|

කොමිසම

රනිල් වික්‍රමසිංහ මහතා කළ දූෂණ වංචා විමර්ශනය කරන්නට තමන් කමිටුවක් පත්කරන බව ජනාධිපති කී විට විදෙස් මාධ්‍යවේදින්, රනිල් වික්‍රමසිංහ මහතා කළ වංචා දූෂණ මොනවාද කියා ජනාධිපතිගෙන් ඇසුවේය. එවිට ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන්ට කීවේ රනිල් වික්‍රමසිංහ දූෂණ වංචා කළ බවක් තමාට පුවත්පත් වලින් දැනගන්නට ලැබුණේ නැති නිසා රනිල් වික්‍රමසිංහ මහතා කර ඇතැයි කෙසේ හෝ හොයාගන්නට පත්කරන කමිටුවට නියෝග කරන බවයි.

දැනට පත් කර සිටින අගමැතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලයේ කළ දූෂණ වංචා ගැන සොයා බලන්නට කමිටුවක් නොව විශේෂ ජනාධිපති කොමිසමක්ම පත් කළා නේදැයි එවිට විදෙස් මාධ්‍යවේදියකු ඇසුවේය.

තමා එවැනි කොමිසමක් පත්කළ බව පත්තරවලින් දුටු බව එවිට ජනාධිපති කීවේය.

ඒ පත් කළ කොමිසමට සිදු වූයේ කුමක්දැයි නැවත විදේශ මාධ්‍යවේදියකු ඇසූවිට ජනාධිපති කීවේ, කොමිසමට කිසිම අකරතැබ්බයක් සිදුවු බව නම් තමා පත්තරවලින් දුටුවේ නැත කියාය.

ඒ පත්කළ කොමිසම වාර්තාවක් නිකුත් කළාද නැද්ද කියා විදෙස් මාධ්‍යවේදියකු ඇසුවිට ජනාධිපති වරයා කීවේ වාර්තාවක් නිකුත්කළ බව පත්තරවලින් දැක්කා වගේ මතකයක් තියෙනවා කියාය.

ඒ කොමිසමේ වාර්තාව අනුව ගත් ක්‍රියාමාර්ග මොනවාද කියා විදෙස් මාධ්‍යවේදියෙක් ඇසුවේය. ජනාධිපතිවරයා කීවේ කොමිසමේ නම සඳහන් අයට ගත යුතු ක්‍රියාමාර්ග පමා වී හෝ ගැනීමට ඉඩ ලැබීම ගැන තමා සතුටුවනවාය කියාය.

කොමිසමේ වාර්තාව අනුව එහි නම සඳහන් අය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ඇසූවිට එම ක්‍රියාමාර්ග පැහැදිලි කරන්නට පුංචි කතාවක් කියන්නට සිදුවෙනවා යැයි ජනාධිපති කීවේය.

කතාව කුමක්දැයි විදෙස් ජනාමාධ්‍යවේදින් ඇසුවිට ජනාධිපති කී කතාව සැකවින් මෙසේය.

“ජනාධිපති උපන් ගම එනම් ගම්පහ ප්‍රදේශයේ‍ පොල්වත්තක් තිබුණි. එම පොල් වත්තේ නිතර හොරෙන් පොල් කඩන සොරකුද සිටියේය. පොල් වත්තේ හිමිකරු ඉඩමේ මුරකරුට සොරුන්ගෙන් පොල් කැඩීම නතර කර දෙන්නැයි නොයෙක්වර කී නමුත් සොරුන්ගෙන් පොල් හොරෙන් කැඩීම නතර කන්නට මුරකරුට හැකි වූයේ නැත. අවසානයේ ඉඩම් හිමියා මුරකරු සේවයෙන් පහකර හොරාට ‍ඉඩම මුර කිරීම බාරදුන්නේය”  ජනාධිපති තම කතාව අවසන් කලේ එසේය.

ඉඩමේ මුරකරු සේවයෙන් පහකර සොරුට මුරකාර තනතුර දුන් පසුව පොල් හොරෙන් කැඩීම නතර වුවා දැයි විදෙස් මාධ්‍යවේදියකු ජනාධිපතිගෙන් ඇසුවේය.

පොල් කැඩීම නතර නොවූ නමුත් හොරෙන් කැඩීම නතර වූ බව එවිට ජනාධිපති කීවේය.

ඒ කතාවේ තේරුම කුමක්දැයි විදෙස් මාධ්‍යවේදියකු ඇසුවිට ජනාධිපති කීවේ, සොරුට මුරකාර තනතුර බාරදුන් පසුව වත්තේ පොල් කැඩුවේ සොරකු නොව නීත්‍යනුකූල මුරකරු විසින්ම බවයි.

හොරා මුරකරු කළ නමුත් ප්‍රශ්නය විසඳුනේ නැහැ නේද කියා විදෙස් මාධ්‍යවේදියකු ඇසුවිට ජනාධිපති කීවේ බම්බුගහන ප්‍රශ්න අහන්න එපා මහත්තයො හොරා පොල් කැඩීමට වඩා මුරකරු පොල්කැඩීම නිත්‍යානුකූලයි කියා තේරෙන්නේ නැද්ද කියා ය.

අලුතෙන් පත් කළ අගමැති ජනාධිපති කාලයේ සිදුවුණු වංචා දූෂණ සෙවීමට පත්කළ කොමිසමත් පොල් ඉඩම හොරාට බාරදීමත් අතර සම්බන්ධය කුමක් දැයි මාධ්‍යව්දියකු ඇසුවිට ජනාධිපති කීවේ, ලොකු ලුනු මිල කිලෝව හැටට තිබිය දී අනූව බැගින් මිල දී ගත් අයට සතොස බාර දුන්නේ අර ඉඩම් හිමියාගේ ක්‍රමවේදය අනුගමනය කරමින් කියාය.

රනිල් වික්‍රමසිංහ මහතා කළ වංචා දූෂණ සෙවීමට පත්කරන කමිටුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ වංචා දූෂණ හෙළිදරවු වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි විදෙස් මාධ්‍යවේදියකු ඇසුවේය.

රනිල් වික්‍රමසිංහ මහතා වංචා දූෂණ කර ඇති බව ඔප්පු වුණොත් පාර්ලිමේන්තුවේ බහුතරය නැතත් ඒ මහතාට අගමැති ධුරය ලබා දෙන්නට තමා දෙවරක් සිතන්නේ නැති බව එවිට ජනාධිපතිවරයා කීවේය. එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ එහුතරය තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතා තමා ඉදිරියට රැගෙන එන්න එපා යැයි තමා එක්සත් ජාතික පක්ෂයට කීවේ, කිසිම වංචාවකට දූෂණයකට සම්බන්ධ නැති අයෙක් අගමැති ලෙස පත් කිරීමට එකහෙළා විරුද්ධ නිසා බවද කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැලපෙන්නේ නැතැයි ජනාධිපති කී විට විදෙස් මාධ්‍යවේදියකු රනිල් මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැති බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට පෙර දැන සිටියේ නැතිදැයි ඇසුවේය.

තමා ජනාධිපති වු විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැලපෙනු ඇතැයි ජනාධිපතිවරණයට පෙර තමාට සිතුණු බව ජනාධිපති කීවේය. ඒ නැතත් තමාට ජනාධිපතිවීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ගැලපුණු නිසා දෙවරක සිතන්නේ නැතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වු බව ද ජනාධිපති විදෙස් මාධ්‍යවේදියාට පැහැදිලි කළේය.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *