අපරාධ කරුවන් බේරගන්න කටයුතු කළේ කවුද කියා මම හෙළි කරනව – සාගල රත්නායක මහතා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය

මෛත්‍රිපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා දිගින් දිගටම රාජපක්ෂ රජය පිළිබඳව ඇති දූෂණ චෝදනා පරීක්ෂන වලට මම බාදා එල්ල කළා කියලා ප්‍රකාශ කරනව. මේක සැරයක් නෙමෙයි, දෙසැරයක් නෙමෙයි, අද නෙමෙයි ඊයෙ නෙමෙයි දීර්ඝ කාලයක් තිස්සෙ එතුමා කරගෙන ආපු දෙයක්. මගේ ගෞරවයට ඒකෙන් දිගින් දිගටම හානි වුණා. නමුත්, මම ඉවසගෙන හිටිය. දිගින් දිගටම මම ඉවසුව. මොකද, මෛත්‍රිපාල ජනාධිපතිතුමා කියන්නේ අපේ රජයෙ ප්‍රධානියා. අපි එතුමව ආරක්ෂා කරගෙන තමයි අපි හැම වෙලාවෙම කටයුතු කළේ. කවදාවත් එතුමව පාවලා දෙන්න කටයුතු කළේ නැහැ. නමුත්, නමුත් එතුමා වැඩකටයුතු කරන්නෙ සාදාචාරාත්මකව නෙමෙයි. පසු ගිය මාසෙ 26 වෙනිදා ව්‍යවස්ථාව කඩකරමින්, එතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව අගමැති දුරයෙන් ඉවත් කරමින් කටයුතු කළේ සාදාචාරාත්මකව නෙමෙයි. ව්‍යවස්ථානු කූලව නෙමෙයි. නීතිය කඩකරමින් එක කළේ. ඒ විතරක් නෙමෙයි ඔය මම කියපු කාරණාව එතුමා හදවතට තට්ටු කරගෙන බලන්න ඕනෙ කවුද ඇත්තටම මේ දූෂණ පරීක්ෂවලට කරදර කළේ කියල.

පහුගිය දිනක ලොකු ආන්දෝලනයකට ලක් වුණ අයි.පී. නිශාන්ත සිල්වා කියන ඒ පොලිස් නිලධාරියාව ස්ථාන මාරුකරල. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවේ පොලිස් ස්ථානයට. බොහොම දරුණු ගනගේ අපරාධ රාශියක් විමර්ශනය කරපු නිලධාරියෙක්. ඒ විතරක් නෙමෙයි, තව ඔය කියන පහුගිය කාලේ සිදුවෙච්ච දුෂණ චෝදනා, ඒ වගේම ඝාතන චෝදනා පිළිබඳව විමර්ෂණ කරන නිලධාරියෙක්. ඒ නිලධාරියා තමයි කොටහේන, පිටකොටුව, වත්තල යන ප්‍රදේශවල තරුණ අය 11 දෙනෙක් පැහැර ගෙන ගිහිල්ලා ඝාතනයට ලක් කරපු ඒ චෝදනාවිමර්ෂණ කටයුතු කරගෙන යන්නෙ. ඒ නිලධාරියා තමයි ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතෘතුමාගෙ ඝාතනය පිළිබඳ විමර්ශන කටයුතු කරන්නෙ. පරීක්ෂණ කරන්නෙ. ඒ වගේම ඒ නිලධාරියා තමයි කීත් නොයාර් කියන ද නේෂන් කියන පුවත්පතේ මාධ්‍යවේදි කර්තෘ පැහැරගෙන යාම පිළිබඳව විමර්ශන කරන්නෙ. ඒ නිලධාරියා තමයි උපාලි තෙන්නකෝන් මාධ්‍යෙව්දියාට පහර දීම පිළිබඳව ඒ විමර්ෂණ කටයුතු කරන්නෙ. ඒ නිලධාරියා තමයි එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් වීම පිළිබඳව ඒ විමර්ෂණ කටයුතු කරන්නෙ. ඒ නිලධාරියාව හදිස්සියෙම ස්ථානමාරු කරනව.

ඊට පස්සෙ දිනක මාධ්‍යයෙ පළ වෙනව, පොලිස්පති තුමා ආරක්ෂක ලේකම්තුමාට ලියපු ලිපියක්. ඒකෙ කියනව, මේ නිලධාරියා පිළිබඳව ආරක්ෂක කමිටුවේ සඳහන් වෙච්ච කරුණු වැරදියි කියලා සඳහන් කරමින්,  ඒ නිලධාරියා පරීක්ෂණ කරන නඩු වැදගත් නඩු. ඒ නිලධාරියා හොඳ නිලධාරියෙක් කියලත් සඳහන් කරමින් අවසානයේ කියනව, කෙසේ වෙතත් විෂය භාර අමාත්‍යතුමා වන අතිගරු ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද නියෝග හා උපදෙස් අනුව 2018.11.18 වෙනි දිනැති දු.ක.ප. අංක 128 මගින් සේවා අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක ජී. නිශාන්ත සිල්වා පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවේ කොට්ඨාශය වෙත ස්ථාන මාරුවීම් නියෝග ලබාදීමට කටයුතු කරන ලදී කියල. මෙම නියෝගයේ පිටපතක් ඇමුණුම 2 වශයෙන් මේ සමඟ යාකර ඇති කියල පොලිස්පති තුමා ආරක්ෂක ලේකම් තුමාට ලියනව. මේකෙන්ම පැහැදිලි වෙනව කවුද මේ නඩුවලට බාදා කරන්න ඇත්තෙ කියල.

ඒ නඩුවලට බාදා කරමින් ඇඟිල්ල වෙනඅයට දික් කරමින්, වෙන අයට අභූත චෝදනා එල්ල කරනකොට, ඒ අපරාධ ඉවසන්න පුළුවක් ප්‍රමාණයක් තියෙනව. එකයි මම හිතුවෙ ඉවසලා ඉවසලා බැරිම තැන, එතුමා ඒ රජයේ ප්‍රධානියා හැටියට ඉන්න කාලේ අපි ආරක්ෂා කළා. එතුමා ඒක ගැන නොතකා මෙහෙම කටයුතු කරන අවස්ථාවෙ මාත් ඒ පිළිබඳව කතා කළ යුතුයි කියල.

මම අද මේ සඳහන් කරපු කරුණු ඔබ ඉදිරියෙ තබනව. මම සඳහන් කරපු කාරණා සියල්ල මම ඉතා වගකීමකින් සදහන් කරන්නෙ. විශේෂයෙන් මම සඳහන් කරන්න කැමතියි මම කිසිම අවස්ථාවකදි අපරාධකරුවන් දූෂිතයින් ආරක්ෂා කරන්න කටයුතු කරල නැහැ. ඕනෑම පොලිස් නිලධාරියෙක් මේ පිළිබඳව හොඳටම දන්නව. ඕනැම අවස්ථාවක මේ පිළිබඳව සාක්ෂිදෙයි ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසුවොත්. නමුත් මේ පරීක්ෂණවලට බාදා කරපු ඉහළ අය ගැන තොරතුරු මාගාව තියෙනව ඒ කරපු අවස්ථාවල් පිළිබඳ තොරතුරු මාගාව තියෙනව. ඉදිරි අවස්ථාවකදි ඒ පිළිබඳව මා කතා කරන්න සූදානම් වෙලා ඉන්නව.

අතිගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශවලින් හානි සිද්ධ වෙලා තියෙනව. අගෞරවයක් සිද්ධ වෙලා තියෙනව. දිගින් දිගටම මේක ඉවසන්න බැරිනිසා හානියක් වෙන්න දෙන්න බැරි නිසා අපේ වගේ වැදගත් පක්ෂයකට හානි වෙන්න දෙන්න බැරි නිසා මා මේ ප්‍රකාශය කළේ.

(සාගල රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා අන්තර්ජාලය ඔස්සේ කළ ප්‍රකාශයකින් උපුටා ගත්තකි).

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *