නිශේධනාත්මක විවේචන වලින් වැලකී ආණ්ඩුවට සාධාරණ කාලයක් දිය යුතුයි.

Athulaමේ ආණ්ඩුව බලයට පත් වී තවම මාසයක්වත් ගත වී නැත. විරුද්ධ පාර්ශවයට ආණ්ඩුව විවේචනය කිරීමට හදිසියක් ඇති නමුත් සිවිල් සමාජය මේ ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබායුතු ය. මෙයින් අදහස් කරන්නේ සාධනීය විවේචන කළ යුතු නමුත් නිශේධනාත්මක විවේචන නොකළ යුතු බව ය. මේ ආණ්ඩුව හුදෙක් දේශපාලන පක්ෂවල ම ආණ්ඩුවක් නොවේ. පුරවැසි සහ සිවිල් සමාජයේ නොයෙකුත් සංවිධාන මේ ආණ්ඩුව බලයට පත්කිරීමට වෙහෙස වී ඇත. එකී සංවිධාන ඉදිරියට නොපැමිණියේ නම් මේ ආණ්ඩුව පිහිටුවා ගැනීමට හැකිවේ ද යන්න ද සැක සහිත ය. ඒ නිසා මේ ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව ලෙස ඒ අය සැළකිය යුතු ය. ආණ්ඩුව දැන් බලයට පත් වී අවසන්ව ඇති නිසා ජනතාවට අවශ්‍ය දේ නොව තමන්ට අවශ්‍ය දේ කිරීමට දේශපාලනඥයෝ උත්සුක වෙති. ඒ ගැන අප කළකිරි පසෙකට වුවහොත් කිසිම බාධාවකින් තොරව ඔවුන්ගේ උවමනාවන් පමණක් සපුරා ගැනීමට ඔවුහූ කටයුතු කරති. එම නිසා නිශේධනාත්මක විවේචනයන්ගෙන් වැළකී ආණ්ඩුව නිවැරදි පාරේ ගමන් කරවීමට සිවිල් සංවිධාන වග බලා ගතයුතු ය.
යම් කාලයක් ආණ්ඩුවට ලබාදිය යුතුවාක් මෙන්ම පක්ෂ තීරණවලට ද අප ඇඟිලි නොගැසිය යුතු ය. පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම ගැන අපිට එකඟ විය නොහැක. විශේෂයෙන්ම යහපාලනයට ද එම පත්කිරීම් යහපත් නොවේ. සමස්ථයක් ලෙස ගත්කළ මේ ආණ්ඩුව කරන දේවල් පිළිබඳව 100% එකගවිය නොහැකි බව ද පැවසිය යුතු ය. අගමැතිවරයාට මේ ආණ්ඩුව මගින් රටේ යම් වෙනසක් කරවා ගැනීමට උවමනාවක් ඇති බව ද පෙනේ. ඒ ගැන ද අපගේ අවධානය යොමුවිය යුතු ය.
තනතුරු බෙදාගැනීමට සහ උත්සව පවත්වීමට ගන්නා කාලය කිසිසේත්ම සාධාරණ නැත. මිනිසුන්ට දැන් අවශ්‍ය හැකි ඉක්මනින් වැඩ ආරම්භ කරනවා දකින්නට ය. 19 වෙනි සංශෝධය මේ රටේ නීතියක් බවට දැන් පත් වී තිබේ. ඒ නීතිය යටතේ ඉටුකර ගැනීමට නොහැකි වූ බොහෝ දේවල් තිබේ. ව්‍යවස්ථාදායක සහ කොමිෂන් සභා පත්කර ගැනීම ඒ අතර ප්‍රධාන ය. එම කොමිෂන් සභා නොපමාව ඔවුන් ලවා පත්කරවා ගතයුතු ය. ව්‍යවස්ථාදායක සභාව දේශපාලනඥයින්ගෙන් පුරවාගත් නමුත් 19වෙනි ව්‍යවස්ථා සංශෝධය වැදගත් සංශෝධනයකි. මේ පිළිබඳව ජනතාව දැණුවත් කිරීමේ වගකීම ද ආණ්ඩුවට පැවරී ඇත. පෙර දී මෙන් නොව රාජ්‍ය මාධ්‍ය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වී ඇත. පෞද්ගලික මාධ්‍යට ජනතාව දැනුවත් කිරීමට වඩා ලාභය වැදගත් විය හැක. එහෙත් රාජ්‍ය මාධ්‍ය ඒ වගකීම භාර නොගැනීම ගැටළු සහගත ය. මරු සිටින දිසාව, භූත දෝෂ සහ ග්‍රහචාරය වැනි දේ වලින් මිනිසුන්ගේ ඔළුගෙඩි පුරවනවා හැරෙන්නට රාජ්‍ය මාධ්‍ය ද මෙවැනි වැදගත් මාතෘකාවලට සැළකිය යුතු අවධානයක් යොමුකර නැති බව ද පැවසිය යුතු ය. මේ චර්යාව රාජපක්ෂ පාලන තුළින් පුහුණු කළ එකකි. රාජ්‍ය මාධ්‍ය දැන්වත් ඒවාගෙන් ඉවත් වී මිනිසුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන වැඩසටහන් වලට ප්‍රමුඛත්වය දියයුත ව තිබේ.
මුද්‍රිත මාධ්‍යයන් තුළ මෙවැනි වැදගත් දේශපාලන කරුණු සාකච්ඡා කිරීමට පෙරදා කතු වැකිය පලවන පිටුව වෙන්කර තිබුණි. සිවිල් සමාජයේ දැනුවත් සාමාජිකයින්ට සහ බුද්ධිමතුන්ට එදා පුවත්පත් වල පිටු කිහිපයක්ම වෙන්වි ය. නමුත් දැන් එය වෙන් වී ඇත්තේ වැදගත් දේ සාකච්ඡා කිරීමට නොවේ. මේ දැනුවත් කිරීම සඳහා මාධ්‍යයේ ඉඩකඩ ලබාගැනීම ද අපගේ වගකීමකි. එම නිසා මේ ඉඩකඩ ලබාගැනීමට ද සිවිල් සමාජ මැදිහත්වි යුතු ය.
කලකිරීම මත මේ ක්‍රියාදාමයෙන් ඉවත් ව පසෙකට වී සිටිම තම වගකීම පැහැර හැරීමකි. මේ සංවිධාන වල යම් අය ආණ්ඩුවේ තනතුරු ලබාගෙන එම වගකීම අතහැරිය හැක. එසේ නොකරන පිරිසක් ද සිටිති. මේ හිදැස පිරවීමට තව පිරිසක් එක්විය වෙති. රාජපක්ෂගේ පාලනය ඉවත් කිරීමට සිවිල් සංවිධාන කළ මැදිගත්වීම පිළිබඳ සමාජය තුළ විශාල ගෞරවයක් ඇත. එම ගෞරවය ආරක්ෂා කරගනිමින් ඉදිරයට යා යුතුව තිබේ. නැවත වරක් පාරාජිත බලවේගයන්ට ඉදිරියට ඒමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *