තමන් කළ දේශපාලන අපරාධය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතියෙන් සමාවගත යුතුයි – ජවිපෙ නායක අනුර දිසානායක

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා මැදිහත්ව සිදුකළ දේශපාලන කුමන්ත‍්‍රණය ඇතිවූ මොහොතේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සපථකොට සිටියා, මෙම දේශපාලන කුමන්ත‍්‍රණය පරාජය කොට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ගතහැකි සියලූ කි‍්‍රයාමාර්ග ගන්නවා කියලා. පසුගිය 14වැනිදා පාර්ලිමේන්තුව රැුස්වූ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ නීතිවිරෝධී, ව්‍යවස්ථාවිරෝධී අටවාගත් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. එය පාර්ලිමේන්තුවේ විවාද කිරීමට රාජපක්‍ෂ කණ්ඩායම බාධා කළා. එම බාධා මධ්‍යයේ විශ්වාසභංග යෝජනාව සම්මත කරගත්තා. මන්තී‍්‍රවරුන් 122කගේ අත්සන් ලේඛනයත් ඒ සමඟ ජනාධිපතිවරයාට බාරදුන්නා. ඒ අනුව 15වැනිදා කතානායකවරයා විසින් තවදුරටත් අගමැතිවරයෙක් නොමැති බවත් ආණ්ඩුවක් නොමැති බවත් ප‍්‍රකාශයට පත්කළා. එය පිළිගැනීමට ජනාධිපතිවරයා සූදානම් නොමැති තත්වයක් තුළ 16වැනිදාත් විශ්වාසභංගයක් යළි පාර්ලිමේන්තුවට ගෙනාවා. එහිදීත් රාජපක්‍ෂ කණ්ඩායම විශ්වාසභංගය විධිමත් විවාදයකට ඉඩ නොතබා මිරිස්කුඩු ප‍්‍රහාර එල්ල කළා; පාර්ලිමේන්තුවේ උපකරණ කඩා බිඳ දැම්මා; කතානායකවරයාගේ පුටුව පෙරළලා සෙංකෝලය තබන මේසය පෙරළලා මුග්ධයන් ලෙස හැසිරුණා. නමුත් එම බාධා මධ්‍යයේ කතානායකවරයා සභා ගර්භයට පැමිණ විදිමත් ආකාරයෙන් විශ්වාභංගය සම්මත කරගත්තා.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරන තත්වයක් තුළ අපට ගතහැකි එකම කි‍්‍රයාමාර්ගය වූයේ අභියාචනාධිකරණයට යාමයි. මන්තී‍්‍රවරුන් 122කගේ මැදිහත්වීමෙන් අභියාචනාධිකරණයට ගොස් අපි ඉල්ලා සිටියා, 14වැනිදා සම්මත කරගත් විශ්වාසභංගය සම්මතවී තිබෙන හෙයින් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා ලෙසත් කැබිනට් මණ්ඩලයට ඇමතිවරුන් ලෙසත් කි‍්‍රයා කිරීමට බලයක් නැති බව ප‍්‍රකාශයට පත් කරන්න කියලා. ඒ අනුව අභියාචනාධිකරණය ඉතාමත් වැදගත් තීරණයක් ලබාදී තිබෙනවා. නඩු විභාගය අවසන් වන තෙක් අටවා ගන්නා ලද ආණ්ඩුව අත්හිටුවා තිබෙනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලහත්කාරී විකෘති සිතිවිලිවලට අනුව වැඩකිරීම අත්හිටුවා තිබෙනවා. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගය සම්මතවී තිබියදීත් කතානායකවරයා විසින් අගමැතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් නොමැති බව ප‍්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය කැඳෙව්වා. විවිධ තීන්දු-තීරණ ගත්තා. සෙල්ලම් ඇමතිවරු තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රැුකියා දෙන්න පටන් ගත්තා. මෙවැනි සෙල්ලම් ආණ්ඩුවක් රට පාලනය කිරීම පුරවැසියන් පිළිගත යුතුද? කුමන දේශපාලන මතය දැරුවත් නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී පාර්ලිමේන්තුවේ බලයක් නැති කණ්ඩායමක් රට පාලනය කිරීම පුරවැසියන් ලෙස අප පිළිගත යුතුද? මේ ආකාරයට ජනාධිපතිවරයාට හිතෙන පරිදි තමන්ට හිතවත් ඕනෑම කල්ලියක් වටකරගෙන රට පාලනය කළ හැකිද?
14වැනිදා පාර්ලිමේන්තුවේ සම්මතවූ විශ්වාභංගයත් 15වැනිදා කතානායකවරයාගේ විශේෂ ප‍්‍රකාශයත් අභියාචනාධිකරණය විසින් තහවුරු කොට තිබෙනවා. අපි මෛතී‍්‍රපාල සිරිසේනට කියනවා, ඔහුගේ තීරණ වැරදි බව ඕනෑවටත් වැඩියෙන් දැන් ඔප්පු කර තිබෙන බව. පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය, අගමැතිවරයා පත් කිරීමේ ගැසට් නිවේදනය, ඇමතිවරුන් පත් කිරීමේ ගැසට් නිවේදනය, අධිකරණය විසින් අත්හිටුවා තිබෙනවා. ජනාධිපතිවරයෙකුගේ තීරණවලට අත්විය හැකි බරපතළම තත්වය ඇතිවෙලා තිබෙනවා. එම නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, එම ගැසට් නිවේදන ඉල්ලා අස්කරගත යුතුයි කියලා. පාර්ලිමේන්තුවේදීත් අධිකරණයේදී දෙවතාවකුත් ඔහුගේ කි‍්‍රයාමාර්ග පරාජයට පත්කර තිබෙනවා. ජනාධිපතිවරයා දැන් විකෘති සිහියෙන් මිදිය යුතුව තිබෙනවා. බහුතර කණ්ඩායමට ආණ්ඩුව ලබාදිය යුතුව තිබෙනවා.
මේක රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණයක්. මෛතී‍්‍රපාල සිරිසේනත්, මහින්ද රාජපක්‍ෂත් එක්වී බලය පැහැරගත් දේශපාලන කුමන්ත‍්‍රණයක්. එම රාජ්‍ය ද්‍රෝහී කුමන්ත‍්‍රණය අදාල බරින් තේරුම් ගත යුතුව තිබෙනවා. රනිල්, මහින්ද යාලූ මිත‍්‍රයන්වී කරට අත දා ගැනීමෙන් මෙම ප‍්‍රශ්නය කෙළවර කිරීමට අපි ඉඩ තබන්නේ නැහැ. මෙවැනි රාජ්‍යද්‍රෝහී කුමන්ත‍්‍රණවලට පිළිතුරක් ලබාදිය යුතුයි. එනිසා මෙම දේශපාලන කුමන්ත‍්‍රණයට හවුල්වූවන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුව මැදිහත්වී පනතක් සම්මත කරගැනීමෙන් කොමිසමක් පත්කළ යුතු බව අපි අවධාරණය කරනවා. එම කොමිසමේදී අපේ රටේ මාධ්‍ය ආයතන කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ සිට කි‍්‍රයාකිරීම සම්බන්ධයෙන්ද වගවිභාග කළ යුතුව තිබෙනවා. මෙවැනි දේශපාලන කුමන්ත‍්‍රණයක් සිදුවනව විට ඊට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. නමුත් අපේ රටේ මාධ්‍ය ආයතන වැඩි ප‍්‍රමාණයක් සිටගත්තේ කුමන්ත‍්‍රණකරුවන්ගේ පැත්තේ.
ඒ වගේම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවේ ඇති වැදගත්කම දැන් සිදුවන සිදුවීම්වලින් යළි යළිත් තහවුරු වෙමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. එම සංශෝධනය කඩිනමින් විවාදයට ලක්කොට සම්මත කරගත යුතු බව අපි මේ මොහොතේ අවධාරණය කරනවා. ඉන් අනතුරුව මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට අනුව නව පාර්ලිමේන්තුවක් පත්කරගත යුතු බව අපි යෝජනා කරනවා. මෙම පාර්ලිමේන්තුවේ තව දුරටත් වෙනත් කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා සුදුසු තත්වයක් නැහැ. මින් පසු කවුරු ආණ්ඩු හැදුවත් අල්ලස්, වරදාන මගින් ආණ්ඩු හැදීමක් සිදුවෙන්නේ. එවැනි ආණ්ඩුවකට දිගු කාලයක් මේ රටේ පාලනය පවත්වාගෙන යාමට ඉඩ ලබාදිය යුතු නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර මෙම දේශපාලන කුමන්ත‍්‍රණය සහමුලින්ම පරාජයට පත්කොට කුමන්ත‍්‍රණකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කොමිසමක් පත් කිරීමත් ඉන් අනතුරුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පනත සම්මත කර ගැනීමත් කරගත යුතු බව අපි නැවතත් අවධාරණය කරනවා.
අපේ රට මේ තරම් විගඩම්කාරී විකටකාරී අරාජික තත්වයකට පත්කළේ ජනාධිපතිවරයා විසින්. ආර්ථිකය කඩාවට්ටලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කොට ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රට හෑල්ලූවට ලක්කළේ ජනාධිපතිවරයා විසින්. ඒ නිසා ඔහු කළ මෙම දේශපාලන අපරාධය සම්බන්ධයෙන් හෘද සාක්‍ෂියක් තිබෙනවා නම් ඔහු ජාතියෙන් සමාව ගත යුතු බව අපි අවධාරණය කරනවා. තව දුරටත් තමන්ගේ දේශපාලන කුමන්ත‍්‍රණය ඉදිරියට ගෙන යාමට උත්සාහ නොකොට ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙස අපි ජනාධිපතිවරයාට බලකරනවා. එසේ නොකොට හිතුවක්කාරී ලෙස තවදුරටත් කි‍්‍රයා කරන්නේ නම් ජනාධිපතිවරයා නොහිතන පන්නයේ ජනතා නැගිටීම් සිදුවීමට ඉඩ ඇති බව අපි අවධාරණය කරනවා. එහිදී ජනාධිපතිවරයා නොහිතන පන්නයේ දේශපාලන ඉරණමකට ඔහුට මුහුණදීමට සිදුවන බවත් අපි අවධාරණය කොට සිටිනවා. මේ රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට, නීතියට අනුව කටයුතු නොකොට ජනතාවට නීත්‍යානුකූළව කටයුතු කිරීමට උපදෙස් ලබාදීමට ඔහුට අයිතියක් නැති බවද අපි අවධාරණය කරන්න කැමතියි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉහත අදහස් දැක්වුවේ අද :3* පැවති මාධ්ය හමුවක දී යග මෙම අවස්ථාවට ප‍්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක ද සහභාගී විය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *