ඇමතිකම් ගත්තේ වැඩක් කරන්න ද? ආණ්ඩුවට අභියෝග කරන්න ද?

Soyza Imageපසු ගිය 17වෙනිදා පැවති මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ මංත්‍රී ආසන 107ක් ලබාගෙන පැහැදිළි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් එම පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නීතියෙන් කිසිම බාධාවක් නැත. එසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ යහපාලන සිද්ධාන්ත මත රට මුහුණ දී ඇති ප්‍රශ්න වලට සාමූහිකව විසඳුම් සොයාගැනීමට ය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් මේ බව තේරුම්ගත් බවක් පෙනෙන්නට නැත.
මේ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුවක් බව සියල්ලෝම දනිති. නමුත් සන්ධානයෙන් ඇමති ධූර ලබාගත් වැඩිදෙනා මහන්සි ගත්නේ මේ ආණ්ඩුව ජනාධිපතිවරයා ප්‍රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් බව ඇඟවීමට ය. එස්. බී. දිසානායක ඇමතිකරයා පසුගිය දා ඒ ආකාරයේ ප්‍රකාශයක් මාධ්‍යට කළේ ය. මෙයට වෙනස් ව සන්ධානයෙන් ඇමති පදවි ලබාගත් සමහර ඇමතිවරු තම සිතැඟියාවන් මත ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවට විවේචන එල්ල කිරීමට ද පෙළඹී සිටිති. උදාහරණයක් ලෙස ලංගම පෞද්ගලීකරණට ලක්කරන්නේ නම් තමා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා ප්‍රකාශ කළේ ය. මා දන්නා ආකාරයට මේ ආණ්ඩුව ලංගම පෞද්ගලීකරණය කිරීමට ප්‍රතිපත්තිමය තිරණයක් ගෙන නැත. එවැනි තත්ත්වයක් තුළ ඇමතිවරයාගේ සිතා ගැනීමකට අනුව මෙවැනි ප්‍රකාශයක් කිරීම ඉතාමත් වැරදි ය. මත්තල ගුවන් තොටුපලේ ගබඩාව වී ගබඩාවක් ලෙස දිගටම පවත්වාගෙන යෑමට උත්සාහ දරන්නේ නම් තමා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව මහින්ද අමරවීර ඇමතිවරයා ද නොබෝ දා පැවසී ය. මහින්ද අමරවීර ඇමතිවරයා උක්ත ප්‍රකාශය කළේ මෙය තාවකාලික පියවරක් බව අගමැතිවරයා පැහැදිළිව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශකර තිබිය ය.
ප්‍රතිපත්තිමය කාරණා මත ඕනෑම අයෙකුට තනතුර දරණවා ද නැත් ද යන්න තීරණය කළ හැක. ඇමතිවරයෙකු වූ පමණින් ඔහුට හෝ ඇයට ඇති ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අයිතියක් ද නැත. හෘදසාක්ෂියට අනුව වැඩකිරීම ඉතා යහපත් ගුණයකි. මහින්ද රාජපක්ෂ ගේ පාලන කාලය තුළ මේ අයට හෘදසාක්ෂියක් නොතිබූණු නොදන්නා කෙනෙකු නැත. හෘදසාක්ෂිය මත තින්දු තිරණ ගැනීමට තරම් ඔවුන් පුණරුත්ථාපනය වීම ද සතුටට කරුණ කි. කෙසේ නමුත් සන්ධානයේ ඇමතිවරු ආණ්ඩුව තුළ සිටිමින්, ආණ්ඩුවට කරන අභියෝග ලෙස මේවා තේරුම්ගැනීම ඉතා වැදගත් ය.
මහින්ද රාජපක්ෂ මෙන්, ව්‍යවස්ථාවට ගරු නොකර මජර ආකාරයට විපක්ෂයෙන් කිහිප දෙනෙකු බාගෙන බහුතර ආණ්ඩුවක් පිහිටුවා ගන්නට රනිල් වික්‍රමසිංහටත් හැකියාව තිබුණි. යහපාලන සිද්ධාන්තයට අනුව වික්‍රමසිංහ එවැනි තීරණයක් නොගත්තේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඑන්නට සියළු දෙනාම සහභාගි කරගැනීමට ඇති උවමනාව නිසා ය. සාමුහික විසඳුම යන සිද්ධාන්තය මතයි ඔහු එවැනි තීන්දුවකට පැමිණියේ. මෙහි කොටස් 3ක් තිබේ. එය මෙසේ පෙළගැස්විය හැක.
1 බලහවුල්කාරිත්වය 2 අල්ලස හා දූෂණය නැති යහපාලනය 3 මානව අයිතීන් හා අනිකුත් නන්වැදෑරුම් නිදහස.
මට පෙනෙන ආකාරයට ශ්‍රි ලංකා නිදහස් පකු්ෂය මෙය තේරුම් ගෙන නැත. කිසිම වගකීමක් නැති මෙවැනි අත්තනෝමතික ප්‍රකාශ කරන්නේ ඒ නිසා ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය තවමත් කල්පනා කරන්නේ එක්සත් ජාතික පෙරමුණට තමන් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නෙහැකි බව ය. එහෙත් මේ ආකාරයටම ඔවුන් දිගටම ආණ්ඩුවට අභියෝග කරන්නට ගියහොත්, අනිවාර්යෙන්ම එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති ආණ්ඩුවක් පිහිටුවෙන එක වලක්වන්නට නොහැකි ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරිය එදා කළ ආකාරයට 19වෙනි සංශෝධනයෙන් පසුව වසර 4, 1/2 යන තුරු ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක. විශේෂයෙන්ම ඒ බව සන්ධානයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තේරුම්ගත යුතු ය.
අනික් අතට මැතිවරණයෙන් පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැ නීම මා අනුමත කරන්නේ නැත. මංත්‍රිකම පමණක් නොව දැන් ඇමති තනතුරු ද ඔවුන්ට ලබාදී තිබේ. මහින්ද රාජපක්ෂ විසින් ඔවුන්ව පරාජය කෙරුනා කියන තර්කය ට අනුව ගතහොත් මහින්ද කරේතියාගෙන ගිය අය ද පරාජය වී ඇත. ජනතා පරමාධිපත්‍යයට අනුව සළකන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ජනතාව දැන් තීරණයක් දී තිබේ. මේ පත්කිරීම් අනුව පෙනීයන්නේ ජනතා පරමාධිපත්‍යට එම පක්ෂයේ නායකයින් පයින්ගසා ඇතිබව නොවේ ද? ඒ නිසා මහින්ද ඔවුන්ව පරාජය කළා කියන තර්කයට කිසිදු පදනමක් නැත. ජාතික ලැයිස්තුවක් තිබෙන්නේ මැතිවරණවලට ඉදිරිපත් වීමට කැමැත්තක් නැති, එහෙත් රටේ දේශපාලනයට විශාල දායකත්වයක් ලබාදිය හැකි අය පත්කිරීම වෙනුවෙනි. මේ පිළිබඳව සිවිල් සමාජය ද සළකා බැලීම වැදගත්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *