අගමැති හා ඇමති ධූර නීති විරෝධීයි / අධිකරණයෙත් අතුරු තහනමක්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය හා ආණ්ඩුවේ අමාත්‍යවරුන් එම ධූර දැරීම වලක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවලින් දෙවතාවකදී පරාජයට පත්ව ඇති අගමැතිවරයාටත් එම කැබිනට් මණ්ඩලයටත් එරෙහිව “ක්වෝ වොරොන්ටෝ” රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122ක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි.

අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද දෙවන දිනයටත් විභාග කරනු ලැබුවා.

වග උත්තරකාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පසුගියදා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවයි.

මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47 (1) යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කළ බවද අධිකරණයට දන්වා සිටියා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් මහතා අධිකරණයට කරුණු දක්වමින් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව සඳහන් කරමින් යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත වී ඇති බව කියා සිටියා.

ඒ ඊට අදාළ හැන්සාඩ් වාර්තාවන්ද අධිකරණයට ඉදිරිපත් කරමිනුයි.එම කරුණු සලකා බලමිනුයි අභියාචනාධිකරණය මෙම විශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

මහින්ද රාජපක්ෂ මහතාට සහ අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් මෙහිදී නොතීසි නිකුත් කෙරුණා.

පෙත්සම ලබන 12 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *