ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය පිළිබඳව වමේ කේන්ද්‍රයේ ස්ථාවරය හා යෝජනා

ශ‍්‍රී ලංකාව වර්මානයේ මුහුණ පා ඇති අර්බුදය කෙරෙහි මෙරට පුරවැසියන් හැම දෙනෙකුම අවධානය යොමු වී ඇති බව වමේ කේන්ද්‍රයේ අපි විශ්වාස කරමු. එබැවින් ඒ පිළිබඳව ප‍්‍රකට තොරතුරු ප‍්‍රතිරාවය කිරීම මෙරට වැසියන්ගේ බුද්ධියට නිග‍්‍රහ කිරීමක් සේ සලකන අපි එම අර්බුදයේ අවස්ථා එකිනෙක විස්තර කිරීමෙන් වැළකී සිටිමු. කෙසේ වුව ද මෙම අර්බුදය පිළිබඳ සියලූ ජන කොටස් විසින් දරනු ලබන ස්ථාවරය කුමක්දැයි දැන ගැනීම එයට විසඳුමක් සොයා ගැනීමේ ලා අත්‍යවශ්‍ය සාධකයක් වන්නේය.

මෙම සාකච්ඡුාවේ අරමුණ වන්නේ මෙම අර්බුදය පිළිබඳව ඔබ සැමගේ විග‍්‍රහය මෙන්ම ඔබ දරන ස්ථාවරය හා එය විසඳා ගැනීමේ ලා ඔබගේ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමය. එබැවින් මෙම සම්මන්ත‍්‍රණය කිසියම් පුද්ගලයින් කීපදෙනෙකුට දේශන පැවැත්වීමට අවස්ථාවක් කොට ගැනීමට වඩා හරවත් සංවාදයක් සඳහා යොදා ගැනීම වමේ කේන්ද්‍රයේ අරමුණ වේ.

අපි මුලින්ම ඉතා කෙටියෙන් වමේ කේන්ද්‍රය මෙම අර්බුදය පිළිබඳ දරන ස්ථාවරය පැහැදිලි කරමු. ප‍්‍රථමයෙන්ම වර්තමාන අර්බුදය කාලය වශයෙන් හෝ ස්වරූපය වශයෙන් හදිසියේ පැන නැගුණු තත්වයක් සේ අපි නොදකිමු. එය දීර්ඝ කාලයක් සේ වර්ධනය වූ තත්වයක පුපුරා යාමකි. දෙවනුව මෙය පැතිකඩ රාශියකින් සමන්විත ඉතා සංකීර්ණ තත්වයකි. ආර්ථික, දේශපාලන, සංස්කෘතික මෙන්ම පුද්ගලික හේතු රාශියක් මෙම අර්බුදය පිටුපස ඇත. ඒ පිළිබඳ විස්තර පසුව සාකච්ඡුා කරමු. මෙම අර්බුදය වර්තමාන ස්වරූපයෙන් උත්සන්න වූයේ 2018 ඔක්තෝබර් මස 26 දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙහි පිහිටු වීමෙන්ය. එතැන් සිට ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම පාර්ලිමේන්තුවේ ද සිදු වූ සියලූ සිද්ධීන් ඔබ හැම දන්නා බැවින් ඒවා මේ මොහොතේ ප‍්‍රතිරාවය නොකරමු. අදාළ මොහොතේ ඒ පිළිබඳව විස්තර සාකච්ඡුා කරමු.
වමේ කේන්ද්‍රයේ ස්ථාවරය වන්නේ ජනාධිපති සිරිසේනගේ ක‍්‍රියාකලාපය ව්‍යවස්ථා විරෝධී බවයි. ඔහුගේ ක‍්‍රියාකලාපය දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමුව ඇති බැවින් ඒ පිළිබඳ ප‍්‍රකාශ කිරීමෙන් අපි වැළකී සිටිමු. කෙසේ වුව ද ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය සදාචාර විරෝධී බව වමේ කේන්ද්‍රයේ ඒකාන්ත විශ්වාසයයි. එබැවින් අපි එම ක‍්‍රියාකලාපය තරයේ හෙළා දකිමු.

මේ තත්වය හමුවේ සිය ක‍්‍රියාකලාපය වෙනස් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සදාචාරාත්මක ලෙස ක‍්‍රියා කරන ලෙස වමේ කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම වමේ කේන්ද්‍රය යොජනා කර සිටින්නේ මෙරට සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම හා තහවුරු කිරීම සඳහා එකම පෙරමුණකට පැමිණිය යුතුය යන්නය. මෙහිදී සියලූ දේශපාලන පක්ෂවලට, සිවිල් සංවිධානයන්ට හා පුද්ගලයන්ට තමන් අතර ඇති විවිධාකාර මතභේද අමතක කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ මෙම අරගලයට එක් වන ලෙස වමේ කේන්ද්‍රය ඉතා කාරුණිකව ආයාචනය කර සිටී.

කැඳවුම් කරුවෝ – වමේ කේන්ද්‍රය – 2018 නොවැම්බර් 26

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *