ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ භාරයට ගත්තේය. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා මෙලෙස අධිකරණය වෙත පැමිණ තිබේ. 2008 – 2009 අතර කාලයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. එම සිද්ධියට අදාළව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පළමුවරට ඔහුට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දෙනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි. නමුත් රාජකාරි අවශ්‍යතාවක් මත ඔහු මෙක්සිකෝව වෙත පිටත්ව යාම හේතුවෙන් එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටිය නොහැකි බව දන්වා තිබුණේය. මේ අතර ඔහුට ඊයේ (27) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි ලිපියක් යොමුකර තිබූණද ඔහු ඊයේ දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටියේ නැත. කෙසේවෙතත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදෑසන නවයට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීයාය. අද පෙරවරුවේ සිය රාජකාරී නිල ඇඳුමින් සැරසී ඔහු අධිකරණය හමුවට පැමිණ සිටි අතර ඔහුගේ නීතීඥවරු එහිදී ඔහුට දැනුම් දී තිබුණේ නිල ඇඳුම වෙනුවට සිවිල් ඇඳුමින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *