මහින්ද පරණ පාරට සිග්නල් දමයි – සම්පත් අමරසිංහ

නීති විරෝධීව ඩොලර් තොගයක් මෙරටින් රැගෙනයාමට තැත් කළ ව්‍යපාරිකයයකු වහා නිදහස් කරන්නැයි කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව නියෝගකර ඇති බව පසුගියදා හෙළිවිය. අලි රිසාසද් මෝෆ් නමැති මෙකී තැනැත්තා ඇමරිකානු ඩොලර් 53,455ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි. එම මුදල් රාජසන්තක කර BIA/D/CASE/128/2017යන අංකය යටතේ රේගුව විසින් ඔහුට නඩු පවරනු ලැබිණි.

“රේගු ආඥාපනතේ 164 වගන්තිය අනුව තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මා සන්තක කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 53,455 ක මුදල ආපසු බාරදීමට නියෝග කරමි.” යනුවෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතා පසුගිය 19 වනදා ලිඛිතව එම නියෝගය කර තිබුණි.

ඉහත නියෝගය අනුව පැහැදිලි වන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුවත් එහි අගමැතිවරයාත් ඔවුන් බලයේ සිටි 2015 ජනවාරි 08 දිනට පෙර ගමන් කළ මාර්ගයේම නැවත ගමන් කරමින් සිටින බවයි. කැලය මාරුවුවද කොටියාගේ පුල්ලි මාරු වන්නේ නැතැයි කියන්නේ ඒ නිසාය.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් හැසිරීමත් 2015 ජනවාරි මාසයට පෙර තිබුණු තත්ත්වයට වඩා මදකින් හෝ වෙනස් වී නැති බව ප්‍රකාශයට පත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මහින්දවාදිහු තමන්ට ලැබුණු නීත්‍යානුකූල නොවන බලය වැරදි ආකාරයට සහ ජන පීඩිත ආකාරයට භාවිතාවේ යොදවන බව මුලින්ම ඔප්පු කළේ රාජ්‍ය ආයතනවලට බලහත් කාරයෙන් කඩා පැනීමෙනි. ඊළඟට ඒ බව ඔප්පු වූ සිද්ධිය ඛනිජතෙල් සංස්ථාවේ ඔවු‍නගේ හැසිරීමයි. එහි දී මහින්ද වාදීන් ඇති කළ කෝලාහලය අවසන් වූයේ ජීවිතයක්ද බිලි ගනිමිනි.

දූෂණය නැති කරන්නට අගමැති සහ ආණ්ඩුව වෙනස් කළ බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පුන පුනා කියමින් සිටී. නමුත් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දෙස බැලු විට පැහැදිලි වන්නේ මෛත්‍රිපාල මහතා දූෂණය පිටු දැකීම කෙසේවෙතත් පැරණි දූෂණයට හා දූෂිතයන්ට අලුතින් පණපොවා ඇති බවයි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් ඇමතිවරයා වන්නේ විමල් වීරවංශ මහතාය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනවාරි මසට පෙර ආණ්ඩුවේ හිටපු නිවාස ඇමතිවරයාද වේ. ඒ කාලයේ ඔහුගේ කැරැට්ටුව කමක් ද? ආණ්වේ මුදල් වලින් ඉදිකළ නිවාස තමන්ගේ ඥාතීන්ටත් සහොදර සහෝදරියන්ටත් අඩුමිලට හෝ අතයට ලබාදුන් බවට විමල් වීරවංශ මහතාට චෝදනා තිබුණි. ඒ පිළිබඳව පරීක්ෂා කර ඉදිරිපත් කළ වාර්තාව නිතිපති බාරයේ තිබේ. අමාත්‍යාංශයේ වාහන 42ක් තම සහෝදරයන් පක්ෂයේ සාමාජිකයන් හිතවත් මාධ්‍යවේදීන් ජාතිවාදි චීවරධාරීන් වැන්නන්ට ලබා දී තිබුණු බවට ද විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබේ.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අධිකරණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාය. එකී පත්කිරීම සමාන කළ හැක්කේ හොරුනට උසාවිය බාරදීමකටය. හේතුව පසුගිය මහින්ද ආණ්ඩු සමයේ ඛනිජතෙල් විෂය බාර ඇමතිවරයාව සිටිමින් ඛනිජ තෙල් ගෙන්වීමේ දූෂණ චෝදනා ඔහුට විරුද්ධිව එල්ලවී තිබුණ බැවිනි. එෆ්.සී.අයි.ඩී. ය ඒ පිළිබඳව පරීක්ෂණ කරමින් සිටි‍ය දී එය නතර කරනු ලැබුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසිනි. දැන් අධිකරණ ඇමතිවරයා වශයෙන් ඔහු පවසන්නේ බරපතළ දූෂණ අපරාධ නඩු විමසීමට ආරම්භ කළ විශේෂ අධිකරණ විසිරුවා හරින බවයි. කුමන්ත්‍රණ ආණ්ඩුව කැසකවන්නේ කුමකටද යන්න ඉන් පැහැදිලිය.

දූෂිත දේශපාලකයන් පමණක් නොවේ දූෂිත නිලධාරින්ද නීතිවිරෝධී ආණ්ඩුව යටතේ කලඑළිබසිමින් සිටිති. ඊට එක් නිදර්ශනයක් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමා‍ගමේ සභාපති ධුරයට කපිල චන්දසේන මහතා පත්කිරීමයි. කපිල චන්ද්‍රසේන මහතා යනු 2011 – 1014 වකවානුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාය. එකල ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළේ නිශාන්ත වික්‍රමසිංහ මහතාය. නිශාන්ත වික්‍රමසිංහ‍ මහතාගේ සියලු දූෂණ හා අක්‍රමිකතාවලට අනුබල දුන් තැනැත්තාවන කපිල චන්දුසේන මහතාට විරුද්ධව චෝදනා රැස්කොට ඇත්තේ ජනාධිපති මෛත්‍රි විසින්ම පත්කරන්නට යෙදුන කොමිසමක් විසින් වීම වඩාත්ම හාස්‍යජනක කාරණයයි. අවසානයේ මෛත්‍රි ජනාධිපතිවරයාට කපිල චන්ද්‍රසේන මහතාගේ පත්වීම නතරකිරීමට කටයුතු කිරීමට සිදුවිය. ඒ සෑම අතකින්ම ඊට එරෙහිව නැගුණු විරෝධතා මිස යහපාලන මූලධර්ම අනුගමනය කරන නිසා නොවේ.

නාලක ගොඩහේවා යනු මහින්ද රාජපක්ෂ මහතාගේ පරණ ආණ්ඩු සමයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයාය. එකල සමහර පෞද්ගලික සමාගම් විනිමය වෙළඳ පොළෙන් ඉපයූ දෑවැන්ත ලාභ පිටුපස නාලක ගොඩහේවා මහතාගේ  අදිසි හස්තය තිබුණ බවට චෝදනා තිබුණි. එපමණක් නොවේ එකල රාජපක්ෂවරුන්ට දෑවැන්ත කොමිස් මුදලක් ලැබුණු බවට චෝදනා පවතින ක්‍රිෂ් ගනුදෙනුවට ද නාලක ගොඩහේවා මහතාගේ නම ඇඳී තිබේ. විනිමය හා සුරැකුම්පත් කොමිසමේ මුදල් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වලට යෙදවුවේ යැයි නාලක ගොඩහේවා මහතා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව නඩුවක් ද මේ නව විට පවරා තිබේ.

හොරපාරෙන් පැමිණ බලය පික්පොකට් ගැසීමට රාජපක්ෂ මහතා තීරණය කළේ ඔහුගේ පවුලට හා පිරිසට පැවරී ඇති නඩු ඉවත්කර ගැනීමටය සැකයක් හා මතයක් ජනතාව අතර පවතී. එකී සැකය සාධාරණීකරණය කෙරෙන ක්‍රියාවක් වන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම, උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, නාමල් පෙරේරා මහතාට පහරදීම, තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ආදී අපරාධ බාරව කටයුතු කළ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලැබුණු ස්ථාන මාරුවයි. ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීම, ඇවන්ගාඩ් නඩුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් ලබා ගැනීම සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කෙරුණු විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ අපරාධ පරීක්ෂණය ආදියට දායක වූ නිශාන්ත සිල්වා රහස් පොලීසියේ දක්ෂ නිලධාරියෙකි. හදිසියේ ඔහු මීගමුවට මාරුකිරීම අහම්බයක් නොව රාජපක්ෂවරුන්ටත් ඔවුනගේ හිතවතුන්ටත් නීතියේ සහනයන් ලබාගැනීම සඳහා ගත් උත්සාහයක් ව‍ශයෙන් අනුමාන කිරීම වරදක් නැත. යහපාලන ව්‍යායාමය හේතුවෙන් යළි පණගැන්වුණු පොලිස් කොමිසමේ මැදිහත් වීම නොවන්නට නිශාන්ත ද සිල්වා මහතා මේ වනවිටත් මීගමුව පොලීසියේ සාමාන්‍ය රාජකාරී සඳහා යොදවනු ලැබීමට නියමිතව තිබුණි.

හම්බන්තොට ප්‍රදේශයේ උදාගම් සමතලා කිරීම රටපුරා නැවතවරක් රජතුමාගේ කටවුට් නැඟිටීම ආදිය ඉහත සිදුවීම්වලට සාපේක්ෂව නොසලකා හැරිය හැකි වුවත් එකී සියල්ලෙන් පෙන්නුම් කරෙන්නේ මහින්ද තමාගේ ආණ්ඩුව පරණ පුරුදු පාරටම හරවන්නට දෙවරක් නොසිතන බව මිස අන්යමක් නොවේ. ජනතාව ඒ බව අවබෝධ කරගත යුතුය. එකී උත්සාහය පළමු පියවරේදීම ව්‍යර්ථ කරන්නට ප්‍රජාතන්ත්‍රවාදහ නිදහස නීතිය යහ පැවැත්ම අගයන සැවොම පෙරමුණ ගත යුතුය.

සම්පත් අමරසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *