිශේධනීය අංග දෙස පරීක්ෂාවෙන් බැලීමට වග බලා ගත යුතු බව ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *