මෛත්‍රිපාල සිරිසේන මහතා අමතක කළා ඔහුට ලැබුණ ජනවරම. ඒක ඔහුගෙ පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි – චම්පික රණවක

අද ඓතිහාසික දවසක් මීට අවුරුදු හතරකට පෙර නොවැම්බර් 18 වෙනිදා තමයි එවකට පැවතිච්ච මහින්ද රාජපක්ෂ රාජපක්ෂ රජයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධුරයෙන් අයින් වෙලා, ජාතික හෙළ උරුමය නිල වශයෙන් ඒ එක්සත් සන්ධාන රජයෙන් ඉවත් වුණේ. ඉවත් වෙලා අපි ආරාධනයක් කළා, අපි රාජපක්ෂගෙ ලෙන් දොර බින්ඳා සිංහ‍්භාහු පරපුරේ අයට එළියට ඇවිල්ලා රාජපක්ෂ කඳවුරට එරෙහිව රාජපක්ෂ කඳවුරේ වෘකයින්ට එරෙහිව සිංහයින්ගේ සටන ආරම්භ කරන්න කියල.

මේ සිදුවීමත් එක්ක මගෙ මතකයට නැගෙනව සිදුවීම් ගණනාවක්, මට මතකයි 2010 මැතිවරණය අවස්ථාවේ ඒ ජනාධිපති මැතිවරණය වෙලාවේ මට මහින්ද රාජපක්ෂ මහතා සරත් ෆොන්සේකා මහතා ඒ අවස්ථාවේ ඡන්දය ඉල්ලන් ඉදිරිපත් වෙන බව දැනගත්තාම කොච්චර කලබලයට පත්වුණාද කියල. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තය කලබලයට පත්වුණා ෆොන්සේකා මහත්තයා ජයග්‍රහණය කරයි කියල ඒ මැතිවරණයෙන්. නමුත් අපි බොහොම සාවදානව, බොහොම නිශ්චිතව දැන හිටිය, ඒ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කළ හැකිබව. ඒ නිසා රාජපක්ෂ පවුලේ අය උත්සාහ කළත් මහමැතිවරණය කලින් තියලා ජනාධිපතිවරණය ගන්න අපි ජනාධිපතිවරණය මුලින් තියලා අභියෝගය බාර ගන්න තීරණය කරල ඒ මැතිවරණයට ගියා. නමුත් ඒ මැතිවරණයෙන් පස්සේ රාජපක්ෂ මහතා ඉතාමත්ම පරපතළ ලෙස වෙනස් වුණා.

විශේෂයෙන්ම 2005 ඉඳලා 2010 ට ඔහු ත්‍රස්තවාදය පරාජය කිරීමටත්, ස්ථාවර ආණ්ඩුවක් ඇතිකර ගැනීමටත්, විනයනානුකූල ආකාරයේ යම් ප්‍රජාචන්ත්‍රවාදි තීන්දු ගැනීමට ක්‍රියා කළත්, 2010 ජයග්‍රහණයෙන් පස්සෙ මේ සියල්ල තමන්ට පුද්ගලිකව ලැබිච්ච ජයග්‍රහණ කියල හිතල, තමන්ගෙ පවුලත් තමන්ගෙ දේශපාලන බලයත්, නිර්ලජ්ජිත ආකාරයට ශක්තිමත් කිරීමට ඔහු ක්‍රියා කළා. රටේ සංවර්ධනය ජාතික මංකොල්ලයක තත්ත්වයට ඉහළ නංවාලූව.ඉව බව නැති ණය ගැනීමකට, ඉව බව නැති මංකොල්ලයකට පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට ඉඩ අවකාශ සලසල දුන්නා. රටපුරාම අලුත් පාදඩ දේශපාලන සංස්කෘතියක් ඇති කළා.

මට මතකයි ඒ ජයග්‍රහණයෙන් පස්සෙ, ඔහු අප සියලු දෙනාටම සාදයක් පැවැත්වුවා. මුහුදට ගිහිල්ලා නැවක ඉඳලා තමයි ඒ සාදය පැවැත්වුවෙ. එදා ප්‍රථම වතාවට කිව්වා, දැන් අපි මතට තිතෙන් ඉවරයි. ලංකාවෙන් පිටතයි ඉන්නෙ කියලා, ඔහු ඒසාදය ආරම්භ කළා. එතෙන්දි අපි දැනගත්තා මෙතෙක් දුර යම්කිසි ආකාරයකට ඔහු ආපු ඒ ගමන තීරක ආකාරයට වෙනස් වෙමින් බලලෝභි දේශපාලනයකට ගමන් කරමින් තිබෙන බව. ඒ වගේම පාදඩ දේශපාලන කතිකාවතක් ඇති වෙමින් තිබෙන බව, ඒ පළාත් සභා මැතිවරණ කාලෙදිම අපිට වැටහී ගියා. කෙසේ වෙතත් ඔහුට අනතුරු ඇඟවීම් කළ විට ඔහු කළේ මොකක්ද අපව අපහසුතාවයට පත් කරන ආකාරයෙන් අපව දේශපාලනිකව විනාශ කරන ආකාරයෙන් කටයුතු කිරීම.

විශේෂයෙන් ඉතාම අභියෝගාත්මක අමාත්‍යාංශයක් වූ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බල මණ්ඩලය මවිසින් ඉතා කෙටි කළක් ඇතුළත, වසර ගණනාවකට පසු, දසක ගණනාවකට පසු ලාභ ලබන තත්ත්වයට පත් කළ විට ඔහු කලේ පාඩු ලබන තත්ත්වයකට පත් කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම එවකට භාණ්ඩාගාර ලේකම් වරයා හරහා හා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ගැනිම.

විදුලිබල මණ්ඩලයට තෙල් මිල ඉහළ දැමුවා, ඒ වගේම විදුලි බල මණ්ඩලයට ලැබෙන සහනාධාර සියල්ලම කප්පාදු කරල දැමුව. ඒ වගේම අපි විදුලි බල මණ්ඩලයේ පාලනය නිසා රිදී තිබුණු ඇතැම් පිරිස් යොදවාගෙන වැඩ වර්ජන ආදිය මෙහෙයවීමට ඔහු ම නායකත්වය දීලා කටයුතු කළා. ඉතින් කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ අපි බොහෝ කාලයක් ඉවසුව. නොයෙක් නොයෙක් ආකාරයෙන් ඔහුව මේ පිළිබඳව දැනුම්වත් කරන්න උත්සාහ කළා. හොඳින් මේවා ගැන කටයුතු කරන්න උත්සාහ කළා නමුත් ගල් අඟුරු මාෆියාවත්, ඒ වන විට ඔහුගේ පවුල් මාෆියාවත් විසින් ඇතිකරගෙන තිබිච්ච ඒ බල ජුන්ටාවට පිටින් ඔහුට කිසිම ආකාරයකට බාහිර බලවේගයකට ඇහුම්කන් දෙන්න ඉඩක් තිබුණෙ නැහැ.

මේ තත්ත්වය යටතේ තමයි 2013,2014 ඒ පළාත් සභා මැතිවරණය එළඹෙන්නේ. විශේෂයෙන්ම උතුරේ පලාත් සභා මැතිවරණයේ දී අපි ඔහුට කිව්වා,ඒ පළාත් සභා ඡන්දයෙන් ද්‍රවිඩ සංධානය ජයගැනීමට ඉඩ තිබෙන නිසා පළාත් සභාවල බලතල පිලිබඳව විසඳුමකට යන්න කියල. ඔහු ඒ කිසිවක් තැකුවෙ නැහැ. කිසිවෙකුගේ විමසීමකින් තොරව ඉන්දියාවේ රාජ්‍ය නියෝජිතයන් මෙහි පැමිණි අවස්ථාවේ මැතිවරණය පවත්වන බවට ප්‍රකාශයට පත් කළා විතරක් නෙමෙයි. ඒ උතුරු පළාත් සභාව තැටියක තියලා දෙමළ සංධානයේ විග්නේශ්වරන්ට ලබා දුන්නා. ඉන් පස්සේ විග්නේශ්වරන්ගේ ජාතිවාදය ගැන ඔහුගේ පාක්ෂිකයන් නොයෙක් කතා කිව්වත් විග්නේශ්වරන්, උතුරේ මහ ඇමති ධුරයට ඔසවා තබලා, ඒ දුවිඩ එක්සත් විමුක්ති පෙරමුණ තුළ හිටිය මධ්‍යස්ථ පිරිස වෙනුවට අන්තවාදි කල්ලියක් බලයට ගෙනඒමට වැඩි වැඩ කොටස කෙරුවෙ රාජපක්ෂ පාලනය බව කියන්නට ඕනැ.

ඒ වගේම අපි කියපු දේවල් කිසිවක් විමසන්නෙ නැතුව, කොටි සංවිධානයේ දොළොස් දහසකට අධික පිරිසක් නිදහස් කරල එකෙන් දහසකට අධික පිරිසක් ගෝඨාභය යටතේ හමුදා බුද්ධි අංශවල සාමාජිකයො බවට පත් කරගෙන, ඡන්ද ව්‍යාපාරයට යොදවා ගන්න පුළුවන් කියල ඔහු හිතුව. ජාත්‍යන්තර වශයෙන් අපට එල්ල වෙමින් තිබිච්ච විශාල වටලෑමට පිළිතුරු සැපයුවේ සචින් වාස් ගුණවර්ධන වැනි අයට විදේශ අමාත්‍යාංශය මෙහෙයවන්න දීලා, සල්ලාලයින්ගෙ දඩබිමක් බවට විදේ‍්ශ අමාත්‍යාංශය පත්කිරීම. ඒ සියල්ලෙන් අපි කලකිරීමකට පත් වුණා.

පළාත්සභා මැතිවරණ අවසන් වුණේ බස්නාහිර, දකුණ හා ඌව පළාත් සභාවලින්. මට තාම මතකයි ඒ පළාත් සභා මැතිවරණ අවසන් වූ අවස්ථාවේ එක්තරා උදෑසනක මහින්ද රාජපක්ෂ මහතා අපව කැඳෙව්වා. සුපුරුදු පරිදි බැසිල් රාජපක්ෂ මහත්යා ඇවිල්ලා පළාත් සභා මැතිවරණයේ ජාතික තත්ත්වය අපට පැහැදිලි කළා. ජාතික තත්ත්වය මොකක්ද 2013/2014 මැතිවරණ ප්‍රතිඵලය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද පණස් ලක්ෂයක් ලැබිල තිබුණ. මුළු රටේම. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට එකෙන් ලැබිල තිබුණේ හරියටම අඩයි. විසිහතර ලක්ෂයයි. ඒ වගේම ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාගේ පක්ෂයට ඡන්ද තුන් ලක්ෂ හැත්තැපන් දාහක්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද තුන් ලක්ෂ පණස් දාහක්, ඒ වගේම දෙමළ සන්ධානයට ලක්ෂ හතර හමාරකට අධික ප්‍රමාණයක් ලැබිල තිබුණ. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයටත් සුළු ඡන්ද ප්‍රමාණයක් වෙනම ඉල්ලපු තැන් වල ලැබිල තිබුණ. මේ සියලුම විරුද්ධ පක්ෂයේ ඡන්ද ටික එකතුකළාම ලක්ෂ තිස් හයක ඡන්දයක් තමයි තිබුණෙ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තය පෙන්නල දුන්නා ලක්ෂ පණහක් අපේ අතේ තියන නිසා ඒකාබද්ධ විපක්ෂයටම තියෙන්නෙ ලක්ෂ තිස්හය නිසා අපට ජනාධිපතිවරණයකට දැන් යා හැකියි කියල, ඔහු බොහොම වගාඩම්බරකාර පරව ප්‍රකාශ කළා. කාගෙන්වත් උදව් නැතුව මෙවර අපිට දිනන්න පුලුවන් කියන ආඩම්බර හැඟීම ඇති කර ගත්ත.

නමුත් ඌව පළාත් සභා මැතිවරණයෙන් ඇති වෙච්ච අසාර්ථක ප්‍රතිඵල දකුණු පළාත් සභාවෙන් අපිට ලැබිච්ච යම් යම් අනතුරු ඇඟවීම්, අපි කිසිවක් සලකා බැලුවෙ නැහැ. මට මතකයි, මම මහින්ද රාජපක්ෂ මහත්තයට කිව්වා, ලක්ෂ පණහක් කිසිසේත් ප්‍රමාණවත් වෙන්නෑ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න. රටේ ලක්ෂ එකසිය පණහක් ඡන්ද තියෙනව. ජනාධිපති වරණයකදී මෙයින් 80%කට වැඩිය පාවිච්චි වෙනව. ඒ කියන්නෙ ලක්ෂ 120කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද පාවිච්චි වෙනව. අප විසින් ලක්ෂ 60 කට ආසන්න ප්‍රමාණයක් ගත යුතුයි. ඒ ඡන්ද ප්‍රමාණය ගන්න නම් අපි වෙනස් විය යුතුයි කියල එතුමට අපි කිව්වා.

එතුමා ඒ කිසිවක් ගණන් ගන්නෙ නැතුව බොහොම සරල ප්‍රශ්නයක් අපෙන් ඇහුවා බැසිල් ලවා. ඒක තමයි, ලක්ෂ 36යක් තියන ඒකාබද්ධයේ රනිල් වික්‍රමසිංහට ද පුලුවන් ලක්ෂ 60 ගන්න. ලක්ෂ 50ක් අරන් ඉන්න ආණ්ඩු බලය සහිත පළාත් පාලන ආයතන වල බලය තියෙන සල්ලියි මිනිස්සුයි ඉන්න. ‘ඒක තමයි එතුමගෙ සටන් පාඨය,. මේ සල්ලියි, මේ මිනිස්සුයි එක්ක පුළුවන්ද විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයට ලක්ෂ 60 ගන්න මාව පරද්දල කියන හැඟීම. එතුමා අපේ අනතුරු ඇඟවීම ගණන් ගත්තෙ නැහැ.

ඒත් අපි දැනන් හිටියා බලගතු ප්‍රජාතන්ත්‍රවාදි අවියක්, ප්‍රජාතන්ත්‍රවාදි ඉල්ලීමක් තිබෙන බව. ඒ වගේම රාජපක්ෂ පාලනයේ ගමන් මගත්, එක්ක ජනාධිපති ධුරයේ අන්තනෝමතික බලතල සීමා කළ යුතුයි කියල, අපි හිතුව. ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ මහරගම තරුණ සේවා ස‍භාවෙ පවත්වපු ජාතික හෙල උරුමයේ ඒ මහ සමුලුවේ දී, මේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලතල සීමා කළ යුතුයි කියල අපි හිතුව. ඒ අනුව ඉවත් කරගත යුතුයි කියල යෝජනාවලියක් ඉදිරිපත් කරල අපේ සාමාජිකයන්ගෙන් අනුමත කර ගත්තා. අපි ඒක රටට ඉදිරිපත් කළා. අපි ඒක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කළා විවෘතවම. එතුමා කිසියම් කණ්ඩායමක් පත් කළා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඒ කණ්ඩායමේ හිටිය. නමුත් අපිට ඒ සාකච්ඡා වල දී පෙනී ගියේ, කිසිම ආකාරයකින් තමන්ගේ බලතල සීමා කරගන්න මහින්ද රාජපක්ෂ සූදානම් නැති බවයි. අවසානයේ ඔහු අපිට නාම යෝජනා දිනය කිට්ටු වෙද්දි ලිපියක් එව්වා, ඔහුට මේ ඉල්ලීම් කිසිවක් ඉටු කරන්න බැරි බව. ලිඛිතවම එව්වා. ඊළඟට ඔහු අපට සාකච්ඡාවකට කැඳෙව්වා. ඒ සාකච්ඡාවේ දී ඔහු ඉතාමත් අශිලාචාර විදිහට දඩබ්බර විදිහට හැසිරෙමින් පුටුවට පවා පයින් ගහල සභාගැබෙන් එළියට ගියා. අපි බොහොම ශිෂ්ඨ සම්පන්න මිනිස්සු විදිහට. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමටත් ඕන කම තිබුණෙ තමන්ට අවශය ආකාරයට හැසිරෙන, තමන්ට එහෙයි කියන ආකාරයට වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විතරක් නෙමෙයි ඊට අනුබද්ධ පක්ෂවල තත්ත්වයත් පවත්වාගෙන යන්න. අපි ඔහුට එහෙයි කියන්නෙ නැති බව ඔහු දැන හිටිය. ඒ නිසා ඒ පිරිස ඉවත් කිරීමයි ඔහුට අවශ්‍ය වුණේ. අපි දැක්කා යම් යම් ආකාරයකට කොන්ද පන තිබුණ නායකයින් ජෙයරාජ් ප්‍රනාන්දු පුලේලේ වැනි අය කොහොම ද ඉවත් වුණේ කියල. ඒ වගේම අපි දැක්කා කරු ජයසූරිය වගේ අයට පල නොකියා පළා බෙදලා එළියට දැම්මෙ කියල. ඒ වගේම මෛත්‍රිපාල සිරිසේන මහත්තයටත් සිදුවෙමින් පවතින වින්නැහිය අපි දැක්කා. ඒක නිසා අපි තීරණය කළා එළියට ඇවිල්ලා මේ සටන ඉදිරියට ගෙනියන්න. ඉතින් අපි එළියට ආවා විවෘතවම. ඒ බව විවෘතවම මහින්ද රාජපක්ෂ මහත්තයට දැනුම් දුන්නා. අපි හොරෙන් කෝපි බිව්වෙත් නෑ. හොරෙන් ආප්ප කෑවෙත් නෑ.බොහොම විවෘතව මහින්ද රාජපක්ෂ මහත්තයට අපි මේ පණිවිඩය ලබා දීල, අපි රජයෙන් ඉවත් වුණා. ඔහු හිතන් හිටිය අපේ පක්ෂයේ හිටපු ඇතැම් කේලාම්කාර, කෙටවිලිකාර කුට්ටිය කඩා ගන්න ඉන්න විදේශීය පුරවැසිභාවය තියෙන පිරිස් ලවා අපේ පක්ෂය හා අපේ බලවේගය දෙකඩ තෙකඩ කරලා තමන්ට මේ ජනාධිපතිවරණය ජය ගන්න පුළුවන් කියල. කොහොම වුණත් මේ රටේ වෘත්තීය වේදී බලවේග, දැන උගත් බලවේග අප සමග එකතු වුණා.

2015 ඡන්දය උතුරු හා නැගෙන හිර දෙපලාතේ හෝ මුස්ලිම් ජනයාගේ හෝ දෙමළ ජනයාගේ එකතුවීමකින් ලබපු ජයග්‍රහණයක් නොවෙයි. ඒ දෙමළ ජනයාගේ හා මුස්ලිම් ජනයාගේ ඡන්ද 2010 දී ෆොන්සේකා මහත්තයටත් ලැබුණා. නමුත් එතුමා වැඩි ඡන්ද දහඅට ලක්ෂයකින් පරාජයට පත් වුණා. මෙවර මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ විශේෂයෙන්ම ලංකාවේ උගත් මිනිස්සුන්ගෙ වැදගත් මිනිස්සුන්ගෙ ඡන්දයෙන්. ඒක කෝට්ටේ ඡන්ද ප්‍රතිඵලයෙන්, පානදුර ඡන්ද ප්‍රතිඵලයෙන්, කැලණිය ආසනයේ ඡන්ද ප්‍රතිඵලයෙන් රටටම දැනගන්න ලැබුණා. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ගෙ ඡන්ද වලින් නෙමෙයි උගත් මිනිස්සුන්ගෙ ඡන්ද වලින් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණේ.

දැන් ඒ සිදුවීමට අවුරුදු හතරයි. මෛත්‍රිපාල සිරිසේන මහතා අමතක කළා ඔහුට ලැබුණ ජනවරම. ඒක ඔහුගෙ පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි. ඔහුට පුද්ගලික ඡන්දයක් තියෙන්න ඇති පොළොන්නරුවේ. නමුත් මේ රටේම ජනතාව, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, දකුණේ ජනතාව විශේෂයෙන් පක්ෂ වලට බැඳිච්ච නැති ජනතාව මේ ඡන්දය ඔහුට ලබාදුන්නේ රට බලගතු ප්‍රජාතන්ත්‍රනාදි ප්‍රතිසංස්කරණයකට ගෙනියන්න.

ඇත්තටම ඔහුට රත්තරන් අවස්ථාවක් තිබුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ඒ සන්ධානයත්, ඒ වගේම එක්සත් ජතික පක්ෂයේ පිරිසුත් සියල්ල එකතුකරගෙන බලගතු ප්‍රතිංවිධානයකට මේ රට ගෙනියන්න. නමුත් ඒ කටයුත්ත කිරීමට ඔහු අසමත් වුනා පමණක් නොවේ, ඔහු අවසානයේ ඒ මහා ජනතා වරම පාවා දුන්නා. එවැනි වාතාවරණයකයි අද අපි සිටින්නේ. හැබැයි අදටත් ඒ කරුණු එහෙම්ම විවෘතයි. මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් පසුගිය නොවැම්බර් 26 වෙනිදා කළ ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා එදා අපි 2014 නොවැම්බර් 18 ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා රාජපක්ෂගේ ලෙන කඩලා මේ රටේ සිංහභාහු පරපුරේ ආත්මය අවධිකළා වගේම, ඒ නොවැම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණය නිසා වැදගත්, උගත්, වියත් ඒ වගේම සාධාරණයට යුක්තියට කැමති මිනිස්සු සියලු දෙනාගේම අධිෂ්ඨානය වඩාත් තිර වෙලා තියෙනව. දැන් අපට බලගතු දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.

අපි ඔබට කියන්නේ අපි ඇමතිකම් දැරුවත් නොදැරුවත් මේ රටේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පමණක් නොවෙයි රට තුළ සබුද්ධික දේශපාලනික ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අපි ඉදිරියටත් කැප වෙනව. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රාජපක්ෂලා නෙමෙයි අපියි ඒ සටන ගෙනගියේ. අද ඔය තැන් තැන් වල ඔරුයිත නාඩු කිය කිය යම් යම් විරෝධතා පවත්වන කුඩා කල්ලි කණ්ඩායම් වල රූකඩ, ප්‍රභාකරන්ට කාලතුවක්කු තියෙන අවස්ථාවේ තිබුණේ නෑ. ඒ වගේම මාවිල්ආරු සටන ආරම්භකරන විට ඔවුන් හිටියේ ඇඳන් යට රිංගලා. දැන් ඔවුන් බොරු වීරයන් බවට පත් වෙලා. අපි ත්‍රස්තවාදයට එරෙහිව කොන්ද කෙළින් තියාගෙන සටන් කළා. ඒ වගේම රාජපක්ෂගේ පවුල්වාදයට එරෙහිවත් කොන්ද කෙළින් තියාගෙන සටන් කළා. මෙවරත් මේ රාජපක්ෂ මෛත්‍රි ජුන්ටාව විසින් මේ රටේ අද ඇති කරල තියෙන නීති විරෝධි, ව්‍යවස්ථා විරෝධි ආණ්ඩුව පරාජය කරල ජනතාවට යුක්තිය ලබා දී මේ සටනේ අපි ඉදිරියෙන්ම ඉන්නව.

අපි මේ රටේ සංවර්ධනයෙ අලුත් පෙරළියක් ඇති කළා. දූෂණයෙන් වංචාවෙන් තොරව, නවොත්පාදන ආර්ථිකයක් කරා කොහොමද රට ගෙනියන්නෙ කියන එක ගැන. අලුත් ව්‍යාපාරිකයන් එක්ක අලුත් නවෝත්පාදකයන් එක්ක අලුත් වෘත්තීයවේදින් එක්ක ගම නගරය එකට ගෙනියන්නෙ කොහොමද කියන එක ගැන අපි බලගතු ආදර්ශයක් ලබා දුන්නා. ඒ ආදර්ශය ඔස්සේ අපත් සමග ඉදිරියේ දී එකට එකතු වී ගමන් කරන්නෙයි කියල අපි ඔබෙන් ඉල්ලනව.

අපි ඉල්ලන්නෙ නීති ගරුක ආණ්ඩුවක් යටතෙ ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තමන්ගෙ ජනාධපතිධුරයේ ජනමතය අහෝසි කරගෙන තිබෙන නිසා ජනාධිපතිවරණය තැබිය යුතුයි. ඒ වගේම සියලුම පක්ෂ නීතිගරුක ආණ්ඩුවක් යටතේ සූදානම් නම්, ඒ ජනාධිපතිවරණය පවත්වන දිනයේම මහා මැතිවරණයත් එකට පැවැත්විය යුතුයි. එසේ නැතිව නීති විරෝධි මහින්ද රාජපක්ෂලාගේ කල්ලි කණ්ඩායම් වල රාජ්‍ය බලය පැහැර ගැනීමත් එක්ක ඒ යටතේ බැසිල් රාජපක්ෂගේ හා ගෝඨාභයගේ මෙහෙයුම් වලට රට යළිත් සූදානම් නැහැ.

මිත්‍රවරුනි, අපේ ගෙදරට පස්ස දොරෙන් දොර කඩාගෙන ඇවිල්ලා හොරු රංචුවක් ඉස්සරහ දොර වහල යතුරු කැරැල්ල සාක්කුවෙ දාගෙන අර ගෙහිමියන්ට කියනව, පුලුවන්නම් ඉස්සරහ දොර ඇරලා දීපල්ලා අපි යන්නම් කියල, අන්න එවැනි වංචනික සිදුවීමක් තමයි අද මේ රාජපක්ෂවරු ගෙනියන්නෙ. ලෝක ඉතිහාසයේ මීට සමාන සිදුවීමක් තිබෙන්නේ 1933 දී ඇඩෝල්ෆ් හිට්ලර් තමන්ට පාර්ලිමේන්තු බලය නැති වුණාම, ඒකාධිපතියා වීම සඳහා රයිස්ටාලේ නමැති පාර්ලිමේන්තුව රාත්‍රියේ ගිනි තැබීමට තමයි සූදානම් වෙන්නේ. දැන් මොවුන් කළේ මොකක්ද මහ දවාලේ රූපවාහිනී කැමරා ඉදිරියේ ජාතික ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටේ දෙකෝටියක් ජනතාව ඉදිරියේ මිරිස් කුඩු හා පුටු කකුල් වලින් ගහගන්නා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් එතනෝල් බලෙන් පාර්ලිමේන්තුවට පැමිණි, කසිප්පු බලෙන් පාර්ලිමේන්තුවට පැමිණි, හෙරෝයින් බලෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාදඩ කල්ලියක් මගින් මුදා හැරීම.

හිට්ලර්ගේ දුඹුරු කමිස හමුදාව වගේ මේ එතනෝල්, හෙරෝයින් සහ කැසිනෝවලින් බලවත් වෙච්ච, වැලි කළුගල් සහ පස් ව‍්‍යාපාරවලින් ප්‍රකෝටි ගණන් ධනය උපයාගත්ත මේ කාලකණ්නි රැල දේශප්‍රේමි සළුපිළි පැළඳගෙන කරන මේ මුග්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධි මේ ක්‍රියාවලිය වැලැක්වීමට පෙරට එන්න. යුක්ති සහගත ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් එකවර පවත්වල මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණටත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයටත් තරඟ කරලා ඔය කියන ‍ඊනියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පුළුවන් නම් බලය තහවුරු කරගන්න කියල අපි කියනව. ඒ සඳහා යුක්ති සහගත පාර්ලිමේන්තුවේ බහුතරය සහිත ආණ්ඩුවකට අවස්ථාව දෙන්න කියල අපි කියනව. ඒ වගේම රටේ රාජපක්ෂ කඳවුරට පිටස්තර කඳවුරේ බලගතු ප්‍රතිසංස්කරණයක් එක්ක, පුළුල් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සමග වන බලගතු සංධානයක් විශේෂයෙන්ම තරුණ පිරිස් වල නායකත්වය යටතේ ඉදිරියේ ගොඩනගලා මේ රට ගොඩ ගැනීමට මේ රට බලගතු රටක් බවට පත් කිරීමට අප කැපවෙන බව අප මේ ඓතිහාසික දිනයේ නැවත සපථ කරනවා.

https://www.youtube.com/watch?v=Bf8STByJmfk

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *