රට ගිලුනත් බෑන් චූන් – අනුර සුරිය බණ්ඩාර

ජනාධිපතිවරයා විසින් නීත්‍යානුකූල නොවන හා ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් බල හුවමාරුවකට රට ඇද දැමීම හේතුවෙන් මෙරට බරපතළ දේශපාලන අර්බුදයකට ඇද දමා තිබේ. රටෙහි මේ වන විට ඇත්තේ බරපතළ දේශපාලන අස්ථාවර භාවයකි. අරාජිකත්වයකි. රාජ්‍ය යන්ත්‍රණයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. තීන්දු තීරණ ගැනීමේ යාන්ත්‍රණය අකර්මණ්‍යයය. නිලධාරින්ට පැහැදිලි තීරණයන් ගත නොහැකි තත්ත්ව‍යක් උදා වී තිබේ.

මෙකී අරාජිකත්වය, නොසන්සුන් බව සහ  අවිනිශ්චිතතාව සංචාරක කර්මාන්තය කෙරෙහි අතිශය බරපතළ  අකාරයෙන් බලපා තිබේ. සංචාරකයන් මෙරටට පැමිණීම පහළ බැස තිබේ. මහජනතාව රැස්වන ස්ථාන මගහැර සිටින ලෙසත් සංචාරයේදී පරෙස්සම් වන ලෙසත් තම රට වැසියන්ට උපදෙස් දීමට විදෙස් රටවල් කටයුතු කර තිබේ.

පවතින ‍දේශපාලන අර්බුයේ ඊළඟ දිගුව ආර්ථික අර්බුදයයි. නිදසුනක් වශයෙන් පසුගිය සතියේ වාර්තාවූ අන්දමට කොන්දේසි පූර්ණ නොවීම හේතුවෙන්, මෙරටට ලැබිය යුතුව තිබුණු ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකිය කල් යන බව ජනමාධ්‍යය වාර්තා කර තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදීමට තිබුණු අවසන් ණය වාරිකය පිළිබඳ සාකච්ඡා ක‍ල් දැමීමට ජත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බැවිනි. සාකච්ඡාවට දින නියමව තිබුණේ නොවැමබර් මස මුලදීය. එම සාකච්ඡාව මේ වන විට දෙසැම්බර් පළමු සතිය දක්වා කල් දමා තිබේ.

ණය ලබාදීම සම්බන්ධයෙන් පැවති යහපාලන ආණ්ඩුව සමයේ ඇතිකරගත් කොන්දේසි කිහිපයක් ඔක්තෝම්බර් 26 බල හුවමාරුව හේතුවෙන් බිහිවුණු ආණ්ඩුව විසින් පූර්ණ නොවීම ණය වාරික කල්යෑමට බලපෑ හේතුවයි.

වත්මන් පාලය යටතේ ණය වාරිකය කල්යෑමට එක් හේතුවක් වන්නේ, මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන් ඉන්දන මිල සූත්‍රය මහින්ද රාජපක්ෂ මහතා විසින් අහෝසි කරන්නට ගත් පියවරයි. ලෝක වෙළෙඳ පොළේ ඉන්දන මිල උච්ඡාවචනයනට අනුරූපව මෙරට ඉන්දන මිල ගැලපීමේ ක්‍රියාමාර්ගයක් වශයෙනි ඉන්ධන මිල සූත්‍රය යහපාලන ආණ්ඩුව යටතේ හදුන්වා දෙනු ලැබුණේ.

ඉන්දන මිල සූත්‍රය අහෝසි කරන බවට හඬ නගමින් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ ඉන්ධන මිල පහත හෙළන ලදී. එහෙත් එකී ඉන්දන මිල පහත හෙළීම මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අනුකම්පාවක් නිසා සිදු වූවක් නොවේ. ඔහු විසින් යම්කිසි මැජික් බලයකින් කරන ලද්දක් ද නොවේ. මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දන මිල පහත හෙළන කාලය මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල යහපාලන ආණ්ඩුවේ අවසන් දිනවලට සාපේක්ෂව පහත බැස තිබුණි. මිල සූත්‍රය අනුවද සිදුවිය යුතුව තිබුණේ මෙරට ඉන්දන මිල පහත හෙළීමයි. මිල සූත්‍රය අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් හෝ විද්‍යාත්මක පදනමක් හෝ ඒ අනුව තිබුණේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ඉන්දන මිල සූත්‍රය අහෝසි කරන ලද්දේ හුදු ජනප්‍රිය සටන් පාඨයක් වශයෙනි. එනම් තමන්ගේ ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළේය යන මතයක් ජනතාව තුළ ඇති කර බාල ප්‍රචාරක වාසියක් ලබා ගැනීමේ අරමුණෙනි. මහ බැංකු අධිපතිවරයා ඉන්ධන මිල සූත්‍රය අහෝසි නොවු බව කියන විටත් මහින්ද රාජපක්ෂ ඊට ප්‍රතිචාර දැක් වූයේ නැහැ එය අහෝසි කළාය කියමිනි.

ඉන්ධන මිල පිළිබඳ කාරණයේදී මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කරන ලද්දේ තමන්ගේත් තමන්ගේ ආණ්ඩුවේත් යහ පැවැත්ම මිස රටේ අනාගතය හෝ රටේ යහපැවැත්ම පිළිබද නොවන බව ඒ අනුව හොඳින් පැහැදිලි වේ. ඉන්ධන මිල සූත්‍රය පවත්වාගෙන යමින් ඊට අනුව ලො‍්ක වෙළෙද පොළේ බොරතෙල් බැරලයේ වටිනාකම පහළ යෑමේ වාසිය ජනතාවට ලබා දෙන්නට අවංකවම කටයුතු කළේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට තිබණු අවසන් ණය වාරිකය කල් යාමක් සිදු වන්නේ නැත. 2016 වසරේ ක්‍රියාත්මක කෙරෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 1.5 කි. මේ වන විට එයින් ඩොලර් බිලියනකට වැඩි මුදලක් වාරික වශයෙන් ලබා දී තිබේ. නොවැම්බර් මාසය මැද දී පවත්වන්නට නියමිතව තිබුණේ අවසන් ණය වාරිකය පිළිබඳ සාකච්ඡාවයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දෑරූ කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව වැනි ආයතනවලින් මෙරටට අධාර ලබා දීම නතර කර තිබුණු බව කවුරුත් දනිති. එසේ වීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එකල චීනය වැනි ගිනි පොලීකාරයන්ගෙන් ණය ගැනීමට සිදු වූ බව ද රහසක් නොවේ. එකී ගිනි පොලී ණය හේතුවෙන් අවසානයේ හම්බන්තොට වරාය චීනයට බදු දෙන්නට සිදුවන තැනකට රට පත් විය. දැන් සමහරවිට මහින්ද රාජපක්ෂ මහතා ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අපට එපා වැනි සිල්ලර සටන් පාඨයකට වුවද යන්නට ඉඩ තිබේ. විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැන්නවුන්ද අයි. එම්. එෆ්. ෆ්ලග් ගැලවීමෙන් උද්දාමයට පත්ව උදාන වාක්‍ය කියන්නට පටන් ගන්නට ද ඉඩ තිබේ. ගැටලුව වන්නේ සහනදායි ණය සපයන අයි. එම්. එෆ්. එකේ ෆ්ලග් ගලවා ගිනි පොලී ණය දෙන චීනයට ෆ්ලග් සවි කරන්නට සිදු වීමයි. ඒ ණය බර පැටවෙන්නේ මැදමූලනට හෝ විමල් වීරවංශ උදය ගම්මන් පිලට හෝ වාසුදේව මහතාගේ පෞද්ගලික බූදලයට නොව මෙරට ජනතාවගේ කර මතට ය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල විශ්වාසය හා අනුග්‍රහය දිනා ගැනීමේ ගෞරවය හිමි විය යුත්තේ යහපාලන ආණ්ඩුවටය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් කැරැට්ටුව ආදිය හේතුවෙන් ජාත්‍යනතර මූල්‍ය අරමුදල ලොක බැංකුව යුරෝපා සංගමය ආදියෙන් කොන්වී තිබුණු ශ්‍රී ලංකාව පසුගිය වසර තුන හමාරක කාලය තුළ එකී සියල්ලන්ගේ හොඳ හිතත් අනුග්‍රහයත් දිනාගත් නමුත් ජනාධිපතිවරයාගේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ බලතණ්හාවත් හේතුවෙන් බරපතළ අවුලකට වැටී ඇති බව පැහැදිලිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික කල් යෑම මෙරට ආර්ථිකයට බලගතු ප්‍රහාරයක් වන්නේ එය කල්යන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යමින් පවතින වකවානුවක වීම නිසාය. පසුගිය සතියේ වාර්තා වූ දත්තවලට අනුව දින 23ක් තුළ ඩොලරය රුපියල් පහකින් ඉහළ ගොස් තිබුණි. ඒ අනුව නොවැම්බර් 21 වනදා ඩොලරයේ විකුණුම් රුපියල් වටිනාකම රැපියල් 179 දක්වා ඉහළ ගියේය. ඩොලරයේ ගැනුම් අගය එදින සදහන් වූයේ රැපියල් 175ක් වශයෙනි. විශේෂඥයන්ගේ අදහස වන්නේ ගෝලීය ආර්ථික කරුණුවලට අමතරව රුපියල අවප්‍රමාණය වීම වේගවත් වීම කෙරෙහි රටේ පවතින දේශපාලන අර්බුදය ද හේතු වී ඇති බවය.

දේශපාලන බල පෙරළිය සිදු කළ ඔක්තෝම්බර් 26 වන දා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 174 ක් වූ ඩොලරය නොවැම්බර් 21 වන දින විනිමය අනුපාතයට අනුව දින 23ක් තුළ රුපියල් 5කින් ඉහළ නැග තිබුණි. සැප්තැම්බර් 26 වන විට ඩොලරයේ එම වටිනාකම රුපියල් 170.65ක් වූ බව සලකන විට ඔක්තෝම්බර් 26 දක්වා දින 30ක් තුළ රුපියල අවප්‍රමාණය වී තිබුණේ රුපියල් 3.35කින් පමණි ජනාධිපතිවරයාගේ මහින්ද රාජපක්ෂ මහතාගේත් ක්‍රියාවේ අනුහස ඩොලරයේ නැඟීමට රුකුල් දී ඇති ආකාරය පැහැදිලි කර ගැනීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නොවනු ඇත. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල නිසි කලට ලැබුණේ නම් රුපියලේ ස්ථාවර වීමක් යම් දුරකට හෝ අපේක්ෂා කළ හැකිව තිබුණු නමුත් පවතින තත්ත්වය අනුව ඒ බලාපොරොත්තුවද දුරස් වෙමින් තිබේ.

ඊළඟ කාරණය වන්නේ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් විදෙස් ආයෝජන ඉවත්කරගෙන යාමට අයෝජකයන් කටයුතු කිරීමයි. වාර්තාවන කරුණු අනුව දේශපාලන අර්බුදය ආරම්භ වු ඔක්තෝම්බර් 26 දින සිට ‍නොවැම්බර් 21 දක්වා වන කාලය තුළ ඇති වු දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් රජයේ සුරැකුම්පත් වල මුදල් ආයෝජනය කළ විදෙස් ආයෝජකයන් වේගයෙක් අධෛර්යට පත්ව තිබේ. ඒ අනුව දින 23ක් තුළ බිලියන 23ක් රටින් පිට වී තිබේ. මෙකී ප්‍රවණාතාව 2018 වසරේ මුල පටන්ම පැවතුණු නමුත් දේශපාලන අර්බුදය හේතුවෙන් එය වඩාත් වේගවත් වී තිබේ. දින 23ක් තුළ රුපියල් බිලියන 23ක් රටින් පිටවීම සහ වසරේ මුල් මාස 10 පුරාම ඉවත්වී ඇත්තේ රුපියල් බිලියන 96ක් පමණක් වීම මගින් පැහැදිලි වේ.  රොයිටර් වාර්තා පෙන්වා දෙන ආකාරයට ඔක්තෝම්බර් 26 වන දා සිට නොවැම්බර් මාසයේ දෙවන සතිය දක්වා කාලය තුළ සුරැකුම්පත් වෙළෙද පොළෙහි තිබූ විදෙස් ආයෝජන රුපියල් බිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙකී ආයෝජන සම්බන්ධව සතිපතා නිකුත්කරන වාර්තාව අනුව පෙනී යන්නේ දේශපාලන බල හුවමාරුව සිදු කෙරුණු ඔක්තෝබර් 26 ට දින තුනකට පෙර එනම් ඔක්තෝම්බර් 23 දා රජයේ සුරැකුම්පත්වල ‍ආයෝජනය කර තිබුණු සමස්ත විදේශ ආයෝජන ප්‍රමාණය රුපියල් මිලියන 232,105කි. නොවැම්බර් 14 වනදා වන විට එය රුපියල් මිලියන 209,181ක් දක්වා අඩු විය. ඉන් පෙන්නුම් කෙරෙන්නේ එකී කාලය තුළ රුපියල් මිලියන 22,924ක් හෙවත් රුපියල් බිලියන 23 කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර ගෙන ඇති බවය.

පුද්ගලයන් දෙදෙ‍නෙකුගේ බල අවශ්‍යතාව හේතුවෙන් රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයේ තරම පෙන්නුම් කරන්නට ඉහත සංඛ්‍යා දත්ත අවශ්‍ය තරමටත් වඩා ප්‍රමාණවත්ය. කනගාටුවට කරුණ වන්නේ මේ ආර්ථික අවුල මෙතැනින් නතර නොවීමට නියමිත වීමයි. හේතුව තමන්ගේ පුහු දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා බදු සහන දන්සලක් ද මේ වන විට ආරම්භ කර තිබීමයි. රට යකාට ගියත් තම බලය සහ තනතුරු ආරක්ෂා කර ගන්නට උත්සාහ දරණ මෛත්‍රි මහින්ද බල ව්‍යාපෘතිය ජනතාව විසින් වහා අවබෝධකරගතයුතු වන්නේත් එය පරාජය කිරීමට යුහුසුළුවිය යතු වන්නේත් මේ ගමන තවදුරටත් නිදැල්ලේ යන්නට දීමේ ප්‍රතිඵලය රට වළපල්ලට යාම බැවිනි.

අනුර සුරිය බණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *