දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ රු.මි. 10386ක ගිවිසුමක් අත්සන් කරයි!

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ මහින්ද චීනය සමඟ හොර රහසේ ගැසූ රු.මි. 10386ක ගිවිසුම පිළිබඳ රොයිටර් පවත් සේවය හෙළි කර තිබේ.

දැඩි දේශපාලන අර්බුදය මධ්‍යයේ කොළඹ වරායේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කියමින් රජය, චීන සමාගම් සමඟ ගිවිසුම් දෙකකට බ්‍රහසතින්දා (නොවැ. 29) අත්සන් තබා ඇති බවයි රොයිටර් පුවත් සේවය අනාවරණය කරන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ නීත්‍යානුකූල භාවය පිලිබඳ අධිකරණයේ ප්‍රශ්න කෙරෙමින් තිබියදී සහ මෙම ගිවිසුම් වල නීත්‍යානුකූල භාවය සැක සහිත තත්ත්වයක තිබියදීත් මේ අවස්ථාවේම මෙම ගිවිසුම් අත්සන් කිරීමට චීනය දැඩි උනන්දුවක් දක්වා ඇති බවයි.

එසේම ශ්‍රී ලංකාවේ නව රජයක් තිබෙන බව ජාත්‍යන්තරය තවමත් පිළිගෙන නොමැති අවස්ථාවක මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බවද රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 50කට වඩා (රුපියල් මිලියන 9000කට වඩා) වටිනා මෙම ගිවිසුම විවාදයට තුඩු දෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැබිනට්ටුව විසින් අනුමත කර ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මෙය මාධ්‍යයෙන් වසන් කරමින් සිදුකළ ගනුදෙනුවක් බව පෙන්වා දෙන රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ කැබිනට් අමාත්‍යවරයෙකු එම තොරතුරු රොයිටර් පුවත් සේවයට තහවුරු කළ බවයි.

ජයා බහාලුම් පර්යන්තයේ (Jaya Container Terminal -JCT) ගැඹුරු දිය නැංගුරම් පහසුකම් පුළුල් කිරීම සඳහා කියමින් චයිනා හාබර් ඉංජිනියරින් (China Harbour Engineering) සමාගම සමඟ අත්සන් තැබූ ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 32 ක් (රු.මි.5760) බවත් එම ව්‍යාපෘතිය සඳහාම දොඹකර 03ක් මිලදී ගැනීම සඳහා ෂැංහයි ෂෙන්හුවා හෙවී ඉන්ඩස්ට්‍රීස් (Shanghai Zhenhua Heavy Industries) සමාගමත් සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 25.7 ක (රු.මි.4626) ගිවිසුමකට අත්සන් තබා ඇති බවත් රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

එසේම චීනයේ ණය උගුලට හසුව සිටින ශ්‍රී ලංකාව වර්තමානය වනවිට චීනයට පමණක් ඩොලර් බිලියන 08ක් ණය වී තිබෙන බවද එවැනි තත්වයක තවත් මෙම රුපියල් මිලියන 10386ක් වටිනා මෙම ගිවිසුම් වලට අත්සන් තැබීමට රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවද එම පුවත් සේවය සඳහන් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *